“සෑම සත්වයෙක්ම පැවැත්මට සුදුසුයි. මී මැස්සන්ගේ සිට නිල් තල්මසුන් දක්වා, කොටින්ගේ සිට වේයන් දක්වා, සියලුම වන ජීවීන් ස්වභාවධර්මයේ සමතුලිතතාවයට, සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධති සඳහා සහ අපගේ පෘථිවියේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය වේ.”

‘Big 5″ පිළිබඳ අදහස වෙනසකට ලක්වන නව පොතක් එළිදැක්වීමත් සමඟ යටත්විජිතවාදය තුළ මුල් බැසගත් ප්‍රචණ්ඩ ක්‍රියාවක් යටපත් වෙමින් පවතී. මිහිකත දිනය (අප්‍රෙල් 23) සනිටුහන් කරමින් අපගේ ලෝකයෙන් අතුරුදහන් වන සතුන් 11කගේ කැපී පෙනෙන ඡායාරූප එය හෙළි කරයි.

“උසම උස ජිරාෆ්ගේ සිට දීප්තිමත් තැඹිලි සහ නිල් පාෂාණ අගමා දක්වා, තමන්ගේම ආලෝකය නිපදවන ගැඹුරු මුහුදේ ඇන්ග්ලර්ෆිෂ් දක්වා, අපි ජීවත් වන්නේ පිටසක්වල ලෝක ජනාකීර්ණ කිරීමට විද්‍යා ප්‍රබන්ධ කතුවරුන් සිතූ ඕනෑම දෙයකට ගැළපෙන ජීවීන් සමඟ ය” යනුවෙන් ග්‍රේම් ග්‍රීන් / Graeme Green ලියයි. ඔහුගේ පොත මේ මාසයේ ප්‍රකාශයට පත් කරන ලද The New Big 5 නම් කෘතියයි. 2020 අප්‍රේල් මාසයේදී වනජීවී ඡායාරූප ශිල්පියකු වන ග්‍රීන් Big 5 ගැන මෙතෙක් පැවැති සාම්ප්‍රදායික අදහස සම්බන්ධයෙන් යළි මහජන මත විමසීමක් කරන ව්‍යාපෘතියක් දියත් කළේය. ඒ අනුව ඔවුන්ගේ ප්‍රියතම සතුන් පස්දෙනා සඳහා අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කරන ලෙස ග්‍රීන් ලොව පුරා සිටින පුද්ගලයින්ට ආරාධනා කළේය. මේ අනුව වනජීවී ඡායාරූපකරණයේ New Big 5  මහජන ඡන්දයෙන් තීරණය කර ඇත. ඔවුන් නම්, අලියා, හිම වලසා, සිංහයා, ගෝරිල්ලා සහ කොටියා වේ.

පැල්ලම් සහිත ටොරන්ට් ගෙම්බා, Santa Barbara Park, Ecuador, Lucas Bustamante; සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට (IUCN) අනුව තත්ත්වය: දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත

(Big 5 (මහ සතුන් පස්දෙනා) යනුවෙන් සැලකෙන්නේ ලෝකයේ දඩයම් කිරීමට අසීරු යැයි සලකන ලද සිංහයා, දිවියා, රයිනෝ, අලි සහ අප්‍රිකානු මී හරකුන් ය. මෙම විශාල අප්‍රිකානු ක්ෂීරපායී විශේෂ පහ භයානක බව දඩයම්කරුවන් දැන සිටි අතර ඔවුන්ව ඝාතනය කිරීම වීරත්වයෙන් සලකනු ලැබීය. ඒ අනුව මෙම මහ සතුන් පස් දෙනා හඹා ගොස් දඩයම් කිරීම දඩයම්කරුවන්  විසින් කුසලාන දඩයම් කිරීම / trophy hunting  යනුවෙන් හඳුන්වනු ලැබීය. Big 5 ඝාතනය කිරීම යටත් විජිත සමයේදී සුදු දඩයක්කරුවන් සහ සුදු මිනිසුන් විසින් සිදුකළ තිරස්චීන ක්‍රියාවක් වූ අතර ලංකාවේද මෙය බහුලව සිදු වූ බවට ලිඛිත සාක්ෂි ඇත. විශේෂයෙන් අලි ඇතුන් ඝාතනය ලංකාව තුළ සුලභව සිදුකරනු ලැබීය – පරිවර්තක)

