“මට එක දෙයක් විශ්වාසයි. එනම් මිනිස් වර්ගයා අවසානයේ සෘජු සූර්ය බලය භාවිතා කළ යුතුය. නැතහොත් ඔහු ආපසු ම්ලේච්ඡත්වයට යා යුතුයි”

1900 ගණන්වල මුල් භාගය ගල් අඟුරු සහ යකඩ යුගයක් විය. කර්මාන්තය ඝෝෂාකාරී හා අපිරිසිදු වූ අතර ගල් අඟුරු දැවීමෙන් දුමාරය දුර ඈතට විහිදුනේය. ඇත්තෙන්ම එය නීරස දර්ශනයක් විය.

එක්සත් ජනපදයේ නැඟෙනහිර මුහුදු තීරයේ ප්‍රමුඛ කර්මාන්ත නගරයක් වන ෆිලඩෙල්ෆියා මේ අර්බුදයෙන් දැඩිව බැටකමින් සිටියේය. 1904 දී, (1955 දී එක්සත් ජනපදය විසින් සම්මත කළ වායු දූෂණ පනතට වසර 50කට පමණ පෙර) නගරයේ පරිපාලකයින් පිරිසිදු වාතය සඳහා ඔවුන්ගේම නියාමනයක් නිර්මාණය කළේය. එය දුම් නාලිකා, චිමිනි සහ විවෘත අවකාශයන්හි දුම් ප්‍රමාණය සීමා කළ අතර, නීතිය කඩකරමින් දුම් නිකුත් කරන්නන්ට දඩ සමඟ දඬුවම් ද නියම කළේය.

මේ අතර දුමෙන් නැහැවෙමින් සිටි ලෝකයට සරල සැලැස්මක් සමග ඇමරිකානු නව නිපැයුම්කරුවෙකු පැමිණියේය. ඔහුගේ සැලසුම අතිෂය සරල විය. සූර්යයාගේ තාප ශක්තිය යන්ත්‍ර සූත්‍ර බල ගැන්වීමට භාවිතා කළ හැකිය.

පසුගිය අප්‍රේල් මස මුලදී බලශක්ති විශ්ලේෂකයින් වන එම්බර් වාර්තාවක් ප්‍රකාශයට පත් කළ අතර එමගින් අනාවැකි පළ කළේ මේ වසරේ පොසිල ඉන්ධන වලින් බලශක්ති නිෂ්පාදනය උපරිම වනු ඇති බවටය.

මෙම අනාවැකියට ඍජුව අභියෝග කළ හැකි තාක්‍ෂණය ලෝකය හමුවට පැමිණියේ මීට දශක 12කට පමණ පෙරය. ඒ යන්ත්‍ර සූත්‍ර බල ගැන්වීමට සූර්ය බලය උපයෝගී කර ගැනීමට හැකි බවට ෆ්‍රෑන්ක් ෂුමන් / Frank Shuman   නම් ඇමෙරිකානු ජාතික නව නිපැයුම්කරුවා කළ  ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙසය.

1890 ගණන් වලදී, ෂුමන් විසින් වීදුරු ශක්තිමත් කිරීමේ නව ක්‍රමයක් (glass with internal wires) සොයා ගන්නා ලදී. මෙම නව තාක්ෂණය අනුව නිෂ්පාදනය කළ රැහැන්ගත වීදුරුව වඩාත් ගිනි-ප්‍රතිරෝධී විය. එය පුපුරා යාමකදී  භයානක ලෙස තියුණු කැබලි සෑදීමේ හැකියාව ද අඩු විය. පාසල්, බන්ධනාගාර වැනි ආයතන එම රැහැන්ගත වීදුරුවලට වඩාත් කැමැත්තක් දැක්වීය. (රැහැන්ගත වීදුරු යනු එහි මධ්‍යයේ 12.5mm කොටු ලෝහ දැලිසක් ඇතුළත් වීදුරු වේ. මෙම සංයුක්ත ඉදිකිරීම නිෂ්පාදනය කරයි)

