කැරිබියන් දූපත් වන ඩොමිනිකාව දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ වඩාත්ම අවදානම් සහිත ස්ථානවලින් එකකි. ඉතිං ඔවුනට ලෝකයේ පළමු දේශගුණයට ඔරොත්තු දෙන ජාතිය බවට පත්වීමේ සැලසුම් ඉටු කළ හැකිද? මේ ඒ ගැන ගවේෂණාත්මක විමසුමකි.

2017 සැප්තැම්බර් මාසයේ අව්ව සහිත උදෑසනක, 67 හැවිරිදි ෆෙඩ්රික් (Faustulus Frederick) කැරිබියන් දූපතක් වන ඩොමිනිකා හි Salybia හි පිහිටි ඔහුගේ නිවසේ සම්ප්‍රදායික ලී මූර්තියක් කැටයම් කරමින් සිටියේය. Salybia නම් කුඩා ගම්මානය, ඩොමිනිකාහි ආදිවාසී ජනයාගේ නිවහන වන (අක්කර 3,700) කලිනාගෝ ප්‍රදේශයට අයත් ගම්මාන අටෙන් එකකි.

ෆෙඩ්රික් සාම්ප්‍රදායික කැටයමක් නිමකරමින්

ෆෙඩ්රික් කලාකරුවෙකු සහ හිටපු ගුරුවරයෙකු වන අතර ඔහු වයස අවුරුදු 25 දී කලීනාගෝ ප්‍රධානියා ලෙස තම ජනතාවට සේවය කළේය. ඔහුගේ සිතුවම් ප්‍රදේශයේ ජීවිතය සහ සම්ප්‍රදාය නිරූපණය කරයි.

දිනක් ඔහු ඔහුගේ අලුත්ම කැටයමක් පින්තාරු කරමින් සිටින විට අසල පිහිටි ගුවන්විදුලියක හදිසි යාවත්කාලීන කිරීමක් නිකුත් වුණේය.

“ගුවන් විදුලි නිවේදකයා කිව්වා අපි අපේ අත්‍යවශ්‍ය දේවල් ලෑස්ති ​​කරගෙන ප්‍රාථමික පාසල වන නවාතැනට යාමට සූදානම් විය යුතුයි කියලා” ඔහු මට පවසයි.

ෆෙඩ්රික් වහාම අත්‍යවශ්‍ය ඇඳුම් කිහිපයක්, කඩදාසි සහ ඔහුගේ කලා කෘති කිහිපයක් රැගෙන ඉදිරියට ගියේය. ඉතිරිව තිබුණේ පැය කිහිපයක් පමණි.

‘මරියා‘ නමින් නම් කර තිබූ මෙම සුළි කුණාටුව නිවර්තන අවපාතයක් ලෙස ප්‍රකාශ කරන ලද නමුත් දින දෙකක් ඇතුළත සී කාණ්ඩයේ පස්වන මට්ටමේ සුළි කුණාටුවක් දක්වා තීව්‍ර විය. මරියා සුළි කුණාටුව මුලින්ම කලීනාගෝ ප්‍රදේශයට දැඩි ලෙස පහර දුන්නේය. එය මුළු ඩොමිනිකාවම වනසමින් ජීවිත රැසක් බිලිගත් අතර ඩොලර් බිලියන 3.5ක ඇස්තමේන්තුගත විනාශයක් සිදු කළේය. එය 2016 දී එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 226% ට සමාන වේ.

“එය අප මුහුණ දුන් දරුණුතම සුළි කුණාටුවයි” ෆෙඩ්රික් පවසයි.

ඩොමිනිකා යනු පෘථිවියේ වඩාත්ම ආපදා අවදානමට ලක්විය හැකි රටවලින් එකකි. එයින් අදහස් කරන්නේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම හෝ තිරසාර නොවන විනාශයේ චක්‍රයක සිරවී සිටීම සහ අවසානයේ එහි ජීවත්වීම නුසුදුසු බවට පත් කළ හැකි උපද්‍රවයන්ගෙන් නැවත ගොඩනැගීම අතර තේරීමකට රට මුහුණ දෙන බවයි.