Big 5 මුල් යෙදුම අලි, රයිනෝ, මී හරක්, සිංහයා සහ දිවියා යන අප්‍රිකානු සතුන් පස් දෙනෙකුට යොමු කර ඇති අතර ඔවුන් වඩාත් කැමති සහ දඩයම් කිරීමට වඩාත්ම භයානක සතුන් ලෙස සලකනු ලැබීය. එහෙත් ග්‍රීන් ලියන පරිදි, “මුල් බිග් 5 යන යෙදුමේ නිවැරදි තේරුම කුමක්දැයි කී දෙනෙක් දන්නවාද යන්න ප්‍රශ්නයකි. බොහෝ දෙනෙක් Big 5 යනු  අප්‍රිකාවේ විශාලතම සතුන් ලෙස උපකල්පනය කර ඇත. ඔවුන් ජිරාෆ් සහ හිපපෝ වැනි සතුන් අමතක කරති. ඔවුන් දිවියන්ට හෝ සිංහයන්ට වඩා විශාලය. තවත් අය හිතුවේ Big 5 භයානකම හෝ මාරාන්තිකම සතුන් පස් දෙනා බවයි. හිපපෝ වැනි සතුන් (සිංහයන් විසින් මරා දමනු ලබන මිනිසුන් සංඛ්‍යාවට වඩා දෙගුණයකටත් වඩා වැඩි මිනිසුන් ප්‍රමාණයක් හිපෝ විසින් වාර්ෂිකව මරා දමයි), කිඹුලන්, සර්පයන්, ගෝනුස්සන් හෝ මදුරුවන් වැනි සතුන් පවා මෙහිදී ඔවුහු පහසුවෙන්  අමතක කරති. ”

Golden snub-nosed monkey ෆොපිං ජාතික ස්වභාව රක්ෂිතය, IUCN තත්ත්වය: වඳවීමේ තර්ජනයට ලක්ව ඇත

“බිග් 5 යනු අප්‍රිකාවේ ප්‍රචණ්ඩ අතීතයට සම්බන්ධ එකම යෙදුම නොවේ,” ග්‍රීන් තවදුරටත් පවසයි.

“සෆාරි / Safari යනු ස්වහීලී වචනයකි. එහි තේරුම ‘ගමන’ යන්නයි. එය අරාබි භාෂාවේ සෆාර් / safar වෙතින් පැමිණි බවට සැක නැත. අප්‍රිකාවේ අරාබි වෙළඳුන් විසින් භාවිතා කරන ලද සෆාරි යන වචනය 1800 ගණන්වල සුදු දඩයම්කරුවන් විසින් (ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවලින් පැමිණි) ඔවුන්ගේ දඩයම් ගවේෂණ හෝ දඩයම් විස්තර කිරීමට ‘Safari‘ යන වචනය භාවිත කළේය. එහිදී ඔවුන් තම වීරත්වය හෝ නිර්භීතභාවය ප්‍රදර්ශනය කිරීම සඳහා සිංහයන් සහ අලි ඇතුන් වැනි සතුන්ට වෙඩි තැබුවේය. නමුත් Safari යන වචනය අද අමුතුම තත්වයක් නිර්මාණය කරයි. බොහෝ වනජීවී ලෝලීන් Big 5 දැකීමට යන සෆාරි සඳහා මුදල් ගෙවයි. (නමුත් එදා Safari  යනු වන සතුන් මිලියන ගණනක් විනාශ කළ දඩයම් කිරීම මුල් බැස ගත් වචනයකි)