වර්ජිනියාවේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ෂුමාන්, පසුව ෆිලඩෙල්ෆියා හි ඔහුගේ මාමාගේ ලෝහ වැඩ කම්හලේ සේවයට ගියේය. ඔහු එහි සේවයට යන විට එහි පෙන්සිල්වේනියාවේ නිර්මාතෘ විලියම් පෙන්ගේ පිළිරුවක් වාත්තු කරමින් තිබූ අතර එය මැළ කෑමෙන් ආරක්ෂා කර ගැනීමට එය විද්‍යුත් ආලේපන කිරීමට ක්‍රමයක් සොයා ගැනීමට ෂූමන්ගේ මාමාට අවශ්‍ය විය.  ඒ අභියෝගය භාර ගත් ෂූමන් නව නිෂ්පාදනයක් බිහි කළ අතර ඒ සමගම ඔහු තම පේටන්ට් බලපත්‍රය සහිත “Safe-tee Glass” අලෙවි කරන සමාගමක් ආරම්භ කළේය.

ෆිලඩෙල්ෆියා වෙබ් අඩවියේ Hidden City  නම් විශේෂාංගයයේ ෂූමන් ගැන මෙසේ සඳහේ වෙයි: “විද්‍යුත් ආලේපන සහ රැහැන්ගත වීදුරු ක්‍රියාවලීන් කෙතරම් නව්‍යද යත්,  Scientific American  සඟරාව 1892 දී ඒ  ගැන සති දෙකක් ඇතුළත ලිපි පළ කළේය. ඒවා ද ප්‍රමාණවත් තරම් සාර්ථක විය. ඔහුගේ නව නිපැයුම් කෙරෙහි පූර්ණ කාලීනව අවධානය යොමු කිරීමට ෂුමාන් රැකියාවෙන් ඉවත් විය.”

සම්ප්‍රදාය නොතකන නව නිපැයුම්කරුවෙකු වන ෂුමන් දිගු කලක් තිස්සේ විදුලිය නිර්මාණය කිරීම සඳහා ස්වාභාවික බලවේග භාවිතා කිරීමේ සංකල්පය කෙරෙහි කුතුහලයෙන් සිටියේය. “ගල් අඟුරු දුමාරයේ සදාකාලික හිරිහැර ගැන ෂුමාන් හොඳින් දැන සිටියේය. ඔහුගේ සූර්ය එන්ජිම සඳහා ප්‍රවර්ධන කටයුතු වලදී ඔහු කියා සිටියේ ඔහුගේ තාක්‍ෂණයේ අතුරු ඵලයක්  ලෙස ‘නගරවල වාතය සෞඛ්‍ය සම්පන්න සහ පිරිසිදු වනු ඇති’ බවයි.

“අපේ ගං ඉවුරු ගල් අඟුරු මඩුවලින්, තෙල් පිරිපහදුවලින් සහ ලාභ පොසිල ඉන්ධනවලින් පිරී තිබුණි. එබැවින් මෙම සම්පතේ අවසානය එහි කාලයට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව ෂුමාන්ට සිතාගත හැකි විය.” Hidden City  ලිවීය.

ඔහුගේ ආරක්‍ෂිත වීදුරු වාසනාවට ස්තුතිවන්ත වන්නට, 1906 දී ෂුමන්, ෆිලඩෙල්ෆියා හි ඊසානදිග තකොනි උප නගරයේ ඔහුගේ නිවසේ ඉදිකරන ලද පර්යේෂණාගාරයක සිට සූර්ය කිරණ මගින් බල ගැන්වෙන එන්ජිමක් නිර්මාණය කිරීමට පටන් ගත්තේය. පරිවරණය කරන ලද පෙට්ටි වටා පරාවර්තක තැන්පත් කර ඇති අතර, පරාවර්තකයන්ට දිවා කාලයේදී සූර්යයාගේ ගමන් මාර්ගය අනුගමනය කළ හැකි විය. අඩු පීඩන වාෂ්ප එන්ජිමකට සම්බන්ධ කර තිබූ එහි තාපාංකය අඩු කිරීම සඳහා රික්තකයක රඳවා ඇති ජල භාජනයක් දෙසට සූර්ය කිරණ යොමු විය. 1910 වන විට ෂුමාන් වාෂ්පීකරණය කරන ලද ඊතර් මත කුඩා සෙල්ලම් දුම්රියක් ධාවනය කළ හැකි මට්ටමට සංකල්පය සංවර්ධනය කළේය.මෙම නව නිර්මාණය දුටු සියල්ලෝම මෙම පිරිසිදු බලයේ ප්‍රතිලාභ ගැන ප්‍රශංසා කළහ.

