වීදුරු තිරසාර වන්නේ එය අසීමිත ලෙස ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නිසායයන උපකල්පනය වැරදි ලෙස අර්ථකථනය කර ඇත. එහි සම්පූර්ණ ජීවන චක්‍රය සලකා බලන විට වීදුරු නිෂ්පාදනය ප්ලාස්ටික් හා සමානව පරිසරයට අහිතකර විය හැකිය.

ශතවර්ෂ ගණනාවක් තිස්සේ අපි ආහාර, පාන වර්ග, රසායනික ද්‍රව්‍ය සහ ආලේපන ගබඩා කිරීම සඳහා වීදුරු භාවිතා කර ඇත. නමුත් වඩා තිරසාර විකල්පයක් සොයා ගැනීමට කාලය පැමිණ තිබේද ?

ක්‍රිස්තු වර්ෂ 325 සහ 350 අතර කාලයට අයත් වන Speyer වයින් බෝතලය (මෙය වීදුරු බෝතලයක් විය) ලොව පැරණිතම වයින් බෝතලය ලෙස සැලකේ. 1867 දී නැවත සොයා ගන්නා ලද ජර්මානු Speyer නගයේ වයින් කෞතුකාගාරයේ දැන් එය ප්‍රදර්ශනයට තබා ඇති අතර එහි අන්තර්ගතය විශ්ලේෂණය කිරීමෙන් එහි එතනෝල් පදනම් වූ දියරයක් ඇති බව අනාවරණය විය.

ඉතිහාසය පුරා ගබඩා බඳුනක් ලෙස වීදුරු බහුලව භාවිතා කිරීම ද්‍රව්‍යයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ක්‍රියාකාරීත්වය ඉස්මතු කරයි. වීදුරු යනු ආහාර කල් තබා ගැනීමේ සිට අන්තර්ජාලය බලගන්වන සංඥා රැගෙන යාම දක්වා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයකි. මානව සංවර්ධනයට වීදුරු කෙතරම් අත්‍යවශ්‍යද යත්  සංස්කෘතික හා විද්‍යාත්මක සංවර්ධනය සඳහා එහි දායකත්වය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය 2022 ජාත්‍යන්තර වීදුරු වසර (International Year of Glass) ලෙස නම් කළේය.

වීදුරු සමහර විට එහි ගුණාත්මක භාවයට, සංශුද්ධතාවයට හෝ කල්පැවැත්මට (quality, purity or durability) බලපෑම් නොකර අසීමිත ලෙස ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍යයක් ලෙස හැඳින්වේ. ප්‍රතිචක්‍රීකරණය කරන ලද වීදුරු තලා දිය කර යළි වීදුරු නිපදවීමට භාවිතා කළ හැකිය. අනෙකුත් ඇසුරුම් ද්‍රව්‍ය හා සසඳන විට ඇසුරුම් සඳහා භාවිතා කරන වීදුරු ඉහළ ප්‍රතිචක්‍රීකරණ අනුපාතයක් ඇත. යුරෝපයේ සාමාන්‍ය වීදුරු ප්‍රතිචක්‍රීකරණ අනුපාතය 76% වන අතර ප්ලාස්ටික් ඇසුරුම් සඳහා 41% සහ ලී ඇසුරුම් සඳහා 31% ට සාපේක්ෂව එය ඉතා ඉහළ අගයකි.

වීදුරු ස්වභාවික පරිසරයේ තැබූ විට එය ප්ලාස්ටික් වලට වඩා දූෂණය වීමට ඇති ඉඩකඩ අඩුය. ප්ලාස්ටික් අපගේ පසට හා ජලයට කාන්දු විය හැකි ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට බිඳී යයි. එය විෂ සහිතය. නමුත් වීදුරු විෂ සහිත නොවේ.

