එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ගෝලීය ජල අර්බුදයක් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් ගැන අනතුරු අඟවා තිබේ. ලෝකය “අන්ධ ලෙස ගමන් කරමින් සිටින්නේ අධි පරිභෝජන සහ අධි සංවර්ධනයේ” භයානක මාවතක බව වාර්තාව පවසයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ මිනිස් වර්ගයාගේ ජීවනාලිය වන ජලය, තිරසාර නොවන ජල භාවිතය, දූෂණය සහ පාලනය නොකළ ගෝලීය උණුසුම” හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

IPCC විශේෂඥ මණ්ඩලය විසින් මෙම වාර්තාව සම්පාදනය කර ඇත.

වාර්තාවේ ප්‍රධාන කතුවරයා වන රිචඩ් කොනර් පැවසුවේ ගෝලීය ජනගහනයෙන් 10%ක් පමණ “දැනටමත් ජීවත් වන්නේ ඉහළ හෝ තීරණාත්මක ජල ආතතියක් ඇති ප්‍රදේශවල” බවයි.

“ලෝකය පුරා බිලියන 3.5ක් දක්වා ජනතාව වසරකට අවම වශයෙන් මාසයක් ජල පීඩනය යටතේ ජීවත් වන බව අප අපගේ වාර්තාව මගින් හෙළි කර තිබෙනවා” ඔහු මාධ්‍ය වෙත පැවසීය.

මෙම වාර්තාවට අනුව, “ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දැනට අවම වශයෙන් අවුරුද්දේ කොටසක් හෝ දැඩි ජල හිඟයක් අත්විඳිති”

කොනර් පැවසුවේ ගෝලීය ජල සැපයුම සම්බන්ධයෙන් “අවිනිශ්චිතතාවයන් වැඩිවෙමින් පවතින” බවයි.

“අපි එය විසඳා නොගන්නේ නම්, නියත වශයෙන්ම ගෝලීය අර්බුදයක් ඇති වෙනවා” ඔහු පැවසීය.

UNDP සහකාර පරිපාලක Usha Rao Monari පැවසුවේ අනාගතයේදී ජල සම්පත වඩාත් ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු බවයි.

“පසුගිය දශක කිහිපය තුළ අප එය කළමනාකරණය කළාට වඩා ඵලදායී ලෙස කළමනාකරණය කළහොත් පෘථිවියේ ප්‍රමාණවත් තරම් ජලය තිබෙනවා. වෙන කවරදාටත් වඩා නව පාලන ආකෘති, නව මූල්‍ය ආකෘති, ජලය භාවිතා කිරීමේ සහ ජලය නැවත භාවිතා කිරීමේ නව මාදිලි සොයා ගැනීමට අපට සිදුවනු ඇතැයි මම සිතනවා. ජල ක්ෂේත්‍රය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සොයා බැලීමේදී තාක්‍ෂණය සහ නවෝත්පාදනය ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලියි‘  පැවසුවාය.