ඊජිත්තු සංචාරය

ෂැම්පේන් තොලගාමින්, චීස් හා කේවියර් අනුභව කරමින්, පැනමා තොප්පි පැළඳි,  උඩු රැවුලින් සැරසුණු පිරිමින් සමග ඔහු සූර්ය බල එන්ජින් රැගෙන කපු කෙත් බිමි හරහා ඇවිද ගියේය. වාත්තු යකඩ බොයිලේරු මතට හිරු එළිය වැටීමෙන් දිලිසෙන දර්පණ පේළි දැකීමෙන් ඔවුහු මවිතයට පත් වූහ.

ෂූමන් ඔහුගේ “සූර්ය එන්ජිම” සමග වැඩ කරමින් සිටියදී තවත් එක්සත් ජනපදයේ නව නිපැයුම්කරුවෙකු වන Aubrey Eneas  1906 දී කැලිෆෝනියාවේ ගොවිපළක් සඳහා දර්පණ 1800 කට ආසන්න ප්‍රමාණයකින් යුතු අඩි 33ක යෝධ ලෝහමය සූර්ය එන්ජිමක් නිර්මාණය කළේය. එය ක්‍රියාකාරී මට්ටමක පැවැති අතර  ඉඩමට වාරි ජලය සැපයීම සඳහා පොම්පයක් ධාවනය කළේය. නමුත් අවසානයේ එය මිල අධික නිෂ්පාදනයක් වූ බැවින් භාවිතයෙන් ඉවතට තල්ලු විය.

ෂූමන්ගේ ව්‍යාපෘති පිළිබඳ පුවත් එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති ඊජිප්තුවට ගමන් කළේය. ඊජිප්තුවේ විශාල කපු කෙත් තිබූණ අතර ඒවාට අතින් ජලය දැමීම වෙහෙසකාරී ක්‍රියාවලියක් විය. ඒ වෙනුවෙන් භාවිත කළ ගල් අඟුරු බලයෙන් ක්‍රියාත්මක වන එන්ජින් තිබුණ නමුත් ඒවා ලාභදායී නොවීය.

“ගල් අඟුරු පිරිවැය කපා හැරීමේ මාර්ගයක් ලෙස ඔහුගේ සූර්ය බල ව්‍යාපෘතියේ ආයෝජනය කරන ලෙස ෂුමන් බ්‍රිතාන්‍ය ධනපතියන්ගෙන් ඉල්ලා සිටියේය‘Hidden City  ලේඛකයා වැඩි දුරටත් සඳහන් කළේය.

1913 දී ෂුමන් සිය තාක්ෂණය ප්‍රදර්ශනය කිරීමට ඊජිප්තුවට ගියේය.

“ෂැම්පේන් තොලගාමින්, චීස් හා කේවියර් අනුභව කරමින්, පැනමා තොප්පි පැළඳි,  උඩු රැවුලින් සැරසුණු පිරිමින් සමග ඔහු සූර්ය බල එන්ජින් රැගෙන කපු කෙත් බිමි හරහා ඇවිද ගියේය. වාත්තු යකඩ බොයිලේරු මතට හිරු එළිය වැටීමෙන් දිලිසෙන දර්පණ පේළි දැකීමෙන් ඔවුහු මවිතයට පත් වූහ.

“ජෙරමි ෂෙර් / Jeremy Shere නම් ලේඛකයා මෙම සිදුවීම ගැන ඔහුගේ  Renewable: The World-Changing Power of Alternative Energy‘ නම් කෘතියේ මෙසේ ලියුවේය. සෙල්සියස් අංශක 93ට වඩා උණුසුම් කරන ලද බොයිලේරු වල ජලය අඩු පීඩන වාෂ්ප බවට පත් කර විශේෂයෙන් නිර්මාණය කර ඇති අශ්වබල 75 එන්ජිමක් ධාවනය කරයි. මැජික් බලයෙන් මෙන් එන්ජිම ජලය ගැලුම් දහස් ගණනක් පොම්ප කළේය. නයිල් ගඟෙන් ගලා එන ජලය ශුෂ්ක භූ දර්ශනය සංතෘප්ත කරයි.”