වසර දෙකක් ඇතුළත ( 2015 සහ 2017 ) වඩාත්ම මිල අධික ස්වභාවික විපත් දෙකක් සිදු වූ පසු ඩොමිනිකාවේ අගමැතිවරයා සිය රට “දේශගුණික විපර්යාසයට එරෙහි යුද්ධයේ ඉදිරි පෙළේ” සිටින බව ප්‍රකාශ කළ අතර එයට මුහුණ දෙන නව සැලසුම් නිවේදනය කළේය. ලෝකයේ පළමු දේශගුණයට ඔරොත්තු දෙන ජාතිය (world’s first climate-resilient nation) බවට තම රට පත් කරන බවත් දිවයින වාසයට සුදුසු බව සහතික කිරීම සඳහා සමාජයේ සෑම අංශයකටම ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

ඔරොත්තු දීමේ ප්‍රධාන පියවර අතර ඩොමිනිකාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය (early warning system) වේ. එය අනතුරුදායක කාලගුණික සිදුවීම් පිළිබඳව නිවැසියන්ට කල්තියා අනතුරු ඇඟවීමේ මාධ්‍යයක් වන අතර උස් බිමකට යාම වැනි ජීවිතාරක්ෂක පියවර අනුගමනය කිරීමට ඔවුන්ට කාලය ලබා දෙයි. ඩොමිනිකා හි අද්විතීය පද්ධතියට සාම්ප්‍රදායික හක්බෙල්ලන් (traditional conch shells) භාවිත කරමින් සිදුකරන බිම් මට්ටමේ සන්නිවේදන ප්‍රවේශයක් ද ඇතුළත් වේ.

“අනතුරු ඇඟවීම් සෑම කෙනෙකුටම වැදගත්. එමගින්  ජීවිත බේරා ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඔවුන්ගේ ජීවනෝපායන් සඳහා සහාය වෙනවා. ඔවුන් ජීවත් වන ස්ථාන වාසයට සුදුසු තැන් බවට පත්කරනවා” ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි (UCL) අනතුරු ඇඟවීමේ පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉලන් කෙල්මන් පවසයි.

ඩොමිනිකානුවන්ගේ එදිනෙදා ජීවිතය ආරක්ෂා කිරීම යනු ප්‍රජාවන් හරහා පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කිරීම සහ ඒවා වෙනත් ආරක්ෂාවන් සමඟ ඒකාබද්ධ කිරීමයි. කෙසේ වෙතත් දිගුකාලීනව පවතින ප්‍රධාන ප්‍රශ්නය වන්නේ මෙය ප්‍රමාණවත්ද යන්නය

අනතුරු ඇඟවීම්වල වටිනාකම

ඩොමිනිකා වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන් වෙත දේශගුණික විපර්යාස අසමාන ලෙස බලපායි. ගෝලීය ප්‍රජාව සහ විශාල හරිතාගාර වායු විමෝචකයින් සිය හරිතාගාර වායු විමෝචනය කපා හැරීමට ඇති කැපවීම් සපුරාලීමට අපොහොසත් වුවහොත් අනෙක් රටවලට මෙම කුඩා දූපත් රාජ්‍ය දැඩි අවදානමකට ලක්වේ.

සමහර දූපත් වල අනුවර්තන සීමාවන් 2100 ට පෙර බොහෝ දුරට ඉක්මවා යා හැකි බව දේශගුණික බලපෑම් පිළිබඳ විද්‍යාඥවරියක් සහ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) වාර්තාවේ කුඩා දූපත් පරිච්ඡේදයේ ප්‍රධාන කර්තෘ ශෝභා මහාරාජ් පවසයි. මෙයින් අදහස් කරන්නේ මුහුදු මට්ටම ඉහළ යාම සහ නැවත නැවතත් ආන්තික කාලගුණික සිදුවීම් වලට නිරාවරණය වීම යන දෙකම හේතුවෙන් සමහර කුඩා දූපත් දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බවයි.