Chimpanzee, Gombe Stream National Park, Tanzania, IUCN තත්ත්වය: වඳවීමේ තර්ජනයට ලක්ව ඇත

චිම්පන්සියන් පිළිබඳ අධ්‍යයනය සඳහා වසර 60කට වැඩි කාලයක් ගත කර ඇති බ්‍රිතාන්‍ය විද්‍යාඥ ආචාර්ය ජේන් ගුඩෝල් ඇතුළු ලොව විශිෂ්ටතම වනජීවී ඡායාරූප ශිල්පීන්, සංරක්‍ෂකයින් සහ උපදේශකයින් 146 දෙනෙකු මෙම නව පොතට ඡායාරූප ලබා දී ඇත.

මෙම කෘතිය වෙනුවෙන් විද්‍යාඥ ආචාර්ය ජේන් ගුඩෝල් පසුවදන ලියා ඇති අතර එහි මාතෘකාව Hope in Dark Times / අඳුරු කාලයේ බලාපොරොත්තුව‘ ලෙස හැඳින්වේ.

“ඇත්තටම මට අනාගතය ගැන බලාපොරොත්තුවක් තියෙනවද කියලා මිනිස්සු නිතරම මගෙන් අහනවා. මම විශ්වාස කරන්නේ අපට සිදු වී ඇති හානිය සුව කිරීමට සහ පෘථිවියේ උණුසුම මන්දගාමී කිරීමට පටන් ගත හැකි කාල කවුළුවක් අපට ඇති බවයි. නමුත් ඒ අපි එකතු වී දැන් ක්‍රියාමාර්ග ගතහොත් පමණි” ඇය සිය පසුවදන තුළ ලියයි.

අප්‍රිකානු සිංහයා, Tswalu Kalahari රක්ෂිතය, IUCN තත්ත්වය: අවදානමට ලක්විය හැකි

මිනිසුන් සහ සතුන් අතර සම්බන්ධතා ඇති කිරීමට ඡායාරූපවලට බලය ඇති බවත් වෙනත් ආකාරයකින් ඔවුන් ඔවුනට කිසි දිනෙක හමු නොවිය හැකි බවත් ආචාර්ය ගුඩෝල් ලියයි.

“මම කවදාවත් හිම වලසෙකු හෝ කොටියෙකු වනයේ දැක නැත. නමුත් මවක් තම පැටවුන් ඇය වටා සෙල්ලම් කරන විට විවේකීව සිටීම හෝ තරුණ කොටියෙක් හෝ දෙදෙනෙක් ඍජුව කෙළින් සිටගෙන සිටීම වැනි බොහෝ ඡායාරූප මම දැක ඇත්තෙමි. ඡායාරූප ශිල්පියාගේ ඇස වනාන්තරය මැදින් නිශ්ශබ්දව ගමන් කරයි. ඡායාරූප එතරම් වැදගත් වන්නේ එබැවිනි. බොහෝ දෙනෙකුට වනයේ සිටින සතුන් කෙරෙහි ගැඹුරු ගෞරවයක් හා ආදරයක් ඇති කර ගත හැක්කේ එවැනි පින්තූර හරහා පමණි’’

හිම වලසා, Wapusk ජාතික වනෝද්‍යානය, Manitoba, Canada/ IUCN තත්ත්වය: අවදානමට ලක්විය හැකි

හිම වලහා

The New Big 5 හි Polar Bear International හි විධායක අධ්‍යක්ෂිකා Krista Wright ලියන්නේ “හිම වලසෙකුගේ ජීවිතය මුහුදේ අයිස් සමග බැඳී ඇත. අයිස්වලින් තොර ආක්ටික් කලාපයක් සිතුවම් කිරීමට උත්සාහ කිරීම ගස් නැති වැසි වනාන්තරයක් හෝ ජලය නොමැති සාගරයක් චිත්‍ර කිරීමට උත්සාහ කිරීමක් වැනිය.”