1890 ගණන්වල සුඩානය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට නතු කළ බ්‍රිතාන්‍ය හමුදා නායකයා වූ Kitchener සාමිවරයා ද ෂූමන් සමග ඊජිත්තුවේ කපු වගා බිම් අතර ඇවිද ගිය පිරිස අතර විය. Dougherty ට අනුව, Kitchener “එය ඊජිප්තුවේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ඔහුගේ වැඩසටහනට අත්‍යවශ්‍ය දෙයක් ලෙස මෙම සූර්ය බල එන්ජිම සැලකීය. එන්ජිම ප්‍රතිනිර්මාණය කිරීම සඳහා Kitchener සාමිවරයා විසින් සුඩානයේ අක්කර 30,000ක කපු වගාවක් ෂූමන් වෙත පිරිනැමීය.”

+          +          +          +

හිරු රැජින – සූර්ය බලශක්තියේ නොසලකා හරින ලද පුරෝගාමියෙක්

මාරියා ටෙල්කේස්ට / Mária Telkes සූර්ය බලශක්තිය වර්ධනය කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වූ අතර ඇයගේ අන්වර්ථ නාමය වූයේ “සූර්ය රැජින / The Sun Queen ය. Telkes දෙවන ලෝක යුද්ධයට පෙර Massachusetts Institute of Technology (MIT) හි සූර්ය බලශක්තිය හැදෑරීමට පටන් ගත් අතර   මූර්ති ශිල්පිනී Amelia Peabody විසින් අරමුදල් සපයන ලද ගෘහ නිර්මාණ ශිල්පී Eleanor Raymond සමඟ යුද්ධයෙන් පසු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන නිවාස තාපන පද්ධතියක් නිර්මාණය කළාය. 1953 දී, Telkes සූර්ය බලයෙන් ක්‍රියා කරන උඳුනක් සොයා ගැනීමට උදව් කළ අතර 1960 ගණන් වලදී ප්‍රකාශ වෝල්ටීයතා සෛල පිළිබඳ පර්යේෂණ සිදු කළාය. (වත්මන් සූර්ය බලශක්ති කර්මාන්තයේ පදනම)

+          +          +          +

කෙසේ වෙතත්, පළමු ලෝක යුද්ධය පැමිණීම සහ මැද පෙරදිග සහ වෙනත් තැන්වල ලාභ පොසිල ඉන්ධන සොයා ගැනීම සමග ෂුමන්ගේ නව නිපැයුමට ඉක්මනින් ද්විත්ව පහරක් එල්ල විය. ෂූමන්ගේ නිර්මාණය ප්‍රධාන ධාරාවේ භාවිතය සඳහා ප්‍රමාණවත් ලෙස සංවර්ධනය කර නොතිබිය හැකි බව  Hidden City  ලේඛකයා පවසයි. “එන්ජිම වඩාත් පුළුල් ආකර්ෂණයක් සොයා ගත්තේ නැති නමුත් පද්ධතිය තාක්ෂණික වශයෙන් තරමක් සංකීර්ණ වූ අතර එය ආයෝජකයින්ගේ කලකිරීමට හේතු විය.”

එසේ තිබියදීත්, එවැනි සූර්ය එන්ජින් විශාල සංඛ්‍යාවක් ගොඩනඟන විට අපිරිසිදු ඉන්ධන ප්‍රතිස්ථාපනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ දූරදර්ශී අගය කිරීමක් ෂුමන්ට තිබුණි. 1911 තරම් ඈත කාලයේ Scientific American හි ලිපියක් ලියමින් ඔහු අද අප දකින විශාල සූර්ය ගොවිපළවල් ගැන අනාවැකි පළ කළේය .

