සණස ව්‍යපාරයේ පදනම වෙන්නේ සමූපකාරිව කටයුතු කිරීමයි. තමන් මුහුණ දෙන ප්‍රශ්න තනි තනිව විසදා ගැනීමට නොහැකි ප්‍රජාවට කණ්ඩායමක් සමග එක්ව එය ජය ගැනීමට. ශක්තිය ලබාදීම වෙනුවෙනුයි සණස සමිති ආරම්භ කළේ. සණස සමිති ආරම්භ කළේ ම ගමට කාරක ප්‍රාග්ධනය සැපයීම වෙනුවෙනුයි. එය නිර්මාණය කර ගත්තේ ගමේ ම මිනිසුන් විසින් ම යි.

සණස ව්‍යාපාරයේ හරය, දර්ශනය වන්නේ ‘එකා සැමටත් – සැම එකාටත්’ කියන සමූපකාර පදනමම යි. ඒ වගේම ‘ගමේ සම්පත් ගමට’ කියන තේමාවයි. ගමේ සම්පත් කියන කොට ගමේ තියෙන වත්කම් ගැන තමයි සණස කතා කරන්නේ. ඒ කියන්නේ ගමේ තිබෙන ඉඩකඩම්, ගමේ මානව සම්පත සහ ‘ගමේකම’ නැතහොත් ඒ සමාජ වටිනාකම ගැනයි සණස අවධානය යොමු කළේ. මිනිස්සුන්ගේ එකමුතුකම, එකට සිටීමයි. එය ‘සමාජ ප්‍රාග්ධනය’ කියලා කියනවා.  ඒ වගේම සණස දර්ශනය තුළ ‘පාරම්පරික දැනුමත්‘ වත්කමක් ලෙස සලකනවා. මෙම වත්කම් ප්‍රජාවේම යහපත වෙනුවෙන් යොදා ගැනීම තමයි සණස ව්‍යාපාරයේ දර්ශනය වෙන්නේ. නමුත් අපි  කාලයක් පුරා දුටුව දෙයක් තමයි මේ වත්කම් ක්‍රමිකව අපේ සමාජයෙන් තුරන් වෙමින් අපි මුදල පමණක් වත්කමක් ලෙස සලකන සමාජයක් බවට පත් වෙන බව අපි දැක්කා. උදාහරණයක් ලෙස අපේ තරුණ පරපුර ගමේ තිබෙන සම්පත් එක්ක, තමන්ගේ ඉඩකඩම් එක්ක, කුඹුරු එක්ක ගනුදෙනු කිරීම පසෙක දාලා නගරය වෙත සංක්‍රමණය වෙමින් මාසික වැටුපකට තමන්ගේ ජීවිතය හුරුකර ගෙන ඇති බව අපි දකිනවා.  ඒ වගේම තමයි මේ වන විට ගමේ යහපැවැත්ම වෙනුවෙන් බිහිකළ, අත්‍යවශ්‍ය විවිධාකාර ස්වේච්ඡා සමිති සමාගම්වලට තරුණයින්ගේ සහභාගීත්වය අහිමි වෙමින් තිබෙන බවක් අපි දකිනවා. අද ගමේ පිහිටුවා ගෙන ඇති විවිධාකාර ස්වේච්ඡා සමිති – සමාගම්වලට තරුණ සහභාගීත්වය ඉතාම සීමිතයි. මේ හරහා ගමට ශක්තියක් වූ සමාජ ප්‍රාග්ධනය අද ගමට අහිමි වෙලා තිබෙනවා. මළ ගෙයක් පවා කරගත නොහැකි තත්ත්වයට අද ඇතැම් ගම් පත්වෙලා තිබෙනවා.

මේ තත්ත්වයට සමගාමීව ගමේ මූල්‍යමය තත්ත්වය ගැන අවධානය යොමු කළහොත් එයත් ක්‍රමිකව දුර්වල වෙමින් තිබෙනවා. විශේෂයෙන් ග්‍රාමීය ගොවීන් තනි තනිව තමන්ගේ කටයුතු කිරීමට යොමු වීම, තමන්ගේ ගැටලු තමන් විසින් ම විසදා ගැනීමට යොමු වීම නිසා ගමට ගලා ආ මූල්‍ය ප්‍රවාහයන් ද අද වන විට දුර්වල වෙමින් තිබෙනවා. අද ඔවුන්ට විකල්පත් නැහැ. තිබෙන වත්කම් සමග ගනුදෙනු කළ හැකි ආකාරය ගැන අවබෝධයකුත් නැති තත්ත්වයට අද ගම්වල ජනතාව පත්ව සිටිනවා. මෙය දීර්ඝ කාලීනව  සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ලත් අත්දැකීම් අනුව අපට පෙනී යන දෙයක් තමයි අපි ප්‍රජාවක් ලෙස තිරසර නැති බව. මේකට ප්‍රකට උදාහරණයක් ලෙස ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අපි රටක් ලෙස වර්තමානයේ මුහුණ දෙන අභියෝගය දැක්විය හැකියි.