දේශගුණික විපර්යාසවල බලපෑම කුඩා දූපත් වලට දැනටමත් දැනෙන ආකාරය පිළිබඳ කනස්සල්ලට පත්වන වාර්තාවක් IPCC විසින් එළිදක්වා ඇත. ඩොමිනිකාව ගතහොත් එහි ගංවතුර සහ නායයෑම් සමඟින්, කුණාටු ඇතිවීමේ අවදානම වැඩි කරන මුහුදු මට්ටම ඉහළ යාම සහ සුළි කුණාටු වල ශක්තිය වැඩි වීම එරට මුහුණ දෙන ප්‍රධාන දේශගුණික විපර්යාස බලපෑම් අතර වේ.

මේ අතර 2019දී සිදුකළ අධ්‍යයනයකින් හෙළි වූයේ වර්තමානයේ ‘මාරියා‘ වැනි ප්‍රබල සුළි කුණාටුවක් ඇති වීමේ අවදානම 1950 ගණන්වල මෙන් පස් ගුණයකට ආසන්න වී ඇති  බවයි.

සුළි කුණාටු සහ ගංවතුර සිට අධික තාපය දක්වා සහ ලොව පුරා රෝග පැතිරීම දක්වා අවදානම් ප්‍රදේශ හරහා දේශගුණික අනුවර්තනය වීමේ ප්‍රධාන කුළුණක් ලෙස IPCC ය පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති හඳුනා ගනී. එය 2003 විනාශකාරී යුරෝපීය තාප තරංගයෙන් පසුව ජීවිත බේරා ගැනීමේ අවස්ථාවන් මෙම පද්ධති වෙත බැර කරන අතර, ගංවතුර අවදානම සම්බන්ධයෙන් ගත් විට ජීවිත හානි අවම කිරීමේ එකම පියවර පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති විය හැකි බව සහතික කරයි.

පසුගිය වසරේ ඊජිප්තුවේ Sharm el-Sheikh හි පැවති Cop27 දේශගුණික සමුළුවේදී, එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres ඉදිරි වසර පහ තුළ පෘථිවියේ සිටින සියලු දෙනා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති මගින් ආරක්ෂා කිරීම සහතික කිරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය.

“දේශගුණික උණුසුම් ස්ථානවල අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් නොමැතිව දේශගුණික ව්‍යසනයන් හේතුවෙන් විපතට පත් වී ඇත” යි කී ඔහු පැවසුවේ, සීමිත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ඇති රටවල ආපදා මරණ උසස් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ඇති රටවලට වඩා අට ගුණයකින් වැඩි බවයි.

ඩොමිනිකාවේ තත්ත්වය විශේෂයෙන් දුෂ්කර වන්නේ එහි කඳුකර භූ විෂමතා හේතුවෙන්  නිවැරදි ආන්තික කාලගුණ අනාවැකි පැවසීමේ සංකීර්ණතාවය හේතුවෙනි. විශේෂයෙන් ගංවතුර සඳහා එය තීරණාත්මක බව ලන්ඩනයේ පිහිටි චින්තන ටැංකියක් වන විදේශීය සංවර්ධන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන එමිලි විල්කින්සන් පවසයි.

“නිවර්තන කලාපීය සුළි කුණාටු මගින් බොහෝ ප්‍රජාවන් සම්පූර්ණයෙන්ම හුදකලා වෙනවා. සමහර විට සති ගණනක් එම තත්ත්වය පවතිනවා” ඔහු පෙන්වා දෙයි.

ෆ්‍රෙඩ්රික් පවසන්නේ මාරියා සුළි කුණාටුව ගැන මිනිසුන්ට අනතුරු ඇඟවීමේ දී ගුවන් විදුලි නිවේදන ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි. “අපි නිතරම කාලගුණ අනාවැකි වලට සවන් දෙනවා. කඩිනමින් ආරක්ෂිත ස්ථානයකට යන්න ඒ අනතුරු ඇඟවීමයි අපට උපකාර කළේ.” ෆ්‍රෙඩ්රික් මතකය අවධි කරමින් පවසයි.

