අධ්‍යයනයකට අනුව තාල වර්ගයේ ශාක විශේෂ දහසකට වැඩි ප්‍රමාණයක් වඳවීමේ අවදානමට ලක්ව ඇත.

කෘතිම බුද්ධිය භාවිතා කරමින් විද්‍යාඥයන් උස ගස්වල සිට ඉහළට නැගෙන ශාක දක්වා වූ සමස්ත තාල වර්ගයටම අදාල ශාක විශේෂ සඳහා අවදානම තක්සේරු කර තිබේ. තාල වර්ගයේ කුමන ශාක විශේෂ, කොපමණ සංඛ්‍යාවක් තර්ජනයට ලක්ව තිබේද යන්න පිළිබඳව මෙම දත්ත පුළුල් ආවරණයක් ගෙන එයි. තාල වර්ගයේ ශාක යනු මිලියන ගණනක ජනතාවකට ආහාර පාන සහ නවාතැන් සපයන දැවැන්ත ශාක පවුලකි.

Rattan bridge in Cambodia

ගෘහ භාණ්ඩ, පෙට්ටි, වේවැල් සහ පාලම් සෑදීම සඳහා කඹ ගැනීමට තාල වර්ගයේ ශාක විශේෂ භාවිතා කරයි

“ජෛව විවිධත්වය ආරක්ෂා කරන්න අපට කළ හැකි සෑම දෙයක්ම කරන්න ඕන. තාල වර්ගයේ ශාක විශේෂ දහසකට වැඩි ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක්වෙන්න පුළුවන්,” අධ්‍යයනයේ නියමු, ලන්ඩනයේ කියු හි රාජකීය උද්භිද උද්‍යානයේ ආචාර්ය සිඩෝනි බෙලොට් පැවසීය.

භූමියේ ඇති ඇති ශාක සංරක්ෂණය කිරීමටත්, ඒවා පිළිබඳ වැඩි දත්ත රැස් කිරීමටත් ක්‍රියා කළ යුතු බවත්, මෙම ශාක වැවෙන ප්‍රදේශවල ජීවත් වන සහ දිනපතා එම ශාක භාවිත කරන ජනතාවගේ සහභාගිත්වයෙන් තොරව එය කළ නොහැකි බවත් ඇය පැවසුවාය.

පොල්, පාම් ඔයිල් හෝ රටඉඳි වැනි ප්‍රධාන භෝග ලෙස හෝ ගෘහ භාණ්ඩ, රබර්, තෙල් සහ ලණු සෑදීම ඇතුළුව තාල වර්ගයේ ගස්වල ප්‍රයෝජන රාශියක් ඇත.

වානිජ ලෙස වගා කරන හෝ විසිතුරු බව වෙනුවෙන් වගා කරන ශාකවලට අමතරව, වනගතව පවතින එම විශේෂවල ම ශාක වර්ගවලට ද මෙම වඳ වීමේ අවදානම පැවතීම විද්‍යාඥයන්ගේ අවධානයට යොමු වී තිබේ.

ඔවුන් පවසන්නේ එලෙස වනගතව පවතින ශාක වලින් ජනතාවට ප්‍රයෝජන නොමැති බැවින් එහි වැදගත්කම නොදැනුවත්වම ඒවා ‍ලොවින් තුරන් ව යා හැකි බවයි.

Palm trees in Cameroon

තාල වර්ගයේ ශාක විශේෂ නිවර්තන සහ උපනිවර්තන දේශගුණයන් හී වැඩිපුර දැකිය හැකියි

වඳ වී යාමේ අවදානම පිළිබඳ නිල තක්සේරු කිරීම් සඳහා කල් ගතවන අතර, එය මිල අධික ක්‍රියාවලියකි. මේ නිසා කෘත්‍රීම බුද්ධියේ අංගයක් වන යාන්ත්‍රික ඉගෙනීම භාවිතා කිරීමට මෙම පර්යේශක කණ්ඩායම පෙළඹී තිබේ

ඔවුන්ගේ දත්ත වලට අනුව ශාක විශේෂ දහසකට වඩා එනම්, තාල වර්ගයේ ශාක වලින් 50% කට වඩා වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

“මෙම අනාවැකි නිසා අපිට සංරක්ෂණ ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දෙන්නත්, වඩාත් අවදානමට ලක්ව ඇති රටවල තවදුරටත් සංරක්ෂණ කටයුතු සමඟ විශේෂ ඉලක්ක සකස් කරන්නත් අපිට උපකාර කරන්න පුළුවන් වෙනවා,” සංරක්ෂණ තක්සේරුකරණ සහ විශ්ලේෂණ කණ්ඩායමේ පර්යේෂණ නායක ආචාර්ය ස්ටීවන් බැච්මන් පැවසීය.

පර්යේෂක කණ්ඩායම මැඩගස්කරය, නිව්ගිනියාව, පිලිපීනය, හවායි, බෝර්නියෝ, ජැමෙයිකාව, වියට්නාමය, වනුවාටු, නිව් කැලිඩෝනියාව සහ සුලවේසි යන රටවල් තාල ශාක සංරක්ෂණය කළ යුතු ප්‍රමුඛතා කලාප ලෙස නම් කර ඇත.

Thatched Amazon roundhouse
ඇමේසන් වනාන්තරයේ ඇති මෙම නිවසෙහි වහලය වැනි නවාතැන් සඳහා තාල වර්ගයේ ශාක විශේෂවල අතු භාවිතා වේ

නිවර්තන කලාපයේ වඩාත්ම කැපී පෙනෙන මෙම ශාක ප්‍රයෝජනවත් බවින් ද අනූන බව අධ්‍යයනයේ කටයුතු කළ සූරිච් විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොඩ්රිගෝ කැමරා-ලෙරෙට් පැවසීය.

මෙම අධ්‍යයනයෙන් කොපමණ තාල විශේෂ සංඛ්‍යාවක් තර්ජනයට ලක්ව තිබේද යන්න පිළිබඳව වඩා හොඳ අදහසක් ලබා දෙන බව ඔහු පැවසීය.

ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත මිනිසුන්ට සහය වන වනගත ශාක විශේෂ සිය ගණනක් ද ඇතුළුව තාල වර්ගයේ ශාක විශේෂ සියලුම ශාක පවුල් අතරින් ආර්ථික වශයෙන් වැදගත්ම ශාකය ලෙස පිළිගැනේ.

නිවාස සහ මෙවලම්, ගොඩනැගිලි ද්‍රව්‍ය මෙන්ම නිවර්තන කලාපයේ ජනතාවගේ ආහාර සහ ඖෂධ පවා සැපයීමට මෙම ශාකවලට හැකියාව තිබේ.

Nature Ecology and Evolution සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම පර්යේෂණයට අනුව, අවම වශයෙන් ප්‍රදේශ 92ක තාල විශේෂ 185 ක් තර්ජනයට ලක්විය හැකි අතර, මෙම ශාක ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය එය දැඩිව අවධාරණය කරයි.

by – bbc sandesaya