අපි හිතුවා අඩුම තරමින් අපේ ආහාර නිෂ්පාදනය පිළිබදවවත් අපිට මීට වඩා  හොඳ ආකෘතියක් නිර්මාණය කර ගැනීමේ උත්සාහයක් වෙත යොමු විය යුතුයි කියලා. ඒ වෙනුවෙන් කරන නියැදියක් ලෙස තමයි සණස ජාත්‍යන්තර සමාගම විසින් ‘සුහුරු ගොවියා’ කියන ව්‍යාපෘතිය ආරම්භ කළේ.

ව්‍යාපෘතියේ පරමාර්ථය

තිරසර ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට නායකත්වය දීම සදහා වෙළෙදපොළ හැසිරීම මත ප්‍රතිචාර දක්වන සංවිධානාත්මක සාමූහිකයක් ලෙස ක්‍රියා කිරීමට කුඩා ඉඩම් හිමි ගොවීන් සංවර්ධනය කිරීම’යි මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ. සුහුරු ගොවි ව්‍යාපෘතියේ අරමුණු 03ක් තිබෙනවා.

  1. කුඩා ඉඩම් හිමි ගොවි පවුල් සඳහා මූල්‍ය සහ මූල්‍ය නොවන සේවා ලබා ගැනීම සඳහා ගොවි ප්‍රජාව සවිබල ගැන්වීම.
  2. ගොවීන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කෘෂිකාර්මික ප්‍රතිපත්ති සකසා ගැනීමට මැදිහත් වීම
  3. ජාතික ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට දායක වීම.

 ‘සුහුරු ගොවි වැඩසටහන යනු කුමක්ද ?

‘සුහුරු’ කියන වචනය ආවේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක. මෙහි ඉංග්‍රීසි වචනය තමයි ‘SMART’ කියලා කියන්නේ. අද මේ වචන දෙකම වෙනසකින් තොරව බොහෝ විට භාවිත වන තත්ත්වයක් තිබෙනවා. කෘෂිකර්මාන්තයේදී සුහුරු, නැතහොත් ස්මාර්ට් කියන වචනය භාවිත කරන්නේ තාක්ෂණයට සම්බන්ධ කරලා. ඒ කියන්නේ ‘ඩිජිටල් තාක්ෂණය නොඑසේ නම් නවීන තාක්ෂණය භාවිතා කරන, කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන ගොවියා‘ කියන එක තමයි  බොහෝ විට ‘සුහුරු ගොවියා – SMART FARMER’ ලෙස භාවිත වන්නේ. නමුත් අපි ඒක ඒ ආකාරයෙන්ම භාවිතා කරන්නේ නැහැ. අපි ඊට වඩා වෙනස් ආකාරයකින් තමයි ‘සුහුරු ගොවියා‘ කියන සංකල්පය භාවිත කරන්නේ.

සණස ජාත්‍යන්තරයට අනුව ‘සුහුරු ගොවියා‘ කියන්නේ,

  1. රාජ්‍ය සහනාධාර එනතෙක් බලා නොසිටින්නෙක්
  2. කෘෂි ව්‍යාපෘති නිලධාරියා විසදුම් ගෙන එන තෙක් බලා නොසිටින්නෙක්
  3. ගැටලුවකට මුහුණ දීමේදී ‌ ගොවිතැනින් ඉවත් වීමට නොසිතන්නෙක්.
  4. තමා විසින්ම විසදුම් සොයන්නෙක්
  5. සක්‍රීයව නව්‍යකරණයන් සහ හොද ගොවිතැන් ක්‍රම සොයන්නෙක්.
  6. සෑම විටම කර්මාන්තයේ නවොත්පාදනයන් සහ නවතම දේ ගැන දැන සිටින්නෙක්.
  7. ඉගෙනීමට සූදානම් අයෙක්
  8. ව්‍යාපාරයේ මූල්‍යමය ස්වභාවය තේරුම් ගන්නෙක්.
  9. වගකීමෙන් යුතුව අවදානම් භාර ගන්නෙක්.
  10. අවදානම් කළමනාකරණය කරන්නෙක්.
  11. ගොවිතැන වෘත්තීයක් ලෙස කරන්නෙක්.