අසල්වාසීන් ද එකිනෙකාගේ නිවෙස්වලට යමින් මේ බව ප්‍රචාරය කළ බව ඔහු පවසයි. විපතේදී ඔහු ද වැඩිහිටි මිනිසෙකුට නවාතැන් ගැනීමට උදව් කළේය.

ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයේ ආපදා පර්යේෂණ මධ්‍යස්ථානයේ මානව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ජෙනිෆර් ත්‍රිවේදි පවසන පරිදි, අසල්වැසි සන්නිවේදනයේ මෙම අංගය පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සඳහා ඉතා වැදගත් වේ.

“බොහෝ විට, පැමිණෙන සුළි කුණාටුවක් ගැන හෝ ගංවතුර වෙනස් වීම ගැන ක්ෂේත්‍රයේ සිටින අයගෙන් මා විමසූ විට ඔවුන් එය මිතුරන්ගෙන් හෝ අසල්වැසියන්ගෙන් ඇසීම ගැන කතා කරනවා” ඇය පවසයි.

“කවුරුහරි එයාලගේ දොරට තට්ටු කළා. යාළුවෙක් එයාලගේ ගෙදරට කතා කළා. එයාලට ඒ ගැන පල්ලියේදී ආරංචි වුණා. ඒ ජාල අත්‍යවශ්‍ය වෙන්නේ මිනිස්සු ඒවා දන්න නිසා, ඔවුන් ඒවා විශ්වාස කරන නිසා.” ඇය පෙන්වා දෙයි.

මෙම සංකීර්ණ සන්නිවේදන දාමය මිනිසුන්ට තවත් ආකාරවලින් උපකාර කරයි. ඇය ස්මාර්ට් ජංගම දුරකථන වෙත යවන ලද අනතුරු ඇඟවීම් වැඩි වැඩියෙන් එකතු කරයි.

“එය එකම අනතුරු ඇඟවීමේ පද්ධතිය වනු ඇතැයි අපට අපේක්ෂා කළ නොහැකයි. ලොව පුරා බොහෝ මිනිසුන්ට ස්මාර්ට් ජංගම දුරකතනයක් නැහැ. එහි සියලු හැකියාවන් භාවිතා කරන්න ඇතැමුන් දන්නේ නැහැ. ඒ වගේම  ඔවුන් සිටින්නේ සංඥා නැති ප්‍රදේශයක විය හැකියි‘‘

ප්‍රදේශයේ ආපදා සම්බන්ධීකාරක සහ Kalinago ප්‍රජාවේ සාමාජිකයෙකු වන ෆෙඩ්රික් පවසන්නේ පූර්ව අනතුරු ඇඟවීම් සඳහා ඩොමිනිකා හි කඳු පද්ධතිය සියවස් ගණනාවක් පුරා ආදිවාසීන් විසින් භාවිතා කර ඇති බවයි. අද වන විට මෙම ක්‍රමය ආරම්භ වන්නේ ජාතික මට්ටමේ හදිසි නිල තොරතුරු වලින් වන අතර එය ප්‍රජාව වෙත ළඟා වන තෙක් විවිධ අදියරයන් හරහා ගමන් කිරීම සිදුවේ.

“එයට තොරතුරු ලැබෙන්නේ ජාතික ආපදා කාර්යාලයෙන්. ඉන්පසු හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා සෑම ගම්මානයකම ප්‍රධානියාට උපදෙස් ලැබෙන අතර ඔහු සිය ප්‍රජාව වෙත මේ තොරතුරු ලබා දෙනවා. සෑම ගම්මානයකම ප්‍රජා හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා පුහුණු වූ පුද්ගලයින් පස් දෙනෙකු හෝ හය දෙනෙකු සිටිනවා” ඩොනල්ඩ්සන් පවසයි.

