වනජීවී පර්යේෂක සුරන්ජන් කරුණාරත්න විසින් හඳුනාගෙන ඇති හූනන් විශේෂ දෙකක ජයවීරගේ දිවාසැරි හුනා (Cenmaspis jayaweerai) සහ නානායක්කාරගේ දිවාසැරි හුනා (Cenamaspis nanayakkarai) ලෙස නාමකරණය කර ඇත.
වියලි කලාපයට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඇතාගල වනාන්තරය තුලින් ජයවීරගේ දිවාසැරි හුනා හමුවී ඇති අතර නානායක්කාරගේ දිවාසැරි හූනා හඳුනාගෙන ඇත්තේ අතරමැදි කලාපයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ගල්ගිරිය වනාන්තරය තුලින් ය.
මෙම සතුන් දෙදෙනා ඉහත කී හුදකලාවූ කඳුකර වනාන්තර දෙකට පමණක් සීමා වී තිබෙන බව වනජීවී පර්යේෂක සුරන්ජන්කරුණාරත්න බීබීසී සිංහල වෙත කියා සිටියේය.
මෙම සතුන්ගේ ගහන ඝනත්වය ඉතාම අඩුව බැවින් දැඩි ලෙස තර්ජනයට ලක්වූ විශේෂ දෙකක් බව පෙන්වාදෙන පර්යේෂකයා “විශේෂ දෙකෙන් ජයවීරගේ හූනා කියන එකා තමයි ඉතාම අඩු, මම හිතන්නේ තව අවුරුදු පහක් විතර යනකොට අපිට එයාව බලාගන්නබැරි වෙයි.” යැයි කියා සිටියේය.
2019 වසරේදී මෙම හූනන් හඳුනාගෙන පර්යේෂණ ආරම්භ කර ඇති අතර පසුගිය වසරේදී ඒ හා සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව Vertrbrate Zoologe විද්‍යාත්මක සඟරාව වෙත යොමු කළ පසු එහි තහවුරු කරගැනිම් වලින් අනතුරුව මාර්තු 14 වැනිදා පර්යේෂණ පත්‍රිකාව සඟරාවේ පළ කර තිබේ.
“මේ හූනෝ දෙන්නා ඉතාමත් කුඩා හූනෝ ගල් අශ්‍රීතව තමයි ජිවත් වෙන්නේ. මේ අයගේ විශේෂත්වය තමයි මේ අය ඉන්නේ වියළිකලාපයේ සහ අතමැදි කලාපයේ පුංචි කඳු ගැටවල විතරයි ඉන්නේ. ඒ කන්දෙන් පිට ඒ අයට ජිවත් වෙන්න බෑ.” යැයි මෙම පර්යේෂණයට ජාන විද්‍යත්මක පරීක්ෂණයට දායකත්වය දුන් රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කනිෂ්ක උකුවෙල පැවසීය.
දිවා කාලයේ සැරිසරන ශ්‍රී ලංකාවට අවේණික මෙම හූනන් ඇතාගල හා ගල්ගිරිය කඳු අතරට පමණක් සීමා වී ඇති බව පවසන කථිකාචාර්යවරයා ඔවුන් කඳු අතර හුදකලා වීම සම්බන්ධව තවදුරටත් පර්යේෂණ කටයුතු කරන බවද කියා සිටියේය.
පර්යේෂණයෙන් හඳුනාගත් හූනන් දෙවර්ගය ඇතාගල කන්ද හා ගල්ගිරිය කන්ද ආශ්‍රිතව පමණක් ජීවත්වන බැවින් එම කඳුකර පරිසර පද්ධතියට හානි වී විනාශ වුවහොත් මෙම හූනන් ලෝකයෙන් තුරන්වනු ඇති බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කණිෂ්ක උකුවෙල අනතුරු ඇඟවිය.
ශ්‍රී ලංකාවේ වනජීවී පර්යේෂණ, සංරක්ෂණ කටයුතු මෙන්ම දශක කිහිපයක් තිස්සේ තරුණයන් හට නොමිලේ වන සතුන් පිළිබඳ අධ්‍යාපනය ලබා දීමට දක්වන ලද දායකත්වය නිසාවෙන් මෙම හූනන් දෙදෙනා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වන ශාන්ත ජයවීර සහ ආනන්ද ලාල් නානායක්කාරගේ නම්වලින් හැඳින්වීමට තීරණය කර ඇත්තේ ඔවුන් කරනු ලබන සේවයට ගෞරවයක් ලෙසය.
සුරංජන් කරුණාරත්න, කණිෂ්ක උකුවෙල, ඇන්ස්ලම් දී සිල්වා, ඇරන් බවර්, මජින්ත මඩවල, නිකලො පොයර්කොව්, මාධව බොතේජු, දිනේෂ් ගබඩාගේ, ලී ග්‍රිස්ම සහ ව්ලැඩ් ගොරින් මෙම පර්යේෂණයට සිය දායකත්වය ලබා දී ඇත.