මෙම ගුණාංග 11 සහිත පුද්ගලයෙක් අපි සුහුරු ගොවියෙක් ලෙස සලකනවා.

 බුද්ධිමත් ලෙස නූතන වෙළෙපොළ අවබෝධ කරගෙන, ප්‍රමිතියට ගොවිතැන් කිරීම’ තමයි අපි                        සුහුරු ගොවිතැන ලෙස දකින්නේ

ඒ අනුව, ‘බුද්ධිමත් ලෙස තාක්ෂණය සම්බන්ධ කර ගනිමින්, තමන් කරන කාර්යය සම්බන්ධ දැනුමක් සහ සැලැස්මක් සහිතව වැඩ කරගෙන යන ගොවියා ‘සුහුරු ගොවියෙක්’ ලෙස අපි නිර්වචනය කරනවා. මෙහි සරල අදහස තමයි ‘මොළයක් එක්ක ගොවිතැන් කරමු’  කියන එක. ඒ කියන්නේ වෙන ගොවියෝ කරන කරන තාලයට ගොවිතැන් නොකරන, කරන්නන් වාලේ ගොවිතැන් නොකරන, තමන් සතු වත්කම් දෙස බලා ගෙන ඒ වත්කමත් එක්ක වෙළෙදපොළට තමන්ට සැපයීමට හැකි කුමක් ද කියලා නිසි අවබෝධයක් ඇතිව, මේ අවස්ථාවේදී සිදුවන පාරිසරික වෙනස, වෙළෙදපොළ ප්‍රවණතා තේරුම් ගෙන නිසි අවබෝධයකින් වගා කිරීමට යොමු වීමට සූදානම්’ යන තැනින් තමයි අපි සුහුරු ගොවියා බිහි කරන්නේ. මේ සමස්තය වචන කිහිපයකින් ප්‍රකාශ කරනවා නම් බුද්ධිමත් ලෙස නූතන වෙළෙපොළ අවබෝධ කරගෙන, ප්‍රමිතියට ගොවිතැන් කිරීම’ තමයි අපි සුහුරු ගොවිතැන ලෙස දකින්නේ.

අපි දන්නවා ලංකාවේ ගොවිතැන් කරන 80%ක් පමණ පිරිසක් සුළු ගොවීන්. ඔවුන් කම්කරුවෝ වගේ පිරිසක්. ඔවුන් හිතනවා තමන් ගොවියෝ කියලා. නමුත් ඔවුන්ගේ වගාව පිළිබද තීරණ ගන්නේ, පොහොර පිළිබඳ තීරණය කරන්නේ, මිල තීරණය කරන්නේ, ඒ වගේම වගා කරන දවස පවා තීරණය කරන්නේ ඔවුන් නොවෙයි. ඔවුන් වෙන කිසිවෙක් විසින් කරන ක්‍රියාවලියක කම්කරුවෙක් වගේ වැඩ කරන කෙනෙක්. අපිට අවශ්‍ය පරිසර හිතකාමී, ගොවීන් සතුටින් ඉන්න තිරසර ආහාර නිෂ්පාදන ක්‍රියාවලියකට යාමට යි. ඒ නිසා අපි ගොවියෝ ආරක්ෂා කරන කෘෂිකර්මාන්තයක් ගැන සිතා බැලිය යුතුයි.

අපේ ඉලක්කය

ආරම්භක අදියරේ, එනම් 2020-2024 වසර හතර තුළ අපි ඉලක්ක පහක් ඔස්සේ මෙම වැඩසටහන දියත් කරනවා.