ජාල කුණාටු තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට නවීන සහ සාම්ප්‍රදායික ක්‍රමවල මිශ්‍රණයක් භාවිතා කරයි.

නවීන සන්නිවේදන ක්‍රමවේද තුළ පාලක මණ්ඩලය දැනුවත් කිරීම සඳහා  ආපදා නිලධාරීන් විසින් හදිසි ප්‍රතිචාර සංවාද කණ්ඩායමක් භාවිතා කරන අතර එය ප්‍රජාවට සන්නිවේදනය කිරීමට ද පියවර ගන්නා බව ඩොනල්ඩ්සන් පවසයි.

“අපි  පොදු ලිපින පද්ධතියක් සමඟ පිටත්ව යනවා.  රට වටා ගමන් කරමින් පණිවුඩ විසුරුවා හරිනවා.” ගුවන් විදුලි පුවත් සහ ස්මාර්ට්ෆෝන් හරහා ද පූර්ව අනතුරු ඇඟවීම් යවනු ලබන බව ඔහු පෙන්වා දෙයි.

බිම් මට්ටමේ සන්නිවේදනය සඳහා කලිනාගෝ ප්‍රජාවන් විසින් වසර සිය ගණනක් තිස්සේ සක් පිඹීම භාවිතා කර ඇත. උදාහරණයක් ලෙස අසල්වැසි ප්‍රදේශයක් වෙතින් නිකුත් වන සක් හඩින් පෙන්නුම් කරන්නේ නැවුම් මාළු විකිණීමට ඇති බවයි.

දේශීය සංස්කෘතිය මත පදනම් වූ ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීම සඳහා ෆෙඩ්රික් විසින්  නිර්මාණය කරන ලද ආදර්ශ Kalinago ව්‍යුහයක්

දරුණු කාලගුණය හඳුනා ගැනීම, නිරීක්ෂණය කිරීම සහ අනාවැකි පළ කිරීම සම්බන්ධයෙන් වැඩිදියුණු කිරීම් සිදු කර ඇතත්, බොහෝ කුඩා දූපත් සහ හුදකලා ප්‍රජා කණ්ඩායම් අතර අනතුරු ඇඟවීමේ පද්ධති ගොඩනැගීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අභියෝගයක් පවතින බව මහාරාජ් පවසයි.

ඇත්ත වශයෙන්ම පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති දේශගුණික බලපෑම් වලින් දූපත් ආරක්ෂා කිරීම සඳහා වැදගත් මෙවලම් මාලාවක් පමණි. ඵලදායි ආපදා අවදානම් කළමනාකරණය සහ නවාතැන් වැනි ප්‍රත්‍යස්ථ යටිතල පහසුකම් සමඟින් ඒවා ඉතා හොඳින් ක්‍රියා කරයි.

දේශීය සංස්කෘතිය මත පදනම් වූ ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීම සඳහා ෆෙඩ්රික් විසින්  නිර්මාණය කරන ලද ආදර්ශ Kalinago ව්‍යුහයක්

මාරියා සුළි කුණාටුවෙන් පසුව, ඩොමිනිකා හි දේශගුණික ඔරොත්තු දීමේ ආයතනය (Climate Resilience Execution Agency of Dominica – Cread)  පිහිටුවන ලද්දේ ආපදා සැලසුම් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති කෙරෙහි ගැඹුරු අවධානයක් යොමු කරමිනි. එහි ප්‍රජා හදිසි සූදානම වැඩසටහන මඟින් ඩොමිනිකාවේ සියලුම ප්‍රජාවන් විවිධ ස්වභාවික උපද්‍රවවලට ගොදුරු වීමේ අවදානම තක්සේරු කළ බව 2019 සිට Cread හි උපදේශකයෙකු ලෙස කටයුතු කරන විල්කින්සන් පවසයි.