අප්‍රිකානු අලි, කෘගර් ජාතික වනෝද්‍යානය, දකුණු අප්‍රිකාව; IUCN තත්ත්වය: වඳවීමේ තර්ජනයට ලක්ව ඇත

අලියා

මාංශ පේශී 40,000ක් පමණ (මිනිස් සිරුරේ ඇති ප්‍රමාණයට වඩා වැඩි) ඇති ඔවුන්ගේ  හොඬවැල ගස්වල අතු ඉරා දැමීමට තරම් බලවත් නමුත් පොළවෙන් බීජයක් උදුරා ගැනීමට තරම් දක්‍ෂයි… අද අප දකින අලි ඇතුන් කුඩා වෙනස්වීම්වල ප්‍රතිඵලයකි. එය වසර 750,000කට සමාන කාලයක් තුළ සිදු විය” ග්‍රීන් ලියයි. පරිණාමීය ජීව විද්‍යාඥ මහාචාර්ය රිචඩ් ඩෝකින්ස් ඔහුට මෙසේ පැවසීය: “අලි යනු වසර මිලියන 60ක පමණ පරිණාමයේ ප්‍රතිඵලයකි. එය ඇදහිය නොහැකි තරම්ය. ඔවුන්ගේ හොඬවැල විශ්මයජනක ලෙස දක්ෂ, සංවේදී උපකරණයකි. මුල් කාලයේ අලි ඇතුන් හොඬවැලක් නොමැතිව සිටි බවට සාක්ෂි ඇත. කාලයත් එක්ක හොඬවැල ටිකෙන් ටික දිග වෙන්න ඇති. ඒ වගේම ඇත් දළත් කැපී පෙනෙනවා. ඇළ දත් දත් විදිහට පටන් අරන් ටිකෙන් ටික වැඩෙනවා.”

අප්‍රිකානු අලි සංඛ්‍යාව වරක් මිලියන 30කට වැඩි විය. අද ඉතිරිව ඇත්තේ 400,000 ක් පමණ ය. මහාචාර්ය ඩෝකින්ස් පවසන පරිදි: “විශේෂයෙන් අලියෙකු වැනි විශේෂයක් වඳ වී යන සෑම අවස්ථාවකම, ඔබ වසර මිලියන ගණනක පරිණාමීය පර්යේෂණ සහ සංවර්ධනය ඇස් පනාපිටම අතුගා දමනවා”

අප්‍රිකානු සිංහයන්, Naboisho Conservancy, කෙන්යාව; IUCN තත්ත්වය: අවදානමට ලක්විය හැකි

සිංහයා

The New Big 5 හි වනජීවී සංරක්ෂණ ක්‍රියාකාරීත්වයේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ Dr Moreangels Mbizah මෙසේ කියයි. “අප්‍රිකානු භූමියේ දැන් ඉතිරිව ඇත්තේ සිංහයන් 20,000කට වඩා අඩු ප්‍රමාණයක්. එය ඔවුන්ගේ පැරණි ගහනයෙන් 8%ක් වැනි ප්‍රමාණයක්. අප්‍රිකාවෙන් පිටත වෙනත් බොහෝ රටවල මීට පෙර සිංහයන් සිටි නමුත් අද වන විට සිංහයන් සොයා ගත හැක්කේ ඉන්දියාවේ ගිර් ජාතික වනෝද්‍යානයේ එක් ස්ථානයක පමණයි‘

