වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් (CO2) උරාගෙන, ඒවා මුහුදේ තැන්පත් කරනා නව ක්‍රමයක් විද්‍යාඥයින් ආකෘතිගතකර තිබේ. මෙම නව ප්‍රවේශය මඟින් වත්මන් ක්‍රමවලට වඩා තෙගුණයක් දක්වා කාර්යක්ෂමව වායුගෝලයේ CO2 ග්‍රහණයකර ගන්නාබව අධ්‍යයනයේ කතුවරු පවසති. මේ උණුසුම්කාරක වායුව බයිකාබනේට් ඔෆ් සෝඩාබවට පරිවර්තනයකර, ආරක්ෂිතව හා ලාභදායී ලෙස මුහුදු ජලයේ ගබඩා කළ හැකි ය.

කාබන් ඉවත් කිරීමේ තාක්ෂණය ලොවට නිකුත්කිරීම වේගවත් කිරීමට ද නව ක්‍රමයට හැකිබව විශේෂඥයෝ පවසති.

මෑත දශක කිහිපය තුළ දී ලෝකය කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සීමා කිරීමටත්, අඩු කිරීමටත් දැඩි උත්සාහයක යෙදී සිටි නමුත්, සමාගම් කිහිපයක් ඒ වෙනුවට වායුගෝලයෙන් CO2 ඉවත් කිරීම සඳහා තාක්ෂණය දියුණු කිරීමට අවධානය යොමුකර තිබුණි.

මේ සමාගම් අතරින් වඩාත්ම ප්‍රසිද්ධව තිබෙන්නේ, ඇතැම් විට ස්විට්සර්ලන්තයේ ‘ක්ලයිම්වර්ක්ස්’ විය යුතු ය. පසුගිය වසර දහය තුළ දී ක්ලයිම්වර්ක්ස් විසින් වායුගෝලීය වාතය උරාගෙන, කාබන්ඩයොක්සයිඩ් අණු පෙරා හසුකර ගන්නා යන්ත්‍රයක් වැඩිදියුණුකර තිබේ.

DAC

ක්ලයිම්වර්ක්ස් ආයතනය විසින් ලොව විශාලතම සෘජුව වායු ග්‍රහණය කිරීමේ කර්මාන්ත ශාලාව අයිස්ලන්තයේ ස්ථාපනයකර ඇත

මෙසේ හසුකර ගත් CO2, අයිස්ලන්තයේ පිහිටි කර්මාන්තශාලාවක දී පොළොවේ ගැඹුරට විද, ඒවා ස්ථාවර ගල්බවට හරවයි. මෑතක දී, එම සමාගම මයික්‍රොසොෆ්ට්, ස්පොටිෆයි සහ ස්ට්‍රයිප් ඇතුළු මහා පරිමාණ ආයතනික ගනුදෙනුකරුවන්ට කාබන් ඉවත් කිරීම සහතික කළ සේවාවක් විකිණීම ආරම්භකර ඇත. එනමුත්, වාතය හසුකර ගැනීම හැසිරවීමේ දී බොහෝ වර්තමාන ප්‍රවේශයන් මුහුණපානා එක් විශාල ගැටලුවක් වන්නේ වියදම යි.

CO2 වායුව ප්‍රබල උණුසුම්කාරකයක් වුව ද, වාතය තුළ මිලියනයකට කොටස් 400ක් (400 ppm) පමණ වන ලෙස සාපේක්ෂව තනුකවී පවතියි. එබැවින් කාබන්ඩයොක්සයිඩ් වායුව අවශෝෂණයකර විසර්ජනය කිරීම සඳහා, විශාල ශක්තියක් යොදාගන්නා විශාල යන්ත්‍රෝපකරණ අවශ්‍ය වේ. නමුත්, සාමාන්‍යයෙන් මෙවැනි කාර්යයයන් සඳහා භාවිතා නොකෙරෙන රෙසින වර්ග සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය භාවිතා කරනා මෙම නව ප්‍රවේශය විසින්, වඩාත් ඉහළ කාර්යයක්ෂමතාවක් සහ අඩු පිරිවැයක් ගැන පොරොන්දු ලබාදෙනබව ඊට සම්බන්ධ විද්‍යාඥයෝ පවසති.