  1. 2024 වන විට ආහාර නිෂ්පාදන සමූපකාර සමිති 50ක් බිහි කිරීම
  2. වෙළෙදපොළට ආහාර සපයන ගොවි වැඩසටහන් 200ක්
  3. මාසිකව අවම රුපියල් 40,000ක ආදායමක් ලබන සුහුරු ගොවීන් 8000ක් බිහි කිරීම
  4. තිරසර ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට නායකත්වය දෙන, දැනුමින් සන්නද්ධ ගොවි නායකයින් 400 දෙනකු බිහි කිරීම
  5. කෘෂි අස්වනු වෙන්දේසි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

සුහුරු ගොවිතැනේ වටිනාකම්                                                        

අපි කතා කරන සුහුරු ගොවිතැන සමග අපි ප්‍රධාන වශයෙන් අගයන්, වටිනාකම්  04ක් ගැන අවධානය යොමු කරනවා. ඒවා නම්,

  1. තිරසර බව
  2. ව්‍යවසායකත්වය
  3. ආහාර සුරක්ෂිතතාවය
  4. සාමූපකාරික බව

සහභාගිත්වයෙන් සැලසුම් ගතව ගොවිතැනට

සණස ජාත්‍යන්තරය මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වන්නේ බිම් මට්ටමෙන් ගොවීන් සංවිධානය කිරීමයි. මෙහිදී අපි කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරනවා.

අපි දන්නවා ‘ගොවීන්’ කියලා කියන විශාල පිරිසක් ගම්වල ඉන්නවා. ඒත් ඔවුන්ගෙන් සැබෑ ලෙසම කෘෂිකර්මාන්තයේ නිරත වන, අවම වශයෙන් වසර තුනක වගා සැලසුමක් ඇති පිරිසක් තමයි අපේ ඉලක්ක ගත කණ්ඩායම වන්නේ. අපි උත්සහ ගන්නේ යම්කිසි බල ප්‍රදේශයක් තුළ, යම්කිසි නිශ්චිත බෝගයක් වටා ගොවි කණ්ඩායමක් සමූපකාර ක්‍රමයට එක් කිරීමටයි. මෙම කණ්ඩායමට වගාවට සම්බන්ධ අවශ්‍ය දැනුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් මගින් හෝ වෙනත් එවැනිම රාජ්‍ය ආයතනවලින් ලබා ගැනීමට අපි පියවර ගන්නවා. එසේම මෙම කණ්ඩායමට වෙළෙදපොළ ප්‍රමිතිය ආදිය සම්බන්ධ විශේෂඥ දැනුම ලබාදීමට පියවර ගන්නවා. සරල ආකාරයෙන් කීවොත් අදාළ වගාවන් සම්බන්ධ විශේෂඥ දැනුම හෝ ප්‍රායෝගික දැනුම තිබෙන්නේ කොතැනද අපි එය අපේ ගොවීන්ට ලබාදීමට රජය සහ පෞද්ගලික අංශ එක්කර ගන්නවා.

මෙම වැඩසටහනේ තේමා පාඨය ලෙස භාවිතා කරන්නේ ‘වපුරමු – නෙළමු – ගොඩයමු’ කියන පාඨයයි.  ඒ කියන්නේ වගාව හරහා ඔබට ගොඩයන්න, දියුණු වෙන්න අවශ්‍ය නම් ඔබ මුලින්ම ඒ ගැන මනස සකස් කර තබා ගෙන සිටිය යුතුයි. වෙන කාටහරි, ඒ කියන්නේ ආණ්ඩුවට හෝ වෙනත් ආයතනයකට ඔබව ගොඩදාලා දෙන්න බැහැ. සහනාධාර ගැන, දේශපාලඥයා නිකං ගෙනත් දෙන දේ ගැන හීන දැක දැක ඉන්න කෙනෙකුට දියුණු වෙන්න බැහැ. තමන්ගේ දියුණුවේ මාවත තමන් විසින්ම නිර්මාණය කරගත යුතුයි.

සහනාධාර නොවේ

ලංකාවේ බොහෝ ගොවීන් සහනාධාර, සුබසාධන සහ නොමිලේ ලබාදීම් මත සිදුවන උත්තේජනය මත වගාවට යොමු වෙනවා. ඒත් අපේ සුහුරු ගොවියා වැඩසටහන තුළින් මේ කිසිවක් ලබාදීම සිදුවන්නේ නැහැ. අපි ආරම්භයේදීම අවධාරණය කරන කරුණ වන්නේ ‘ඔබ සහනාධාර බලා ගෙන අප සමග එක් නොවිය යුතුයි’ කියන දේ. මෙම වැඩසටහනේ තේමා පාඨය ලෙස භාවිතා කරන්නේ ‘වපුරමු – නෙළමු – ගොඩයමු’ කියන පාඨයයි.  ඒ කියන්නේ වගාව හරහා ඔබට ගොඩයන්න, දියුණු වෙන්න අවශ්‍ය නම් ඔබ මුලින්ම ඒ ගැන මනස සකස් කර තබා ගෙන සිටිය යුතුයි. වෙන කාටහරි, ඒ කියන්නේ ආණ්ඩුවට හෝ වෙනත් ආයතනයකට ඔබව ගොඩදාලා දෙන්න බැහැ. සහනාධාර ගැන, දේශපාලඥයා නිකං ගෙනත් දෙන දේ ගැන හීන දැක දැක ඉන්න කෙනෙකුට දියුණු වෙන්න බැහැ. තමන්ගේ දියුණුවේ මාවත තමන් විසින්ම නිර්මාණය කරගත යුතුයි.