“එය ප්‍රමුඛත්වය දෙන්නේ වඩාත්ම අවදානමට ලක්වන්නේ කුමන ප්‍රජාවන් ද සහ ඔවුන්ට අවශ්‍ය කුමන ආකාරයේ සහයද, අධික වර්ෂාපතනයෙන් සහ නායයෑම්වලින් බොහෝ විට බලපෑමට ලක්වන්නේ කුමන ප්‍රජාවන් ද යන කරුණු ගැනයි‘

යුනියන් අයිලන්ඩ් වැනි අනෙකුත් කුඩා දූපත් රාජ්‍යයන් ඩොමිනිකා විසින් ආරම්භ කරන තවත් අත්‍යවශ්‍ය අනුවර්තන උපාය මාර්ගයක් වන (මාරාන්තික කුණාටු වලට එරෙහිව බෆරයක් ලෙස ක්‍රියාත්මක වන) පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය (ecosystem restoration) පිළිගෙන ඇත.

එහි ජනගහනයෙන් 90%ක් නියෝජනය කරන වෙරළබඩ ප්‍රජාවන් විසින් ගංවතුරෙන් ආරක්ෂා වීම සඳහා ගල්වැටි කිහිපයක් ද ඉදිකර ඇති අතර, එහි සෞඛ්‍ය සේවා පහසුකම් ආන්තික කාලගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ අරමුණින් ක්‍රියාත්මක කරයි. ස්වභාවික උවදුරුවලට වඩා හොඳින් ඔරොත්තු දීම සඳහා නව මාර්ග සහ පාලම් වැනි අනෙකුත් තීරණාත්මක යටිතල පහසුකම් මේ වන විට ඉදිවෙමින් පවතී.

ඊට පස්සේ ගොඩනැගිලි තියෙනවා.

මාරියා සුළි කුණාටුවට වසර දෙකකට පෙර නිවර්තන කුණාටුවක් වූ ‘එරිකා‘ පැය 12ක් තුළ දිවයිනට අඟල් 12ක වර්ෂාපතනයක් ලබා දුන්නේය. අධික වර්ෂාපතනය හේතුවෙන් රාත්‍රියේදී නිවාස, වාහන ඇතුළු දේපොළ විශාල වශයෙන් විනාශ විය.

‘‘එරිකා සුළි කුණාටුව අපේ ගම්මාන අතුගා දැමුවා. කුණාටුවෙන් පසුව අපිව බෝට්ටුවකින් ඉවත් කළා. මම මගේ බෑගය පමණක් රැගෙන පිටව ගියා – සර්වාන් ග්‍රෙගෝයර්

මෙම කුණාටුවෙන් දරුණුතම බලපෑමට ලක් වූ ගම්මානය වන Petite Savanne ප්‍රජාවේ 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. නිවැසියන් ඉවත් කරන ලද අතර ගම්මානය වාසයට නුසුදුසු ඒවා ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. පවුල් 800කට අධික සංඛ්‍යාවක් තම ගමට සමු දුන්හ.

එවකට 13 හැවිරිදි පාසල් දරුවකු වූ මේ වන විට ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු වන 20 හැවිරිදි සර්වාන් ග්‍රෙගෝයර් පවසන්නේ “එය දුෂ්කර තත්ත්වයක් වුණා. අපේ ප්‍රජාව විනාශ වුණා. කුණාටුවෙන් පසු දිනවලදී අපිව බෝට්ටුවක් මගින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. මම මගේ බෑගය පමණක් රැගෙන පිටත්ව ගියා”

ග්‍රෙගෝයර් දැන් ජීවත් වන්නේ රජය විසින් ඉදිකරන ලද නිවාස සංකීර්ණයක් අසල පිහිටි Bellevue Chopin ප්‍රජාවේය. ඩොමිනිකා හි 2020-30 දේශගුණික ඔරොත්තු දීමේ සහ ප්‍රතිසාධන සැලැස්මට අනුකූලව කොන්ත්‍රාත්කරුවන් ආපදා-ප්‍රතිරෝධී ඉදිකිරීම් සැලසුම් අනුගමනය කළ යුතුය.