වීදුරු ප්‍රධාන වශයෙන් සිලිකා වලින් සෑදී ඇති අතර එය ස්වභාවික ද්‍රව්‍යයකි. සිලිකා ඩයොක්සයිඩ් ලෙසද හැඳින්වෙන සිලිකා පෘථිවි පෘෂ්ඨයෙන් 59% කි. එය ස්වභාවික සංයෝගයක් වන බැවින්, කාන්දු වීම හෝ පාරිසරික හායනය ගැන  චෝදනා නැත. මේ නිසා වීදුරු බොහෝ විට ප්ලාස්ටික් සඳහා වඩා තිරසාර විකල්පයක් ලෙස හුවා දක්වයි.

නිව් ඔර්ලියන්ස් හි පිහිටි Glass Half Full හි සම-නිර්මාතෘ වන ෆ්‍රැන්සිස්කා ට්‍රට්මන් පවසන්නේ වෙරළ ප්‍රතිසංස්කරණය සහ ආපදා සහන සඳහා භාවිතා කළ හැකි වැලි බවට වීදුරු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බවයි.

වීදුරු නිෂ්පාදනය සඳහා විශාල වැලි ප්‍රමාණයක් අවශ්‍ය වේ. එය ශීඝ්‍රයෙන් හැකිලෙන ස්වභාවික සම්පතකි

කෙසේ වෙතත් වීදුරු බෝතල්වල ප්ලාස්ටික්, ඇලුමිනියම් කෑන් ඇතුළු අනෙකුත් බෝතල් කළ බහාලුම් ද්‍රව්‍යවලට වඩා ඉහළ පාරිසරික පියසටහනක් (higher environmental footprint) ඇත. සිලිකා වැලි කැණීම නිසා භූමි පරිහානියේ සිට ජෛව විවිධත්වය අහිමි වීම දක්වා සැලකිය යුතු පාරිසරික හානියක් සිදු විය හැකිය.

ගෝලීය වීදුරු කර්මාන්තයට අවශ්‍ය සිලිකා වැලි සපයන විශාලතම සැපයුම්කරු වන ඉන්දියාවේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සොයාගෙන ඇත. සමහර අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ සිලිකා දූවිලි වලට දිගුකාලීනව නිරාවරණය වීමෙන් මහජන සෞඛ්‍ය අවදානමක් ඇති අතර එය උග්‍ර සිලිකේසියාවට (silicosis)  හේතු විය හැකි බවයි. දිගු කාලයක් පුරා සිලිකා දූවිලි ආශ්වාස කිරීම නිසා ඇතිවන ආපසු හැරවිය නොහැකි, දිගු කාලීන පෙනහළු රෝගයකි. සිලිකොසිස් ප්‍රථම වරට නොනවතින කැස්සක් හෝ හුස්ම හිරවීමක් ලෙස දිස්විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්වසන අපහසුතා ඇති විය හැකිය.

වීදුරු නිෂ්පාදනය සඳහා වැලි නිස්සාරණය කිරීම වර්තමාන ගෝලීය වැලි හිඟයට ද හේතු වී ඇත. වැලි යනු ජලයෙන් පසු ලෝකයේ වැඩිපුරම භාවිතා වන දෙවන සම්පතයි. මිනිසුන් සෑම වසරකම වැලි සහ බොරළු ටොන් බිලියන 50ක් පමණ භාවිතා කරයි. එහි භාවිතය ඉඩම් පිරවීමේ (ප්‍රතිජනනයේ) සිට මයික්‍රොචිප් දක්වා පරාසයක පවතී. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වැලි නැවත නිර්මාණය වීමට වඩා වේගයෙන් භාවිතා වේ .

වීදුරු නිෂ්පාදනයට ප්ලාස්ටික් සහ ඇලුමිනියම් නිෂ්පාදනයට වඩා වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වන බව එක්සත් රාජධානියේ සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂක ඇලිස් බ්‍රොක් පවසයි. වර්ජින් වීදුරු සෑදීම සඳහා අමුද්‍රව්‍ය ද්‍රවාංක ක්‍රියාවලියේදී හරිතාගාර වායූන් මුදාහරින අතර එහි පාරිසරික පියසටහනට එකතු වේ. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව වීදුරු කර්මාන්ත වලින් වසරකට CO2 මෙගා ටොන් 60කට වඩා විමෝචනය වේ. එය පුදුමයට කරුණක් විය හැකි නමුත්, බ්‍රෝක්ගේ අධ්‍යයනයෙන් හෙළි වූයේ ප්ලාස්ටික් බෝතල් වීදුරු බෝතල්වලට වඩා පරිසර හානිය අඩු බවයි. ප්ලාස්ටික් නිමක් නැතිව ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වුවද, වීදුරු සමඟ සසඳන විට ප්ලාස්ටික් සඳහා අඩු ද්‍රවාංකයක් ඇති බැවින් නිෂ්පාදන ක්‍රියාවලිය අඩු බලශක්ති පරිභෝජනයකි.

වීදුරු නිෂ්පාදන පහසුකම් බොහෝ විට අමුද්‍රව්‍ය මිශ්‍රණයට ප්‍රතිචක්‍රීකරණය කරන ලද වීදුරු කැබලි වලින් (glass cullets) කොටසක් එකතු කරයි. සාමාන්‍යයෙන් බහාලුම් වීදුරු (container glass) දියවන මිශ්‍රණයට වීදුරු කැබලි 10% කින් වැඩි කිරීමෙන් බලශක්ති පරිභෝජනය 2-3% කින් අඩු කළ හැකිය. මෙයට හේතුව වීදුරු නිෂ්පාදනය සඳහා භාවිතා කරන වර්ජින් ද්‍රව්‍ය හා සසඳන විට වීදුරු කැබලි උණු කිරීම සඳහා අඩු ද්‍රවාංකයක් අවශ්‍ය වීමයි. අනෙක් අතට, මෙය නිෂ්පාදනයේදී නිපදවන CO2 විමෝචනය තරමක් අඩු කරයි.

වීදුරු ප්‍රතිචක්‍රීකරණයේ ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ වීදුරු නිෂ්පාදනයේ වඩාත්ම ශක්තිජනක කොටස වන නැවත උණු කිරීමේ ක්‍රියාවලි (remelting processය) මුලිනුපුටා නොදැමීමයි. එය නිෂ්පාදනයේදී බලශක්ති පරිභෝජනයෙන් 75% ක් වේ. වීදුරු බහාලුම් සාමාන්‍යයෙන් 12-20 වාරයක් නැවත භාවිතා කළ හැකි වුවද, වීදුරු බොහෝ විට තනි භාවිතයක් ලෙස සලකනු ලැබේ. කසළ ගොඩකිරීම්වලින් බැහැර කරන තනි භාවිත වීදුරු දිරාපත් වීමට වසර මිලියනයක් පමණ ගත විය හැකිය. වීදුරු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ අනුපාත ලොව පුරා සැලකිය යුතු ලෙස වෙනස් වේ. EU සහ UK හි සාමාන්‍ය ප්‍රතිචක්‍රීකරණ අනුපාතය 74% සහ 76% වන අතර එක්සත් ජනපදයේ අගය 2018 දී 31.3% විය.

ගුණාත්මකභාවය සහ කල්පැවැත්ම හීන නොවී නිමක් නැතිව වීදුරු ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය

එක්සත් ජනපදයේ අඩු  සංඛ්‍යා සඳහා එක් හේතුවක් නම්, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය සාමාන්‍යයෙන් “තනි ප්‍රවාහයක් / single stream” තුළ රැස් කිරීමයි. එනම් සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍ර වීමයි. තනි ප්‍රවාහ ප්‍රතිචක්‍රීකරණය (Single-stream recycling) බොහෝ විට වර්ග කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරයි. මන්ද වීදුරු නැවත උණු කිරීමට පෙර වෙනත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍යවලින් වෙන් කර වර්ණ අනුව වර්ග කළ යුතුය. බොහෝ විට ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක මිශ්‍ර වර්ණ වීදුරු වෙන් කිරීම සඳහා බොහෝ කාලයක් ගත වන අතර එබැවින් එය මිල අධික වේ. අලුත් බෝතල් බවට පත් කරනවා වෙනුවට කැඩුණු මිශ්‍ර වීදුරු කැබලි පරිවරණය සඳහා භාවිත කළ හැකි වීදුරු කෙඳි නිෂ්පාදන බවට පත් කිරීම සිදුවේ. ආරම්භයේ සිටම වෙනත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍යවලින් වෙන් කළ විට වීදුරු කැබලි ඉහළම ගුණාත්මක භාවයට පත්වේ. මෙය බහු-ධාරා ප්‍රතිචක්‍රීකරණය (multi-stream recycling) ලෙස හැඳින්වේ.

වීදුරු වල වර්ණය ප්‍රවාහය කෙතරම් පිරිසිදු විය යුතුද යන්න කෙරෙහි බලපායි. හරිත වීදුරු ප්‍රතිචක්‍රීකරණය කළ වීදුරුවලින් 95%ක් භාවිත කළ හැකි අතර,  සුදු හෝ අවර්ණ වීදුරු “දෘශ්‍ය වීදුරු / flint glass” ලෙස ද හැඳින්වේ. (ෆ්ලින්ට් වීදුරු යනු කාච සහ ප්‍රිස්ම සෑදීමට භාවිතා කරන ඉහළ වර්තන ඊයම් අඩංගු වීදුරුවකි. එය බොහෝ පාරජම්බුල කිරණ අවශෝෂණය කරන නමුත් සාපේක්ෂව අඩු දෘශ්‍ය ආලෝකය නිසා එය දුරේක්ෂ කාච සඳහා ද භාවිතා වේ)

ප්‍රතිචක්‍රීකරණය කරන ලද වීදුරුව දෙවරක් උණු කළ යුතුය. එක් වරක් කැබලි බවට පත් කර නැවත නව නිෂ්පාදනයක් බවට පත් කළ යුතුය. ප්‍රතිචක්‍රීකරණය කරන ලද වීදුරු වර්ජින් වීදුරුවලට (virgin glass) වඩා  ශක්තියෙන් අඩු වන්නේ මෙනිසාය.

වීදුරු තවමත් බොහෝ කර්මාන්තවල වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවට සැකයක් නැත. එහි කල්පැවැත්ම සහ විෂ නොවන ගුණාංග නිසා එය කල් තබා ගැනීමට අවශ්‍ය ආහාර සහ ද්‍රව්‍ය සඳහා වඩාත් සුදුසු වේ. කෙසේ වෙතත් වීදුරු තිරසාර වන්නේ ‘එය අසීමිත ලෙස ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නිසාය‘ යන උපකල්පනය වැරදි ලෙස අර්ථකථනය කර ඇත. එහි සම්පූර්ණ ජීවන චක්‍රය සලකා බලන විට වීදුරු නිෂ්පාදනය ප්ලාස්ටික් හා සමානව පරිසරයට අහිතකර විය හැකිය.

මීළඟ වතාවේ ඔබට වීදුරු බෝතලයක් ඉවත දැමීමට අවශ්‍ය වූ විට එය මුලින්ම නැවත භාවිත කිරීම ගැන සලකා බලන්න. වීදුරු යනු ඔරොත්තු දෙන (resilient) දිගු කල් පවතින ද්‍රව්‍යයක් වන අතර එය එක් වරක් පමණක් භාවිතා කිරීමෙන් පසු ඉවත දැමීමට අවශ්‍ය නොවේ.

https://www.bbc.com/