සුහුරු ගොවි සමූපකාර

අපි දන්නවා දීර්ඝ කාලයක් පුරා අපේ ගොවීන් සහනාධාර, සහන සහ නොමිලේ ලබා දෙන විවිධ දේ වෙනුවෙන් හුරුකරලා තිබෙනවා. ඒත් ඇත්තටම ගොවීන් සමග කතා කරන විට, කටයුතු කරන කොට අපිට වැටහෙන්නේ ඔවුන් කිසිවක් නොමිලේ නොඉල්ලන බවයි. ඔවුන්ගේ එකම ඉල්ලීම තමයි ‘ප්‍රමිතිගත මිලක්’ ලබා ගැනීම. ඔවුන් කියන්නේ තම නිෂ්පාදනවලට ‘ප්‍රමිතිගත මිලක්’ ලබා දෙන ලෙසයි.

ඒත් ගැටලුව වන්නේ කිසිම දාක ගොවියට මේ ප්‍රමිතිගත මිල ලැබුණේ නැහැ. ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල තීරණය කරන්නේ තැරැව්කරුවන් විසින් මිස ගොවියා විසින් හෝ ගොවීන් වෙනුවෙන් කටයුතු කරන ආයතන විසින් නොවෙයි. ගොවියට තමන්ගේ නිෂ්පාදනවලට ප්‍රමිතිගත මිලක් ගන්න නම් කේවල් කරන ක්‍රමයක් හදාගත යුතුයි. ඒ සඳහා ගොවීන්ට ශක්තියක් තිබිය යුතුයි. දැක්මක් හා නිසි නායකත්වයක් තිබිය යුතුයි. එවැනි ප්‍රවේශයක් තුළ ගොවීන් සංවිධානය වුණොත් ඔහුට ප්‍රමිතිගත මිලක් නොදීමට කිසිවෙකුට නොහැකියි. සණස ජාත්‍යන්තර සමාගම විසින් ක්‍රියාත්මක කරන සුහුරු ගොවියා වැඩසටහන සමූපකාර ක්‍රමයක් බිහි කිරීමට ප්‍රමුඛ අවධානයක් යොමු කරන්නේ ඉහත පදනම තුළයි. මෙහිදී සාමාජික දැනුම කියන එක අතිෂයින් වැදගත් දෙයක් බවට පත් වෙනවා. ගොවි සමූපකාරයක නම් සාමාජිකයා බවට පත්වෙන්නේ ගොවියා. ඒ අනුව ගොවියා දැන සිටිය යුතුයි තමන් එකතු වෙන්නේ මොකටද කියන කාරණය.ඒ එකතුව සිදුවන්නේ වෙළෙදපොළේ තමන්ට හිමි තැන හා මිල ලබා ගැනීමටයි කියලා ඔහු දැන සිටිය යුතුයි. ඒ අරමුණින් යුතුව තමයි ගොවීන් සංවිධානය විය යුතු වන්නේ.

විශ්වාසය තහවුරු කිරීම

පසුගිය කාලය පුරා ක්‍රියාත්මක කරන ලද විවිධ ව්‍යාපෘතිවල පැවැති අඩුලුහුඩුකම් හා ගැටලු නිසා නව ප්‍රවේශයන් වෙත යොමු වීමට ගොවීන් තුළ කිසියම් පසුබෑමක් තිබෙනවා. නමුත් සුහුරු ගොවි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සණස ජාත්‍යන්තරයේ අදහස වන්නේ විශ්වාසය ගොවීන් විසින්ම ගොඩනගා ගත යුතු දෙයක් මිස කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාදිය හැකි දෙයක් නොවන බවයි. විශ්වාසය තහවුරු වන්න නම් ඒ ගැන අවබෝධයක් තිබෙන්න ඕනෑ. ඊළගට මෙම අවස්ථාව දැනට භාවිත කරන කණ්ඩායම කවුද ? එම අවස්ථාව භාවිත කිරීමට සූදානම් විය යුත්තේ කෙසේද කියා ඔවුන් හඳුනා ගත යුතුයි.  ඒ සඳහා ගොවි නායකයින් වැඩි වැඩියෙන් දැනුම ගවේශනය කරා යොමු වෙන්න ඕනෑ.

