අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු සමය එළඹීමත් සමග කැවිලි පෙවිළි, නෑගම්, නැකත්, චාරිත්‍ර අපේ ව්‍යවහාරයේ නිතර කියවෙන වචන බව අපි කොයි කවුරුත් දන්නා දෙයකි. ඒ අතර “බක්මහ වැහි” සහ “බක්මහ අකුණු” අලුත් අවුරුද්ද සංකේතවත් කරන අමතක කළ නොහැකිම වචන දෙකකි.

විශේෂයන්ම කෘෂිකාර්මික ආර්ථිකයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව අතීතයේදී මේ කාලගුණ තත්වයන් පිළිබඳ දැනුම ඉතා විශාල වශයෙන් යොදා ගත් බවට බොහෝ සාක්ෂි අපිට සාහිත්‍ය මුලාශ්‍ර සහ ජනශ්‍රුති ඔස්සේ හමුවේ.

පුරාතන ශ්‍රී ලංකාවේ සිටි රජවරුන් ගොවිතැන් කිරීමේ දී අකුණු ඇතිවන අවස්ථාවන් බලා ගොවිතැන් කිරීමට ගොවි ජනයාට උපදෙස් ලබාදුන් බවටද කියවේ.

“යල සහ මහ කියන කන්න දෙක අතර තිබෙන සංවහන වැසි දෙකෙන් දෙපාරක් අකුණු ගහනවා. මේක තමයි පොහොර කෘෂිකර්මයේ. ඒක වටහාගත්ත ශ්‍රී ලංකාවේ රජවරුන් පොහොර පස්සේ දිව්වේ නැහැ. ඔවුන් කීවේ ‘හෙණ ගහපන්.. ගණන් බලාපන්’ කියලයි. ඒ කියන්නේ, හෙණ ගහන්නේ කවද්ද කියලා බලලා වගාවන් කරන්න කියලා. අකුණු ගහන්න කලින් වපුරලා ගොඩට එන්න කියලයි ඒ කිව්වේ.” අප සමග අදහස් දක්වමින් පරිසරවේදී තිලක් කන්දේගම පවසයි.

“අකුණු ගහනකොට වායුගෝලයේ තියෙන නයිට්‍රජන් සෘජුවම නයිට්‍රේට් වෙනවා. නයිට්‍රජන්වල බන්ධනය කැඩෙන්නේ අකුණුවලින්. ඒකට විශාල විදුලියක් අවශ්‍ය යි. එතකොට කෙලින්ම පොළොවට එන්නේ නයිට්‍රේට්. එවිට එම නයිට්‍රේට් කෙලින්ම ගහට උරා ගන්නා පොහොර බවට පත්වෙනවා. ඒ නිසා අවුරුද්දට දෙපාරක් පෘථිවියේ ශාඛවලට පොහොර දැමීමක් සිද්ධ වෙනවා. “

“බක්මහේ අකුණු ගහන්න කලියෙන් වපුරලා ගොඩට එන්න කිව්වේ අකුණුවලට බයේ නෙමෙයි. ඒ අකුණුවලින් ලැබෙන යූරියා ටික පැලවලට ගන්න ඕන නිසා” ඔහු කියා සිටියේය.

මොනවද මේ බක්මහ අකුණු?

“සාමාන්‍යයෙන් වැඩිම අකුණු ඇතිවීම සිදුවන කාලසීමාව ලෙස අප්‍රේල් මාසය හඳුන්වන්න පුළුවන්. අප්‍රේල් මාසයේ මැදභාගයේ සිට එම තත්ත්වය වැඩි වශයෙන් දකින්න පුළුවන්. මේ නිසයි එයට බක්මහ අකුණු කියලා කියන්නේ,” නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රීතිකා ජයකොඩි පැහැදිලි කරයි.

අප්‍රේල් මාසය මැදභාගයට එළඹීමත් සමග ශ්‍රී ලංකාවට අකුණු ඇතිවීම් බහුලව සිදුවන්නේ විශේෂ කාලගුණික තත්ත්වයක් හේතුවෙන් ද යන්න අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය ගෙන් විමසනු ලැබිණි. එහිදී ඇය මෙවන් අදහසක් පළ කළා ය:

“අන්තර් නිවර්තන අභිසාරී කලාපය හේතුවෙන් බලපාන සුළං රටාව මෙයට ප්‍රධාන හේතුව ලෙස හඳුන්වන්න පුළුවන්. උතුරු අර්ධ ගෝලය සහ දකුණු අර්ධ ගෝලය හරහා හමා එන සුළං එකතුවන කලාප තිබෙනවා. සමහර අවස්ථාවල දී අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව හරහා එවැනි ආකාරයේ සුළං රටාව හමායන අවස්ථාවන් තිබෙනවා. එවැනි අවස්ථාවන්වල දී සුළං රටාවත් එක්ක වළාකුළු බහුලව ඇතිවීමත් සමග අකුණු ඇතිවීමට හිතකර පරිසරයක් නිර්මාණය වනවා. එය අකුණු වැඩිවන්න ප්‍රධාන හේතුවක්,” ඇය පැහැදිලි කළා ය.

බක්මහ අකුණුවල බලපෑම පවතින කාලසීමාව කුමක් ද?

පවතින සංවහන වැසි තත්ත්වය හේතුවෙන් තද සුළං සමග බක්මහ අකුණු ඇතිවීමේ හැකියාව මැයි මාසය දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“අප්‍රේල් මාසයේ සිට සාමාන්‍යයෙන් ගත්කල මැයි මාසයේ තෙවන සතිය තෙක් බක්මහ අකුණු ඇතිවීමේ හැකියාව තිබෙනවා,” එම දෙපාර්තමේන්තුව පවසයි.

අකුණු අනතුරු හේතුවෙන් 2018 වර්ෂයේ ජනවාරි මස පළමුවෙනිදා සිට 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා වූ කාලසීමාව තුළ දී මෙරට පුද්ගලයින් 102කුට දිවි අහිමිවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එම මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති වාර්තාවක එම දත්ත සටහන්ව ඇත.

අකුණු අනතුරු අවමකර ගන්නේ කෙසේ ද?

සංවහන වැසි තත්ත්වයන් සමග ඇතිවන බක්මහ අකුණුවලින් මහජනතාව ආරක්ෂා වීමට වගබලාගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් පෙන්වා දෙයි.

“අකුණු ඇතිවන වේලාවන්වල දී එළිමහන් ස්ථානවල රැඳී සිටීම අනාරක්ෂිත යි. ඒ අවස්ථාවල දී ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් ඇතුළේ සිටීම හොඳ යි කියලයි අපි යෝජනා කරන්නේ.”

“කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි වගේ විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න ඕන. රැහැන් සහිත දුරකථන භාවිත කිරීම ගැටලුසහගත යි මේ අවස්ථාවන්වල දී. සාමාන්‍යයෙන් ජංගම දුරකථන භාවිත කිරීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.”

“ඒ වගේම බයිසිකල්, ට්‍රැක්ටර්, බෝට්ටු වැනි විවෘත වාහන පාවිච්චි කිරීම අනතුරුදායක වෙන්න පුළුවන්.”

“මීට අමතරව, නිවාසවල විදුලි උපකරණ භාවිත කිරීම අනාරක්ෂිත යි. මේ නිසා එම උපකරණ සම්බන්ධ කර ඇති පේනුවලින් (ස්විච්) ගලවා තැබීමට කටයුතු කරන්න,” කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් පවසා සිටියේ ය.

by – bbc sandesaya