මේ අතර පසුගිය වසරේ ඩොමිනිකා හි ගොඩනැගිලි සංග්‍රහය සංශෝධනය කිරීම තුළින් ස්වාභාවික විපත් වලට ඔරොත්තු දිය හැකි නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා පමණක් අනුමැතිය හිමිවන බව ඩොමිනිකාහි හිටපු සැලසුම් අමාත්‍ය වින්ස් හෙන්ඩර්සන් පවසයි.

ඩොනල්ඩ්සන් වැනි ආපදා නිලධාරීන් පවසන්නේ මහල් නිවාස මගින් මාරියා සුළි කුණාටුවෙහි බලපෑම උග්‍ර කළ බවයි. “එම අත්දැකීම් අනුව සුළි කුණාටුවෙහි තීව්‍රතාවය සහ දේශගුණික විපර්යාසවල බලපෑම් සමඟ කටයුතු කිරීමට ඔරොත්තු දෙන නිවාස ප්‍රමුඛතාවයක් බවට පත් වුණා.”

ඉදිරි මාවත

දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දෙන කුඩා දූපත් රාජ්‍යයක් ලෙස ලෝකයට ආදර්ශයක් ලබාදීමට ඩොමිනිකා රජය අධිෂ්ඨාන කර ඇත. පරිසර පද්ධති ආරක්‍ෂා කිරීම, මුහුදු ආරක්‍ෂාව ගොඩනැගීම සහ යටිතල පහසුකම්වල ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම මේ සියල්ල ජීවිත හා ජීවනෝපාය ආරක්‍ෂා කිරීම එම මෙහෙයුමක කොටසකි. එය හදිසි මෙහෙයුමකි.

ඩොමිනිකාවේ අස්වැසියා වන බාබඩෝස් දූපතේ අගමැති මියා මොට්ලි අනතුරු අඟවා ඇත්තේ හරිතාගාර වායු විමෝචන කප්පාදුවකින් තොරව ඉදිරි දශක කිහිපය තුළ දේශගුණය සහ ඔරොත්තු දීමේ ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර නොලැබේ නම් කැරිබියන් දූපත් වලින් මහා පරිමාණ සංක්‍රමණය යථාර්ථයක් වනු ඇති බවයි.

ඩොමිනිකා හි Belle View Chopin හි ‘දේශගුණයට ඔරොත්තු දෙන’ නිවාස දැන් Erika කුණාටුවෙන් අවතැන් වූවන්ගේ නිවහන වේ

ඉතින් ඩොමිනිකා වැනි දූපත් වාසයට සුදුසුව සිටීමට තවත් කුමක් කළ හැකිද?

‘පළමුව සහ ප්‍රධාන වශයෙන් දත්ත හිඩැස් වලට ආමන්ත්‍රණය කරන්න‘ මහරාජ් පවසයි.

“බොහෝ දූපත් සඳහා අනාගත මුහුදු මට්ටම ඉහළ යාම සහ තරංග දේශගුණික ප්‍රක්ෂේපණ පිළිබඳ දත්ත අප සතුව නැහැ. ඒ ගැන සිතන්න. අපි අපගේ වෙරළ තීරයේ ආපදාවලට දැඩිව නිරාවරණය වී ඇති අතර දැඩි අවදානමකට ලක්ව සිටිනවා.”

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා පරිසර පද්ධති සේවාවන්හි වටිනාකම පිළිබඳ වැඩිදුර තොරතුරු දූපත්වලට අවශ්‍ය බව ඇය පවසන අතර ඔවුන්ගේ අනාගත වාසභූමිය ආදර්ශනය කිරීම ගැන ද කතා කරයි. විද්‍යාඥයින්ගේ සිට ප්‍රතිපත්ති සම්පාදකයින් දක්වා පැහැදිලි, සෘජු සන්නිවේදන දාමයක් තිබිය යුතු අතර ඔවුන් අතර අඩුපාඩු සහ ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් බව සහතික කිරීම කළ යුතු  බව ඇය තවදුරටත් පවසයි.