“සූර්ය බලාගාරයක් ප්‍රායෝගික වීමට නම් පළමුව ඉහළ කාර්යක්ෂමතාවයක් තිබිය යුතුය. ස්ථාපනය කිරීමේ සහ නඩත්තු කිරීමේ අඩු පිරිවැය, හොඳින් සලකුණු කළ සේවා කාලය සහ එහි ක්‍රියාකාරිත්වය සඳහා විශේෂ පුහුණුව ලත් යාන්ත්‍රිකයන් අවශ්‍ය නොවිය යුතුය… එය සම්පූර්ණයෙන්ම ප්‍රායෝගිකයි. මේ ආකාරයට අශ්ව බල 10,000ක් සහ ඊට වැඩි සූර්ය බලාගාරයක් නිෂ්පාදනය කිරීමට ස්ථාපිත පද්ධතිය අනතුරකට ලක්නොවිය යුතුය. එබැවින් එය කුණාටු සහ සුළංවලින් පීඩාවට පත් නොවන පරිදි පොළව ආසන්නයේ පිහිටා තිබිය යුතුය. එක් එක් ඒකකය මෙහෙයුම නතර නොකර අලුත්වැඩියා කළ හැකි විය යුතුය. ඉදිකිරීම් සරල සහ සාමාන්‍ය වාෂ්ප ඉංජිනේරුවෙකුට වුව ද පහසුවෙන් තේරුම් ගත හැකි විය යුතුය. දර්පණ ඇඳීම සහ ඉරීම අවම වශයෙන් අඩු කළ යුතුය‘

ෂුමාන් 1919 දී මිය ගියේය. 1973 තෙල් අර්බුදයේ කම්පනය ලාභ තෙල් යුගය අවසන් කිරීමෙන් පසු ෂූමන්ගේ අදහස් නැවත වරක් පැතිරීමට තවත් වසර 50ක් පමණ ගතවනු ඇත. තෙල් අර්බුදයෙන් දශකයකට වැඩි කාලයකට පසුව පළමු පූර්ණ පරිමාණ සූර්ය බලශක්ති බලාගාරය කැලිෆෝනියාවේ Mojave කාන්තාරයේ ඉදිකළේය. ඛණිජ උණු කිරීම සඳහා එහි ස්වභාවික තීව්‍රතාව මෙන් 70 සිට 80 ගුණයකින් හිරු එළිය පරාවර්තනය කරන දර්පණ 936,000කට වඩා එහි අඩංගු වූ අතර එමඟින් විදුලිය නිපදවන ටර්බයිනයක් ධාවනය විය. එහි උච්චතම අවස්ථාව වන විට නිවාස 230,000කට වැඩි ප්‍රමාණයකට ප්‍රමාණවත් බලයක් ජනනය කිරීමට සමත් විය.

2013 දී ස්විට්සර්ලන්ත කලාකරුවන් දෙදෙනෙකු (Christina Hemauer සහ Roman Keller) ඊජිප්තුවේ කලා ස්ථාපනයක කොටසක් ලෙස ෂූමන්ගේ  සූර්ය බල එන්ජිම ප්‍රතිනිර්මාණය කළහ.

1913 සූර්ය එන්ජිමේ කොටස් සමඟ 1914 දී ලියන ලද ෂුමන්ගේ මෙම උපුටා දැක්වීම ද විය: “මට එක දෙයක් විශ්වාසයි. එනම් මිනිස් වර්ගයා අවසානයේ සෘජු සූර්ය බලය භාවිතා කළ යුතුය. නැතහොත් ඔහු ආපසු ම්ලේච්ඡත්වයට යා යුතුය.”

ෂුමන්ගේ අත්හදා බැලීම්වලින් සියවසකට වැඩි කාලයකට පසුව අවසානයේදී සූර්ය බල එන්ජින් පිළිබඳ  ඔහුගේ පොරොන්දුව ලෝකය විසින් අල්ලාගෙන ඇති බව පෙනේ. ඇත්ත වශයෙන්ම අස්වාන් වේල්ලට වයඹ දෙසින් කිලෝමීටර 40ක් පමණ දුරින් ඊජිප්තුව විසින්ම දැන් ලෝකයේ සිව්වන විශාලතම සූර්ය බලාගාරය විවෘත කර ඇත. බෙන්බන් සූර්ය උද්‍යානය නම් එය වර්ග කිලෝමීටර් 37කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරන අතර එය අභ්‍යවකාශයේ සිට දැකගත හැකි තරම් විශාලය.

බී.බී.සී