මෙම මාසයේ සාගර උෂ්ණත්ව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ද එය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතු වනු ඇතැයි ද විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. ගෝලීය වශයෙන් සාගර මෙතරම් ඉක්මනින් උණුසුම් වී නොමැති බවයි විද්‍යාඥයින් පවසන්නේ. මෙය සිදු වූයේ මන්දැයි වටහා ගැනීමට සාගර විද්‍යාඥයින් අසමත්ව සිටී.

සාගර උණුසුම වාර්තාගත ලෙස ඉහළ යාමට සමගාමීව සිදුවන අනෙකුත් කාලගුණික සිදුවීම් සමඟ එක්ව ලබන වසර අවසන් වන විට ලෝකයේ උෂ්ණත්වය නව මට්ටමකට ළඟා විය හැකි බවයි ඔවුන්ගේ අදහස වන්නේ.

‘සැබවින්ම මෙය අප සියලු දෙනාම කනස්සල්ලට පත් කරන තත්ත්වයක්‘

මේ අතර ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් (සාගරය උණුසුම් කරන කාලගුණ පද්ධතියක්) ඉදිරි මාස කිහිපය තුළ ස්ථාපිත වනු ඇතැයි විශේෂඥයෝ විශ්වාස කරති. උණුසුම් සාගර සාගර ජීවීන් විනාශ කළ හැකි අතර වඩාත් ආන්තික කාලගුණික තත්ත්වයන් ඇති කිරීමට සහ මුහුදු මට්ටම ඉහළ නැංවිය හැකිය. ලෝක උණුසුම් කරන හරිතාගාර වායූන් අවශෝෂණය කිරීමේ කාර්යක්‍ෂමතාවය ද ඒ හා සමානව දුර්වල වේ.

1951-1980 ට සාපේක්ෂව 2011-2020 අතර සාමාන්‍ය මුහුදු මතුපිට උෂ්ණත්වයේ සිතියම. 

විශේෂයෙන් ආක්ටික් ප්‍රදේශයේ සෙල්සියස් අංශක දෙකකට වඩා වැඩි ප්‍රදේශයක උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ලෝකයේ මුහුදු මතුපිට සියල්ලම පාහේ උණුසුම් වී ඇත. ග්‍රීන්ලන්තයට ගිනිකොන දෙසින් සිසිලන ප්‍රදේශයක් ඇත.

පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද වැදගත් නව අධ්‍යයනයක් ( Heat stored in the Earth system 1960–2020: where does the energy go?) මගින් ද විද්‍යාඥයින්ගේ කණස්සල්ල තව දුරටත් වර්ධනය කරයි.

පසුගිය වසර 15 තුළ පෘථිවියේ සමුච්චිත තාපය 50% කින් වැඩි වී ඇති අතර එහි වැඩි බලපෑමක් සාගරයට සිදුව ඇත. මෙය ගෝලීය වශයෙන් දැඩි ප්‍රතිවිපාක ඇති කරයි. මේ වසරේ අප්‍රේල් මාසයේදී සාගරවල සමස්ත උෂ්ණත්වය නව වාර්තාවක් තැබුවා පමණක් නොව සමහර කලාපවල දිගු කාලීන වෙනස අතිමහත් විය. මාර්තු මාසයේදී උතුරු ඇමරිකාවේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද මතුපිට උෂ්ණත්වය 1981-2011 සාමාන්‍යයට වඩා 13.8C තරම් වැඩි විය.

“එය තවමත් හොඳින් තහවුරු වී නැහැ. මෙතරම් වේගවත් වෙනසක් සහ එවැනි විශාල වෙනසක් සිදු වන්නේ කෙසේද කියා වටහා ගැනීමට අපි උත්සාහ කරමින් සිටිනවා” Heat stored in the Earth system 1960–2020: where does the energy go? හි ප්‍රධාන කතුවරිය සහ Mercator Ocean International පර්යේෂණ කණ්ඩායමේ සාගර විද්‍යාඥවරියක වන Karina Von Schuckmann පැවසුවාය.

“පසුගිය වසර 15 තුළ අපි දේශගුණික පද්ධතියේ උණුසුම දෙගුණ කර තිබෙනවා. මෙය දේශගුණික විපර්යාස හෝ ස්වාභාවික විචල්‍යතාවයක් හෝ මේ දෙකේම මිශ්‍රණයක් යැයි මට පැවසීමට අවශ්‍ය නැහැ. ඊට හේතු අපි තවමත් දන්නේ නැති නමුත් අපි මෙම වෙනස දකිනවා ” Karina Von Schuckmann පවසයි.