ත්‍රිවේදිට අනුව වාසභූමිය අවසානයේ විවිධ මට්ටම්වල මිනිසුන් අතර සහයෝගීතාවය මත රඳා පවතී. දේශීය සංස්කෘතික තීරණ ගැනීමේ සිට ජාත්‍යන්තර ප්‍රතිපත්ති වෙනස්කම් දක්වා එය අදාළ වේ.

“ප්‍රදේශ වාසයට සුදුසු ලෙස තබා ගැනීම නගර ශාලාවල පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අවකාශයන්හි ද ගත යුතු තීරණයක්.” ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය අධ්‍යාපනය සඳහා වන ආයෝජන සමඟින් අනතුරු ඇඟවීමේ පද්ධති ද ප්‍රධාන බව ෆීර්න්ලි පවසයි.

“එය සමස්ත ක්‍රියාවලිය ගැන සිතන අතර සෑම වසරකම එම සංවාදය පුනරාවර්තනය කිරීම, සබඳතා ප්‍රබෝධමත් කිරීම, ජීවිතයේ එදිනෙදා රෙදිපිළිවල කොටසක් ලෙස අනතුරු ඇඟවීමේ පද්ධතිය කාවැද්දීම සඳහා දැනුම ප්‍රබෝධමත් කිරීම සිදුවිය යුතුයි”

ඩොමිනිකාවට මීළඟ ප්‍රධාන කුණාටුව මාරියා සුළි කුණාටුව තරම් ව්‍යසනකාරී වීම වැළැක්විය හැකි බව කෙල්මන් සඳහන් කරයි. “අපට සුළි කුණාටු ව්‍යසනයකින් තොරව පස්වන කාණ්ඩයේ පවා සුළි කුණාටු ඇති විය හැකියි” ඔහු පවසයි. ප්‍රත්‍යස්ථ යටිතල ව්‍යුහයේ සිට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති දක්වා දාමයේ ඇති සියලුම සම්බන්ධතා හොඳින් ක්‍රියාත්මක වන බව සහ විද්‍යාත්මක උපදෙස් මත පදනම්ව සහතික කිරීමෙන් මෙම ආපදා අවම කරගත හැකි බව ඔහුගේ අදහසයි.

කෙසේ වෙතත් එරිකාගෙන් විපතට පත්ව පසුව රජය විසින් ඉදිකරන ලද බෙල්වුව් චොපින් නිවාස ඒකක වෙත ගිය ග්‍රෙගෝයර්ට නම් ‘නැවත වෙනත් තැනක පදිංචියට යාමට සිදුවනු ඇතැ‘යි යන බිය කිසි විටෙකත් මනසින් දුරස් නොවේ.

“මම නිතරම කනස්සල්ලට පත්ව සිටිනවා” ඔහු මට කියයි. “මාරියා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය අපි දැක්කා. එවැනි බිහිසුණු සුළි කුණාටුවකට තවත් ගමක් අතුගා දැමිය හැකි බව පමණක් නොව අපේ මුළු රටම කවදා හෝ අතුගා දැමිය හැකි බව මිට සිතෙනවා‘ ඔහු පවසයි.

අවාසනාවකට මෙන්, දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමට සීමාවන් ඇත.

මහාරාජ් පවසන්නේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති දූපත් වල වාසය කිරීමට සහ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාරී වනු ඇති බවයි. නමුත් ගෝලීය විමෝචනයේ ගැඹුරු, වේගවත් කප්පාදුවක් නොමැති විට ඒ ගැන විශ්වාසය තැබීම දුෂ්කරය.

ඇය පවසන්නේ “දේශගුණික බලපෑම් සමහර කුඩා දූපත් මිනිස් වාසයට නුසුදුසු ඒවා බවට පත් කිරීමට ඉඩ ඇති” බවයි.

bbc