සිංහයින් මුහුණ දෙන තර්ජන අතරට, වාසස්ථාන හැකිලීම, නීතිවිරෝධී දඩයම් කිරීම, මිනිස්-වනජීවී ගැටුමේ වැඩිවීම නිසා ගොදුරු අඩුවීම ද ඇතුළත් වේ. නමුත් විසඳුම් ද තිබේ. ආචාර්ය Mbizah මෙසේ ලියයි, “සිංහයන් සමඟ ජීවත් වන ප්‍රජාවන් සිංහයන්ට වඩාත්ම උපකාර කිරීමට හොඳම ස්ථානයයි. ප්‍රදේශයේ ජනතාව ප්‍රශ්නය විසඳීමට පෙරමුණ ගත යුතුයි. අතීතයේදී සංරක්ෂණය යනු වනජීවී විශේෂ සහ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා වූ අතර මෙම ප්‍රදේශ අවට ජීවත් වන මිනිසුන්ට දැක්වූයේ ඉතා සුළු සැලකිල්ලක්. සංරක්ෂණය සොබාදහම සහ මිනිසුන් යන දෙකම ගැන විය යුතුයි. වන සතුන් සමඟ ජීවත් වීම සහ ආරක්ෂා කිරීම මෙන්ම ඒ හරහා හිමිවන ආර්ථික ප්‍රතිලාභ ගැන ඔවුන් දැනුවත් කළ යුතුයි. ප්‍රාදේශීය ප්‍රජාවන්ට සිංහයන් ආරක්ෂා කිරීමේ සෘජු සම්බන්ධතාවයක් හෝ ප්‍රතිලාභයක් නොමැති නම් ඔවුන්ට එසේ කිරීමට අවශ්‍ය වීමට හේතුවක් නැහැ‘

Mountain Gorilla, Volcanoes National Park, Rwanda; IUCN තත්ත්වය: වඳවීමේ තර්ජනයට ලක්ව ඇත

ගෝරිල්ලා

“ගෝරිල්ලන් දිගු කලක් තිස්සේ අපව ආකර්ෂණය කර ඇත්තේ ඔවුන් තුළ අපව දකින නිසා” යැයි Dian Fossey Gorilla Fund හි සභාපති, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන විද්‍යාත්මක නිලධාරි ආචාර්ය Tara Stoinski, The New Big 5 හි ලියයි.

“ඔබ ඔවුන් සමඟ කාලය ගත කරන විට ඔබට පුළුවන් අපගේ හැසිරීම් වලින් බොහෝ දේ ඔවුන් තුළ ද පිළිබිඹු වන බව දැකීමට. අපට මෙන්ම ඔවුන්ට ද මිතුරන් හා සතුරන් ඇත. ඔවුන් දශක ගණනාවක් තිස්සේ සබඳතා ගොඩනඟා ගනිමින් ඔවුන්ගේ පවුල් ආරක්ෂා කරමින් තම ජීවිතය පරදුවට තබා තම පවුල් ආරක්ෂා කරයි…  ඔහුගේ පවුලේ අය ඔහුගේ දේහය අසල නැවතී, ශෝක වෙමින් සම්පූර්ණ දින තුනක් ඔහුව අවදි කිරීමට උත්සාහ කළහ. මම ඔවුන් සමඟ වැලපුණා. ගෝරිල්ලෙකු අහිමි වන සෑම අවස්ථාවකම මම කරන්නෙමි.”

ඔවුන්ගේ අවදානම් තත්ත්වය තිබියදීත් යම් බලාපොරොත්තුවක් ඇත – Dian Fossey සහ අනෙකුත් ප්‍රචාරකයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් රුවන්ඩාවේ කඳුකර ගෝරිල්ලන් ගහනය 1980 ගණන්වල 250 සිට අද වන විට ඇස්තමේන්තුගත  600 දක්වා වැඩි වී ඇත.