සාගරවල  තාප මට්ටමට ඉහළ යාමට බලපෑ හැකි එක් සාධකයක වන නාවික ගමනාගමනයෙන් සිදුවන දූෂණය අඩුවීම සිත්ගන්නා කරුණකි. 2020 දී ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය නැව් මගින් දහනය කරන ඉන්ධනවල සල්ෆර් ප්‍රමාණය අඩු කිරීම සඳහා රෙගුලාසියක් ක්‍රියාත්මක කළේය. මෙය වේගවත් බලපෑමක් ඇති කර ඇති අතර නෞකා ඉන්ධන මගින් වායුගෝලයට මුදා හරින ලද aerosol අංශු ප්‍රමාණය අඩු කරයි.  නමුත් වාතය අපිරිසිදු කරන aerosols ද තාපය නැවත අභ්‍යවකාශයට පරාවර්තනය කිරීමට උපකාරී වේ.

+          +          +          +

සාගර උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම් මොනවාද?

ලෝක මුහුදේ සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය පූර්ව කාර්මික මට්ටමට සාපේක්ෂව  සෙල්සියස් අංශක 0.90 කින් පමණ වැඩි වී ඇති අතර පසුගිය වසර 40 තුළ පමණක් සෙල්සියස් අංශක 0.60ක දායකත්වයක් ලැබී ඇත. මෙය ප්‍රාග් කාර්මික යුගයේ සිට සෙල්සියස් අංශක 1.5 ට වඩා වැඩි වී ඇති ගොඩබිමෙහි වායු උෂ්ණත්වයේ වැඩිවීමට වඩා අඩුය.

මෙම සුළු සාමාන්‍ය වැඩිවීම තුළ පවා ගෝලීය වශයෙන් හානිකර ප්‍රතිවිපාක ජනනය කළ හැකිය.

සාගර ජීවීන්ට සිදුකරන හානිය: නිතර නිතර හා තීව්‍ර සාගර තාප තරංග සමුද්‍ර ජීවීන් විශාල වශයෙන් මිය යාමට හේතු වේ. මෙය කොරල්පර සඳහා විශේෂයෙන් හානි කරයි.

වඩාත් ආන්තික කාලගුණය: ඉහළ සාගර මතුපිට තාපය වැඩි වීම යනු සුළි කුණාටු සංඛ්‍යාත්මකව වැඩි වීම සහ සුළි කුණාටු වල ශක්තිය වර්ධනය වීමයි. මෙයින් අදහස් කරන්නේ ඒවා වඩාත් තීව්‍ර වන අතර දිගු කල් පවතින බවයි.

මුහුදු මට්ටම ඉහළ යාම: උණුසුම් ජලය වැඩි ඉඩක් ගනී. (තාප ප්‍රසාරණය ලෙස හැඳින්වේ) ග්‍රීන්ලන්තයෙන් සහ ඇන්ටාක්ටිකාවෙන් සාගරයට ගලා යන ග්ලැසියර දියවීම විශාල ලෙස වේගවත් කළ හැකිය. මෙය ගෝලීය මුහුදු මට්ටම ඉහළ නංවන අතර වෙරළබඩ ගංවතුර අවදානම වැඩි කරයි.

CO2 අවශෝෂණය කිරීමේ හැකියාව දුර්වල කිරීම:  දැනට සාගර හරිතාගාර වායු විමෝචනයෙන් හතරෙන් එකක් පමණ සිදුකරයි. උණුසුම් ජලයට CO2 අවශෝෂණය කිරීමේ හැකියාව අඩුය. අනාගතයේදී සාගර CO2 අඩුවෙන් ලබා ගන්නේ නම් වැඩි ප්‍රමාණයක් වායුගෝලයේ එකතු වේ. එමගින් වාතය සහ සාගර තවදුරටත් උණුසුම් කරයි.