වෙළපොළට ප්‍රවේශ වීම

සුහුරු ගොවි සමූපකාරවල නිෂ්පාදන වෙළෙඳපොළ වෙත ගෙන යාමට ප්‍රධාන ප්‍රවේශ තුනක් අපි යෝජනා කරනවා.

  1. දේශීය පාරිභෝගික ජාල හරහා දේශීය වෙළෙඳපොළට
  2. පුද්ගලික සමාගම් සමඟ වෙළෙඳ ගිවිසුම්
  3. අන්තර්ජාල අවකාශයේ වෙන්දේසි

වෙළෙපොළ උච්ඡාවචනය මත මිල

බොහොමයක් ගොවීන්ට වෙළෙඳපොළේ මිල පිළිබඳව තිබෙන්නේ ඉතාම අඩු දැනුමක්. එම නිසා ඔවුන් මිල තීරණය කරන්නේ පදනමක් රහිතව. ගොවීන් හුරු විය යුතුයි කන්නෙන් කන්නෙට ක්‍රමිකව ලාභ ගන්න. එකවර අධික ලාභයක් අපේක්ෂාවෙන් විශාල පිරිවැයක් දරන්නේ නැතිව, අවදානම් කළමනාකරණය කරගෙන වගා කරන ගොවියෙක් තමයි සුහුරු ගොවියා.

මෙම පියවර වෙත පැමිණෙන විට මෙම ගොවි කණ්ඩායම් සාකච්ඡා කරන්න, නැතිනම් කේවල් කිරීමට තරම් ශක්තිමත්ව සිටිනවා. අපි මෙහිදී අපේ ගොවීන්ට පෙන්වා දෙන්නේ වගා කරලා, අස්වැන්න නෙළා ගත් පසු ඒවා විකුණන මිල ගැන හිතන්නේ නැතිව වගා කරන්න පෙර මිල ගැන සිතා බලන්න කියලා. එවිට ඔහු දන්නවා තමන්ට ලැබෙන මිල සහ තමන් තම අස්වැන්න අලෙවි කළ යුතු ක්‍රමවේදය. ඒ කියන්නේ ගොවියා තම නිෂ්පාදන අලෙවි කිරීම ගැන ඔළුව හදා ගෙන ඉවරයි. මෙය තමයි අපේ සුහුරු ගොවියා තුළ වර්ධනය වන විශ්වාසය. අපේ අරමුණ මෙම තත්ත්වය දක්වා අපේ සුහුරු ගොවියා ගෙන යාමයි.

ප්‍රජාමූල සංවිධාන

මෙම ව්‍යාපෘතිය ගම තුළ ක්‍රියාත්මක වන්නේ මූලික වශනේම සණස ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රජාමූල සංවිධාන  සමඟයි. එම සංවිධාන දෙයාකාරයකින් ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වෙනවා. නිෂ්පාදන සමූපකාරයක භාරකාර සමිතියක් ලෙස හෝ නිෂ්පාදන සමූපකරයේ සැපයුම්කරුවන් සංවිධානය කරන්නෙක් ලෙස සුහුරු ගොවි ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න ප්‍රජමූල සංවිධානවලට පුළුවන්.

සුහුරු ගොවි ව්‍යාපෘතියට සහාය දීමෙන් ප්‍රජාමූල සංවිධානයට වාසි කිහිපයක් ලැබෙනවා.

  1. ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම
  2. සාමාජිකයින්ගේ ආදායම වැඩි කිරීමට උපකාර කිරීම
  3. දැනට සාමාජිකත්වය ලබා නැති ගොවි සහ තරුණ පිරිස් එකතු කර ගැනීම මගින් සාමාජික සංඛ්‍යාව වැඩි කර ගැනීමට හැකිවීම
  4. ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට දායක වීම නිසා ප්‍රජාමූල සංවිධානයට ඇති කීර්තිය වැඩිවීම
  5. ජලය, ඉඩම්, තිරසර ආහාර නිෂ්පාදනය පිළිබද ප්‍රජාමූල සංවිධානයේ / සමිතියේ නායකයින්ගේ දැනුම වැඩිවීම

සණස ජාත්‍යන්තර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, සාමදානී කිරිවන්දෙණිය මහත්මිය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිනි.