සාගරයේ සන්ධ්‍යා කලාපය (ocean’s twilight zone) මීටර් 200 ත් 1000 ත් අතර පිහිටා ඇති අතර ප්‍රභාසංශ්ලේෂණය ද සිදු වේ.

සාගර සන්ධ්‍යා කලාපයේ ජීවය පරිහානියට හා වඳ වී යාමට පවා ඉඩ ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

‘සාගරයේ සන්ධ්‍යා කලාපය (ocean’s twilight zone) ලෙස හඳුන්වන මෙම කලාපය සාගරය මතුපිට සිට මීටර් 200 සිට මීටර් 1,000 දක්වා පහළින් පිහිටා ඇත. එය ලන්තෑරුම් මෝරුන් සහ සරුංගල් වරල් මෝරුන් වැනි විශේෂයෙන් අනුවර්තනය කරන ලද මසුන් ඇතුළු විවිධ ජීවීන් සහ සතුන්ගේ නිවහන වේ.

සාගර සන්ධ්‍යා කලාපයේ ජීවීන් කාබනික ද්‍රව්‍ය ටොන් බිලියන ගණනක් ජනනය කරන අතර එමගින් සාගරය පෝෂණය කරයි.

නේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයට අනුව සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මෙම කලාපයේ ආහාර නිෂ්පාදනය අඩාල අතර එහි ජීවත් වන ජීවීන්ගෙන් 40%ක් පමණ මෙම සියවස අග වන විට නැති වී යා හැකිය. එය යළි යථා තත්ත්වයට පත්වීම වසර දහස් ගණනක් ගත විය හැකිය.

“පසුගිය වසර මිලියන කිහිපය තුළ සාගර ජලය ශීතකරණයක් මෙන් ක්‍රියා කිරීමට ප්‍රමාණවත් තරම් සිසිල් වී තිබුණා. එමගින් ආහාර දිගු කාලයක් සංරක්ෂණය වූ අතර ජීවීන්ට හිතකර තත්ත්වයක් නිර්මාණය වුණා. ඒ අනුව යමින් සාගර සන්ධ්‍යා කලාපයේ ජීවීන්ගේ විශාල විවිධත්වයක් වර්ධනය වුණා ” අධ්‍යයනයේ ප්‍රධානියා වන කැතරින් ක්‍රිච්ටන් පැවසුවාය.

“අප විසින් කරන ලද අධ්‍යයනයන්ට අනුව, මීට වසර මිලියන 15 කට පෙර සාගර සන්ධ්‍යා කලාපය ජීවයෙන් තොර වුණත් පසුව එය ජීවයෙන් පොහොසත් කලාපයක් බවට පත් වුණා. නමුත් වත්මන් මිනිස් ක්‍රියාකාරකම් නිසා අපට ඒ සියල්ල අහිමි විය හැකියි. එය විශාල පාඩුවක්” ක්‍රිච්ටන් පැවසුවාය.

“අපි හරිතාගාර වායු විමෝචනය සීඝ්‍රයෙන් අඩු නොකරන්නේ නම්, ඉදිරි වසර 150 ඇතුළත සාගර සන්ධ්‍යා කලාපයේ ජීවය අතුරුදහන් වීමට හෝ වඳ වී යාමට ඉඩ තිබෙනවා. ඉන් පසුව සහස්‍ර ගණනාවක් පුරා පැතිර යන බලපෑම් සිදුවිය හැකියි.”

සාගරය උණුසුම් වීම එහි කාබන් ගබඩා කිරීමේ හැකියාව ද අඩු කරන බව අධ්‍යයනයේ ප්‍රධාන විමර්ශක කාඩිෆ් විශ්ව විද්‍යාලයේ පෝල් පියර්සන් පැවසීය. මෙයට හේතුව “සාගර හිම වල කොටසක් ලෙස පහළට ගිලී යන කාබන්” තවදුරටත් පහළට වැටීම වෙනුවට මතුපිටට ආසන්න ක්ෂුද්‍ර ජීවීන් විසින් ඒවා වැඩිපුර අනුභව කිරීමයි. සාගර හිම අඩුවෙන් ගිලී යාම යනු වේගවත් කාබන් මුදා හැරීමක් ලෙස සැලකිය හැකිය.

“අපි ආපසු හැරවිය නොහැකි ස්ථානයකට පැමිණ ඇති බවක් පෙනෙන්නේ නෑ. අපි හරිතාගාර වායු විමෝචනය පාලනය කළහොත් අපට නරකම දේ වළක්වා ගත හැකියි’’ කැතරින් ක්‍රිච්ටන් පැවසුවාය.

සන්ධ්‍යා සාගර කලාපය අධ්‍යයනය කරන එක්සත් ජාතීන්ගේ වැඩසටහනකට අනුව, ‘’සන්ධ්‍යා කලාපය තුළ සමහරවිට ලෝකයේ විශාලතම සහ අවම වශයෙන් සූරාකෑමට ලක්වූ මාළු තොගය අඩංගු වන අතර ගිලෙන කාබනික ද්‍රව්‍යවලින් 80%ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කරයි”

කැතරින් ක්‍රිච්ටන් පැවසුවේ “සාගර සන්ධ්‍යා කලාපය ගැන අපි තවමත් දන්නේ අල්ප වශයෙන්. නමුත් අතීතයේ සාක්ෂි භාවිතා කිරීමෙන් අනාගතයේ සිදු විය හැකි දේ අපට තේරුම් ගත හැකියි”

ඇයගේ කණ්ඩායමේ සොයාගැනීම් යෝජනා කළේ “සැලකිය යුතු වෙනස්කම් දැනටමත් සිදුවෙමින් පවතිනවා” යන්නයි.

අධ්‍යයනය සන්ධ්‍යා කලාපය සඳහා අනාගත යෝජනා තුනක් ඉදිරිපත් කළේය:

  1. 2010 සිට ටොන් බිලියන 625ක මුළු විමෝචනයකට ඉඩ සලසන අඩු කාබන් දර්ශනයක්‍
  2. ටොන් බිලියන 2,500කට ඉඩ සලසන මධ්‍යස්ථ අවස්ථාවක්
  3. ටොන් බිලියන 5,000කට ඉඩ සලසන ඉහළ අවස්ථාවක්

“අපි මධ්‍යම හෝ ඉහළ තත්වයට ගියහොත් ඒ දෙකම සන්ධ්‍යා කලාපයට ඉතා නරක ආරංචියක්” ක්‍රිච්ටන් පැවසුවාය.

එක්සෙටර් විශ්ව විද්‍යාලයේ නායකත්වයෙන් යුත් ගෝලීය කාබන් අයවැය ඇස්තමේන්තු කළේ 2022 දී මුළු ගෝලීය CO2 විමෝචනය ටොන්  බිලියන 40.6 දක්වා ළඟා වූ බවයි. 2010-22 සිට සෑම වසරකම විමෝචනය ටොන් බිලියන 40කට ආසන්න වී ඇත. එබැවින් අධ්‍යයනයේ අඩු කාබන් තත්වයේ බොහෝ CO2 දැනටමත් විමෝචනය වී ඇත.

https://www.theguardian.com