බෙංගාල කොටියා, බන්දව්ගාර් ජාතික වනෝද්‍යානය; IUCN තත්ත්වය: වඳවීමේ තර්ජනයට ලක්ව ඇත

කොටියා

“පසුගිය වසර 30 පුරාවට මම ඉන්දියානු වනාන්තරවල කොටි සමඟ අසංඛ්‍යාත සිත් ඇදගන්නාසුළු අන්තර්ක්‍රියා කර ඇත්තෙමි,” වනජීවී සංරක්ෂණ භාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය Anish Andheria, The New Big 5 හි ලියයි. “සෑම සිදුවීමක්ම මගේ මනසෙහි පැහැදිලිව සටහන්ව ඇත. 1970 ගණන්වල මුල් භාගයේදී දියත් කළ ව්‍යාපෘතියේ අත්දැකීම් ද පදනම් කර ගනිමින් ප්‍රජාවන් සහ රජය දැනුවත් කිරීම හේතුවෙන් 2006 සහ 2018 අතර කාලය තුළ ඉන්දියාවේ කොටි ගහනය යන්තම් 1,400 සිට 3,000 දක්වා දෙගුණයක් වී ඇත.

කනගාටුවට කරුණක් නම් කොටි ගහනය සහිත වෙනත් රටවල කතාව එතරම් ධනාත්මක නොවීමයි – වරක් කොටි සිටි රටවල් 13 න් 03කම දැන් කිසිම කොටියෙකු නැත. තවත් රටවල් දෙකක ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. ඉතිරි රටවල කොටි සංඛ්‍යාව 1000ට වඩා අඩුය.

Florida Manatees, Florida, United States; IUCN තත්ත්වය: අවදානමට ලක්විය හැකි

අර්බුදයේ හදිසිතාව තිබියදීත් බලාපොරොත්තුව සඳහා හේතු රැසක් තිබේ. මෑත දශක කිහිපය තුළ බලශක්ති සමාගම් විසින් දැවැන්ත වේලි ඉදිකිරීමේ සැලසුම් සමඟ පේරු ඇමසන් සහ චිලියේ අයිසන් කලාපයේ ප්‍රජාවන් දෙකක් සාර්ථකව සටන් කළ ආකාරය ග්‍රීන් සිහිපත් කරයි.

The New Big 5 හි ග්‍රීන් ලියන පරිදි, “වාණිජ්‍ය තල්මසුන් දඩයම් කිරීම 19 වන සහ 20 වන සියවස් වලදී තල්මසුන් මිලියන 2ක් විනාශ කළ නමුත් 1986 දී තල්මසුන් දඩයම තහනම් කරන ලද බැවින්  1950 දී යාන්තම් 440ක් වූ දකුණු අත්ලන්තික් සාගරයේ තල්මසුන් ගහනය අද වන විට 25,000 දක්වා ඉහළ ගොස් තිබේ. බටහිර අප්‍රිකානු ජිරාෆ් වඳ වී යාමට ආසන්නව සිටි නමුත් (ජිරාෆ් රැක ගැනීම වෙනුවෙන් නයිජර් රජය සහ ප්‍රජාවන් ඒකරාශී වීමට පෙර ඉතිරිව ඇත්තේ 49 ක් පමණි) දැන් බටහිර අප්‍රිකානු ජිරාෆ් ගහනය 600 දක්වා වර්ධනය වී ඇත. සයිබීරියානු කොටි, ජැමෙයිකානු කඳුකර ඉගුවානා, චෙකර්ඩ් ස්කිපර් සමනලුන්, මුහුදු ඔටෙරෝ මිනිසුන් ක්‍රියා කිරීම මගින් වඳවී යාමෙන් බේරා ගත් තවත් බොහෝ විශේෂ අතර වේ.

පොතේ ඇති ඡායාරූප මිනිසුන් සහ සියලුම වන සතුන් අතර සම්බන්ධය ශක්තිමත් කිරීමට උපකාරී වේ. “සෑම සත්වයෙක්ම පැවැත්මට සුදුසුයි. මී මැස්සන්ගේ සිට නිල් තල්මසුන් දක්වා, කොටින්ගේ සිට වේයන් දක්වා, සියලුම වන ජීවීන් ස්වභාවධර්මයේ සමතුලිතතාවයට, සෞඛ්‍ය සම්පන්න පරිසර පද්ධති සඳහා සහ අපගේ පෘථිවියේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය වේ.” ග්‍රීන් ලියයි.

bbc