ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට මිනිසුන් වගකිව යුතු බව ඔප්පු කිරීමට ගවේෂණාත්මක මෙහෙවරක් කළ ප්‍රමුඛ ග්ලැසියර විද්‍යාඥයෙකු වන ක්ලෝඩ් ලෝරියස් / Claude Lorius පසුගිය මාර්තු  මස  24 වැනිදා මිය ගියේය. ඔහු මිය යන විට 91 වැනි වියේ පසුවිය.

ක්ලෝඩ් සිය ජීවිත කාලය තුළ ග්‍රීන්ලන්තයට සහ ඇන්ටාක්ටිකාවට ගවේෂණ 22ක් මෙහෙයවීය. ඔහු 1956 දී උපාධිය දිනා ගැනීමෙන් පසු ඇන්ටාටිකාව වෙත සිදුකළ විද්‍යාත්මක ගවේෂණයකට සම්බන්ධ වූ  අතර ඔහු සහ තවත් විද්‍යාඥයින් දෙදෙනෙක් වසර දෙකක් එහි ගත කළේය.

ක්ලෝඩ් 1965 දී ඇන්ටාක්ටිකාව වෙත කළ ගවේෂණ සංචාරය සුවිශේෂ එකක් විය. එහිදී ඔහු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි  මානව වර්ගයා දක්වන දායකත්වය ඔප්පු කිරීමට සමත් විය.

පෘථිවියට සිදුවීමට නියමිත ව්‍යසනයක් හඳුනා ගැනීමට සහ පුරෝකථනය කිරීමට ඔහුට මඟ පෑදුවේ ත්‍රාසජනක සංචාර වෙනුවෙන් ඔහු තුළ තිබූ බලවත් ආශාව බව කියවේ.

ඇන්ටාටිකා  මහාද්වීපය වෙත සිදුකළ ගවේෂණ වැඩි වන තරමට, ඔහු ඇන්ටාක්ටිකාවේ අභිරහස් කෙරෙහි වශී විය. 1965 දී ලෝරියස් අයිස් සාම්පල එකතු කර විස්කි වලට දැමීමෙන් හෙළිදරව්වක් කළේය. ඔහු ඒ ගැන කතා කළේ අඩ සියවසකට පසුවය.

“දුෂ්කර ගවේෂණයකින් පසු එක් සැන්දෑවක අපි අපේ කැරවානයේ පැරණි අයිස් කැට දමා තිබූ විස්කි වීදුරුවක් පානය කළා. අපේ කණ්නාඩි වල වායු බුබුළු දිලිසෙනවා දැක්කාම මට හිතුනා ඒවා අයිස් වල හිරවෙලා තියෙන වායුගෝලයේ සාම්පල කියලා.” ඔහු තමා දුටු විස්මිත දේ ගැන පැහැදිලි කරමින් පැවසුවේය.

සිරවී ඇති වාතය විශ්ලේෂණය කිරීමේ විද්‍යාත්මක විභවය අවබෝධ කරගත් ඔහු පසුව භූමිය සිදුරු කර ලබාගත් අයිස් කැට සාම්පල අධ්‍යයනය කිරීමට තීරණය කළේය.

එය ඇන්ටාටිකාවේ අතීය සොයා යාමක් හා සමාන විය.ඔහුගේ වචනවලින් කිවහොත්, “පළමු අයිස් යුගයේ අයිස්” විනිවිද ගියේය.

අයිස් තුළ සිරවී ඇති වායු බුබුළු පිළිබඳ ඔහුගේ පර්යේෂණය 1987 දී ප්‍රකාශයට පත් කරන ලදී.

දිගු කාලීනව කාබන් ඩයොක්සයිඩ් මට්ටම් සුළු වශයෙන් වෙනස් වූ නමුත් කාර්මික විප්ලවයෙන් පසු ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ හරිතාගාර වායු සාන්ද්‍රණය වේගයෙන් ඉහළ ගිය බව මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල පෙන්නුම් කළේය.

ලෝරියස්ගේ පර්යේෂණ ඔහුට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් අතර විද්‍යාඥයින්ට වසර 160,000කට වඩා පැරණි ග්ලැසියර වාර්තා දෙස ආපසු හැරී බැලීමට ඉඩ සැලසීය.

ප්‍රංශ ජාතික විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානය (French National Centre for Scientific Research – CNRS) පැවසුවේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මිනිසා විසින් නිර්මාණය කරන ලද පරිසර දූෂණය නිසා සිදුවන්නක් බවට කිසිදු සැකයක් නොමැති බවයි.

එතැන් සිට ලෝරිස් උද්ඝෝෂකයෙකු බවට පත් වූ අතර 1988 දී ඔහු දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක විශේෂඥයා ලෙස පත්විය.

2002 දී ඔහුට සහ ඔහුගේ සගයා වන ජීන් ජොසෙල් වෙත CNRS රන් පදක්කම පිරිනමන ලදී. ලෝරියස් කීර්තිමත් බ්ලූ ප්ලැනට් ත්‍යාගය (Blue Planet Prize) දිනාගත් පළමු ප්‍රංශ ජාතිකයා ද විය.

බී.බී.සී