අඩු කාලයක දී ස්විට්සර්ලන්තයේ ග්ලැසියරවල පරිමාවෙන් අඩකට වඩා දියවීගොස් තිබේ. නව අධ්‍යයනයක් හෙළි කරන්නේ මෙම වසරේ පැවති දැඩි උණුසුමෙන් යුතු දිගු ගිම්හාන සෘතුව ද ග්ලැසියර දියවීම තවත් වේගවත් කර ඇති බව යි.

මෙම ග්ලැසියර, හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව සඳහාම වෙන් වූ නිකේතනවල පැවැත්මට හේතු වන අතර, ගිම්හාන කාලයේ දී කඳු නගින්නන්ගේ ආකර්ෂණය ද දිනා ගනියි. නමුත් ඒවා යුරෝපයේ ජල සැපයුම සඳහා ද අත්‍යවශ්‍ය වේ. මෙම ග්ලැසියර දියවී යාමත් සමග, ඇල්ප්ස් කඳුකරය පුරා සිටින ප්‍රජාවන් තම අනාගතය ගැන ඉමහත් කණස්සල්ලට පත්ව සිටිති.

ස්විට්සර්ලන්තයේ, මුහුදු මට්ටමේ සිට මීටර් 3 000ක් පමණ ඉහළ සීමාවේ දී සාමාන්‍යයෙන් නම් අයිස් දැකීමට හැකිවිය යුතු ය. නමුත් කේබල් කාර් සමාගමක් වන ග්ලැසියර් 3000 ක්‍රියාත්මක වන ලේ දියාබ්ලොහේ ගම්මානයට ඉහළින් දැන් හිම රහිත පාෂාණයන්ගෙන් යුත් විශාල ප්‍රදේශ දකින්නට තිබේ.

සන්ෆ්ලුරොන් සහ සෙක්ස් රූජ් ග්ලැසියර ද්විත්වය මේ වන විට දෙකට බෙදී ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ හිමෙන් වැසී තිබූ පොළොව නිරාවරණ කරමිනි.

මෙම සොයාගැනීම්, යුරෝපයේ ග්ලැසියර හැකිලෙමින් පවතින බවටත්, අයිස් දියවීම සහ ගෝලීය උණුසුම අතර සෘජු සම්බන්ධයක් පවතින බවටත් දීර්ඝ කාලයක් තිස්සේ ලැබුණු සාක්ෂිවලට අනුකූල වේ.

පෘථිවියේ අයිස් ආවරණ උෂ්ණත්වයේ වෙනස්වීම්වලට ඉතාමත් සංවේදී ය. එබැවින් පෘථිවිය උණුසුම්වීමේ දීමුලින්ම එහි බලපෑමට ලක්වන්නේ ද, දියවීම මඟින් මුලින්ම ඊට ප්‍රතිචාර දක්වන්නේ ද මෙම ග්ලැසියර යි.