ජලය පිළිබඳ යෙදීම්වල දී භාවිතා කරනා ප්‍රවේශයක් උපුටාගත් පර්යේෂණ කණ්ඩායම, වාතයෙන් CO2 ඉවත්කළ හැකිවන අයුරින්, එහි පවතින ද්‍රව්‍ය “සීරුමාරුකර” තිබේ.

එය පරීක්ෂා කිරීමේ දී, දැනට පවතින ද්‍රව්‍යයන් මෙන් තෙගුණයක CO2 අවශෝෂණයකර ගැනීමට නව දෙමුහුන් අවශෝෂක ද්‍රව්‍යයන්ට හැකිවිය.

tree planting
මෙම පින්තූරයේ පෙන්වන අයුරින් චීනයේ මෙන් මහා පරිමාණයෙන් ගස් සිටුවීම, සෘජු වායු ග්‍රහණය සිදුකරනා ලාභදායී ආකාරයකි. නමුත් ඒ සඳහා විශාල භූමි ප්‍රදේශයක් වැයවෙයි

“මගෙ දැනුමට අනුව, 400 ppm අගයක් තියෙන වාතය සෘජුව ග්‍රහණයකර ගැනීමේ දී අපට ලැබෙන ධාරිතාව 100 000 ppm දී හෝ පෙන්නුම් කරන අවශෝෂණ ද්‍රව්‍යයක් කොහෙවත් නැහැ,” පර්යේෂණයේ ප්‍රධාන කතෘ වන, එක්සත් ජනපදයේ ලීහයි විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය අරූප් සෙන්ගුප්තා ප්‍රකාශ කළේ ය.

“ද්‍රව්‍ය කුඩා පරිමාවකින්, CO2 ඉහළ ප්‍රමාණයකින් ග්‍රහණයකර ගැනීමේ මේ සරල හැකියාව, අපේ පර්යේෂණ කටයුතුවල විශේෂ අංගයක්.

මෙම වැඩිදියුණු කිරීම එහි මුල් අවධියේ පැවතුන ද, ක්ෂේත්‍රයේ අනෙකුත් තැනැත්තන්ගේ පිළිගැනීමට පාත්‍රවී තිබේ.

“මට හරි සතුටුයි මේ පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශිත පර්යේෂණ අතර තියෙනවා දකින්න ලැබෙන එක ගැන, ඒක හරිම උද්යෝගයක් ඇතිකරනවා, ඒ වගේම CO2 ග්‍රහණයකර ගැනීමේ උත්සාහයන් පරිණාමනය කරන්න ලොකු ඉඩක් මේකට තියෙනවා,” පර්යේෂණ ව්‍යාපෘතියට සම්බන්ධ නොවූ, භූ විද්‍යාත්මක ඉංජිනේරු විද්‍යාවේ විශේෂඥවරියක වන එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය කැතරින් පීටර්ස් පැවසුවා ය.

“මෙතන හපන්කම තමයි, මේකෙ ආරම්භක ලක්ෂ්‍යය වුණේ ජලය පිළිබඳ යෙදීම් සඳහා කලින් නිර්මාණය කරලා තිබුණු තාක්ෂණයක්. අලුත් දියුණුකිරීම්, මේ තාක්ෂණය වායු අදියර සඳහා යොදාගන්නවා – ඒක නව අදහසක්.”

“විස්තර කරලා තියෙන CO2 ග්‍රහණ හැකියාව බලාපොරොත්තු ඇතිකරවනවා.”

CO2 ග්‍රහණයකර ගැනීම හා සබැඳි විශාලම ගැටලුවක් වන්නේ, ග්‍රහණයකර ගත් වායුවට කුමක් සිදුකරන්නේ ද යන්න ය.