+          +          +          +

විද්‍යාඥයන් කනස්සල්ලට පත් කරන තවත් වැදගත් සාධකයක් වන්නේ ‘එල් නිනෝ දකුණු දෝලනය‘ (El Niño Southern Oscillation) ලෙස හැඳින්වෙන කාලගුණ සංසිද්ධියයි. පසුගිය වසර තුනක කාලය තුළ ස්වභාවිකව සිදුවන මෙම සිදුවීම La Niña නම් සිසිල් අවධියක පැවති අතර ගෝලීය උෂ්ණත්වය පාලනය කර ගැනීමට උපකාරී වී ඇත. නමුත් පර්යේෂකයන් දැන් විශ්වාස කරන්නේ ප්‍රබල එල් නිනෝවක් නිර්මාණය වෙමින් පවතින අතර එය ලෝකයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවයි.

1951-1980 සාමාන්‍යයට සාපේක්ෂව 2023 මාර්තු මාසයේ මුහුදු මතුපිට උෂ්ණත්වය. 

මධ්‍යම සහ නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ අසාමාන්‍ය ලෙස ඉහළ මුහුදු මතුපිට උෂ්ණත්වය එල් නිනෝ අවධියක සම්භාව්‍ය සලකුණකි.

“ඕස්ට්‍රේලියානු කාර්යාංශයේ ආකෘතිය ප්‍රබල එල්නිනෝවක් සඳහා ප්‍රබල සාක්ෂි එක් කරනවා. එය ඒ ආකාරයෙන්ම නැඹුරු වී ඇති අතර සියලුම දේශගුණික ආකෘතීන් වඩාත් ප්‍රබල සිදුවීමකට නැඹුරු වී තිබෙනවා” ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශයේ හියු මැක්ඩොවෙල් පැවසීය.

McDowell මහතා අනතුරු ඇඟවූයේ වසරේ මෙම අවස්ථාවේදී අනාවැකි අඩු විශ්වාසදායක බවයි.

වෙරළබඩ එල් නිනෝ දැනටමත් පේරු සහ ඉක්වදෝරයේ වෙරළට ඔබ්බෙන් වර්ධනය වී ඇත.

“නව එල් නිනෝ නවයක් එයට ඉහළින් පැමිණියහොත් අපට බොහෝ විට සෙල්සියස් අංශක 0.2-0.25 පමණ අමතර ගෝලීය උෂ්ණත්වයකට මුහුණ දීමට සිදුවිය හැකියි” පොට්ස්ඩෑම් දේශගුණ පර්යේෂණ ආයතනයේ ආචාර්ය ජෝසෆ් ලුඩෙෂර් පැවසීය.

“ඕනෑම එල් නිනෝවක උච්චතම අවස්ථාවෙන් මාස කිහිපයකට පසු උෂ්ණත්වයට ඇති බලපෑම ලිහිල්  වෙනවා. එබැවින් 2024 වාර්තාගත උණුසුම්ම වසර විය හැකියි‘

එල් නිනෝ විසින් ලොව පුරා කාලගුණික රටා කඩාකප්පල් කරනු ඇති අතර මෝසම් වැසි දුර්වල වී ඕස්ට්‍රේලියාවේ තවත් ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් ඇත. නමුත් වැඩි තාපයක් සාගරයට යන විට ජලයට අතිරික්ත ශක්තිය ගබඩා කිරීමේ හැකියාව අඩු විය හැකි බවට වඩාත් මූලික කනස්සල්ලක් තිබේ. තවද සාගරවල අඩංගු තාපය එහි රැඳී නොසිටිනු ඇතැයි කනස්සල්ලක් පවතී. මෙම කතාව සඳහා සම්බන්ධ කර ගත් විද්‍යාඥයන් කිහිප දෙනෙක් ඇඟවුම් ගැන වාර්තා කිරීමට මැලි වූහ.

එක් අයෙක් කියා සිටියේ තමා “අතිශයින්ම කනස්සල්ලට පත්ව සිටින අතර සම්පූර්ණයෙන්ම ආතතියට පත්ව සිටින” බවයි.

Karina Von Schuckmann පවසන පරිදි මෙම තත්වය තුළ යම් බලාපොරොත්තුවක් ඇත. එල්නිනෝ තත්ත්වය පහව ගිය පසු නැවතත් උෂ්ණත්වය පහළ යා හැකිය.

“අපට තවමත් ක්‍රියාත්මක විය හැකි අවස්ථාවන් ඇති අතර ප්‍රතිවිපාක අවම කිරීම සඳහා අපි මෙය භාවිතා කළ යුතුයි” ඇය පැවසුවාය.

bbc