මේ දිනවල පවතින අධික රස්නය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ මාර්තු සහ අප්‍රේල් මාසය වන විට ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම හේතුවෙන් සිරුරෙන් දහදිය පිටවීම වැඩිවන බවයි.

“හිරුගේ රස්නය වැඩිවීම එක්ක අපේ ශරීරයේ දහදිය පිටවීම වැඩිවෙනවා. දහදිය කියන්නේ සිරුරේ වතුර පිටවීම පමණක් නෙමෙයි සෝඩියම් වැනි ලවණ වර්ගත් පිටවෙනවා,” යනුවෙන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

අධික රස්නය හේතුවෙන් මිනිස් සිරුරට ඇතිවන බලපෑම් මොනවාද?

අධික රස්නය සමග මිනිස් සිරුරෙන් දහදිය පිටවීම වැඩිවීම හේතුවෙන් විජලන තත්ත්වයට පත්වීමට ඇති ඉඩකඩ වැඩි බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙයි.

“විජලන තත්ත්වයට පත්වීමත් සමග ශරීරයේ රෝග ලක්ෂණ කිහිපයක් දකින්න පුළුවන්. විශේෂයෙන් ඇඟපතේ අපහසුව, හිසරදය, වැඩ කිරීමේ අපහසුව, නිදිමත ගතිය වැඩිවීම වගේ රෝග ලක්ෂණ ඇතිවනවා. ඒ වගේම කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන් උණ රෝගී තත්ත්වයෙන් පෙලෙනවා කියලා.”

මීට අමතරව ලවණ වර්ග අඩුවීම නිසා ශරීරය විජලන තත්ත්වයට පත්වීමත් සමග පිපාසය වැඩිවීම, මුත්‍රා පහවීම අඩුවීම, මුත්‍රා පහවීමේ දී එහි පැහැය තද පාටක් ගැනීම සහ ජලය ක්‍රමවත් ලෙස පානය නොකිරීමෙන් තාප කම්පන තත්ත්වයක් (Heat Strokes) වුව ද ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

farmer exposed to the sun

තාප කම්පනය හේතුවෙන් මිනිස් සිරුරට ඇතිවන බලපෑම් මොනවා ද?

අධික රස්නය නිසා විජලනයට පත්වීම හේතුවෙන් ඇතිවන තාප කම්පනය නිසා මිනිස් මොළයට මෙන්ම හෘදය වස්තුවට බලපෑම් එල්ලවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

“මෙවැනි තාප කම්පන තත්ත්වයක් ඇතිවූ විට පුද්ගලයෙකු එක්වරම සිහිමුර්ජා වීම මෙන්ම මරණයට පත්වීමේ ද ඉඩකඩ පවතිනවා,” වෛද්‍ය දීපාල් පෙරේරා කරුණු පැහැදිළි කරන ලදී.

අධික රස්නය නිසා ඇතිවන රෝගී තත්ත්වයන්ට වැඩි වශයෙන් නිරාවරණය විය හැකි පුද්ගලයින් කවුරුන්ද ?

විශේෂයෙන්ම මෙම රෝගී ලක්ෂණ දරුවන්ට ද ඇතිවිය හැකිවුව ද, ඔවුන්ට එය පැවසීමට නොතේරෙන බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේය.

“මීට අමතරව පාසැල් ක්‍රීඩා තරග, පාසැල් ක්‍රිකට් තරග, අවුරුදු උත්සව මෙන්ම මැරතන් තරග මෙන්ම ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ පුහුණු කිරීම් සහ එළිමහනේ වැඩකටයුතුවල නියැලෙන පිරිස්වලට ද මෙම රෝග ලක්ෂණ ඇතිවන්න පුළුවන්,” ඔහු සඳහන් කරයි.

A child drinking water

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

අධික රස්නයෙන් ඔබේ සිරුර ආරක්ෂා කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවා ද?

1. ජලය සහ දියර ආහාර සඳහා පෙළඹවීම

පවතින අධික රස්නය හේතුවෙන් මිනිස් සිරුරෙන් පිටවන දාහය සහ ලවණ ප්‍රමාණය අධික වන බැවින් වෙනදාට වඩා වැඩි වශයෙන් ජලය මෙන්ම ස්වභාවික දියර ආහාර භාවිතයට මහජනතාව පෙළඹිය යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

“ජලයට අමතරව දෙහි, දොඩම්, නාරම්, දෙළුම්, ජීවනී, කැඳ, සුප් වර්ග වැඩි වශයෙන් පානය කිරීමට පුරුදු වෙන්න අවශ්‍ය වෙනවා,” විශේෂඥ වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.

2. ජලය සහ ඇඳුම් භාවිතය ගැන වැඩි අවධානයක් දෙන්න

දහදිය අධිකව දැමීම නිසා සිරුරේ දහදිය බිබිලි මෙන්ම දද සහ කුෂ්ඨ රෝග වැඩිවීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බැවින්, දරුවන්ට වැඩි කාලයක් ජලයේ සිටින්න ඉඩදීම ඉතා සුදුසු බව ද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දී ඇත.

“සාමාන්‍යයෙන් උදේ සහ සවස මිනිත්තු 20 – 20 බැගින් දරුවන්ට ජලයේ සිටින්න ඉඩ දෙන්න. වෙනදාට වඩා දරුවන්ට නාන්න ඉඩ දෙන්න. එමෙන්ම අධික රස්නය සහිත කාලගුණික තත්ත්වයක් පවතින නිසා හැකි අයුරින් කපු සහ සැහැල්ලු ඇදුම් භාවිතයට ගැනීම සුදුසුයි,” විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

bbc