මෙහිදී වඩාත් සුලබ ප්‍රවේශයක් වන්නේ පොළොව හෝ සාගරය යට පිහිටි පැරණි තෙල් ළිංවල ඒවා ගබඩා කිරීම යි. නමුත් නව පර්යේෂණ පත්‍රිකාව යෝජනා කරන පරිදි, ග්‍රහණය කරගත් CO2වලට ඇතැම් රසායනික ද්‍රව්‍ය එකතු කිරීමෙන් ඒවා බයිකාබනේට් ඔෆ් සෝඩාබවට පරිවර්තනයකර මුහුදු ජලය තුළ සරලව හා ආරක්ෂිතව ගබඩා කළ හැකි ය.

green energy

පුනර්ජනනීය බලශක්තිය සීඝ්‍රයෙන් නිපදවමින් තිබියදීත්, ඉහළ යන උෂ්ණත්වය පාලනය කිරීම සඳහා කාබන් ඉවත් කිරීම ද පුළුල් ලෙස සිදුකිරීම අවශ්‍ය වනු ඇත

මෙම තාක්‍ෂණය වැඩිදුරටත් දියුණු කිරීම සඳහා ස්වාධීන පෝතක සමාගමක් (spin-off company) පිහිටුවීමට තමාට අවශ්‍යබව ආචාර්ය සෙන්ගුප්තා පවසයි.

මෙයාකාරයෙන් CO2 ඉවත් කිරීම ගෝලීය උෂ්ණත්වය ඉහළයෑම සීමා කිරීම සඳහා තීරණාත්මක වනවා පමණක් නොව, සංවර්ධනයවෙමින් පවතින රටවලට සෘජු බලගැන්වීමක් විය හැකිබව ද ඔහු විශ්වාස කරයි.

“අපට මේක බංගලාදේශය හරි, බාබඩෝස් හරි, නැත්නම් මාලදිවයින් හරි වගෙ තැන්වලටත් ගෙනියන්න ඕන. ඒගොල්ලන්ටත් ඉටු කරන්න කාර්යයභාරයක් තියෙනවා. ඒගොල්ලො හැමදාමත් දුක්විඳින නරඹන්නෝ වෙලා ඉන්න ඕන නැහැ.”

ඇතැම් විද්‍යාඥයන් වාතය සෘජුව ග්‍රහණයකර ගැනීම වැනි නව හා නැගී එන තාක්‍ෂණික ක්‍රමයන් වෙත ඕනෑවට වැඩි බරක් තැබීමට මැලිකමක් දක්වන්නේ, එමඟින් රජයයන් සහ පුද්ගලයන්ගේ කාබන් අවම කිරීමේ ප්‍රයත්නයන් දියාරුවී යනු ඇතැ යි බියක් ඔවුන් තුළ පවතිනබැවිනි.

නමුත්, ඉහළ යන විමෝචන මට්ටම් නිසා පැරිස් දේශගුණික ගිවිසුමේ උෂ්ණත්ව සීමාවන් තර්ජනයට ලක්ව ඇති අතර, කාබන් විශාල වශයෙන් අවම කිරීමට අමතරව සෘජු වාතය ග්‍රහණයකර ගැනීමේ ක්‍රමය ඉක්මණින් භාවිතාවේ යෙදවීම භයානක දේශගුණික විපර්යාස වළක්වාගැනීම සඳහා ඇති හොඳම බලාපොරොත්තුවබව තවත් බොහෝදෙනෙකු විශ්වාස කරයි.

“මේක දැන් වඩාත් වැදගත් වෙලා තියෙනවා, මොකද අපි දැන් ඉන්නේ ‘ඉලක්කය ඉක්මවා ගිය රෙජිමයක’. එතකොට අපි අනිවාර්යයෙන්ම පරිසරයෙන් කාබන් ආපහු ලබාගන්න ඕන,” CO2 ඉවත් කිරීමේ ක්‍ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන මහාචාර්ය ක්ලවුස් ලැක්නර් පැවසීය.

“[මේ සඳහා] ප්‍රයෝජනවත් දායකත්වයක් ලබාදෙන්න නම් වාතයෙන් සෘජුව ග්‍රහණයකර ගැනීමේ මිල අඩුවෙන්න ඕන. එහෙම කරන්න පුළුවන් කියලා මට සුබවාදී හැඟීමක් තියෙනවා.”

නව ප්‍රවේශය මඟින්, CO2 ටොන් එකක් ඩොලර් 100කට අඩු වියදමකින් ඉවත් කළ හැකිබව විශ්වාස කරනා මහාචාර්ය සෙන්ගුප්තා එම සුබවාදීබව බෙදා ගනියි.

මෙම පර්යේෂණය Science Advances සඟරාවේ ප්‍රකාශයට පත්ව තිබේ.

bbc