බෙල්ජියමේ Zeebrugge හි ද්‍රව ස්වාභාවික වායු (LNG) පර්යන්තයකට අනවසරයෙන් ඇතුළු වූ ග්‍රීන්පීස් / Greenpeace ක්‍රියාකාරීන් 14 දෙනෙකු පැය 48 කට වැඩි කාලයක් රඳවා තබා ගෙන ඇත. ග්‍රීන්පීස් සංවිධානයේ බෙල්ජියම් කාර්යාලය කියා සිටියේ ඔවුන් නිදහස් කිරීමට කටයුතු කරන බවයි.

ග්‍රීන්පීස් හි බෙල්ජියම් අධ්‍යක්ෂ Valerie Del Re පැවසුවේ “ අපරාධරුවන් අපේ ක්‍රියාකාරීන් නොව Fluxys වැනි ගෑස් සමාගම්’’ බවයි.

“ඔවුන් නව ෆොසිල වායු යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම දිගටම කරගෙන යනවා. එය මානව හිමිකම් සඳහා සහ දේශගුණය සඳහා ව්‍යසනයක්. පරිසර ක්‍රියාකාරීන් මෙතරම් කාලයක් රඳවා තබා ගන්නේ ඇයිද යන්න තේරුම් ගත නොහැකියි’’

පසුගිය සෙනසුරාදා (29) උදෑසන, ඔස්ට්‍රියාව, බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානියේ ග්‍රීන්පීස් ක්‍රියාකාරීන් බෙල්ජියමේ LNG ප්‍රවාහන සමාගමක් වන Fluxys විසින් මෙහෙයවනු ලබන පර්යන්තයට අනවසරයෙන් ඇතුළු වූහ.

ඔවුන් එල්එන්ජී ටැංකි පැටවීම සහ බෑම සඳහා භාවිතා කරන පොම්ප මතට නැඟී “Gas kills” යන බැනර් එල්ලා තැබූ අතර අනෙක් අය වායු බෝට්ටුවල සිට විරෝධතා සටහන් පාඨ සහිත බැනර් ප්‍රදර්ශනය කළහ. ඔවුහු පොලිසිය විසින් ඉවත් කිරීමට පෙර පැය හයක් එහි වාඩිලාගෙන සිටියහ.

Valerie Del Re තවදුරටත් මෙසේ පැවසීය: “අපි ක්‍රියාකාරීන් සැමවිටම කටයුතු කරන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට හානියක් නොවන ලෙසයි. ඒවා අප සැමට තර්ජනයක් වන ප්‍රතිවිරෝධී භාවිතයන් සඳහා නීත්‍යානුකූල මාධ්‍යයක්. අපගේ ක්‍රියාකාරීන්ගේ ධෛර්යයට අපි ප්‍රශංසා කරන අතර මෙම දුෂ්කර කාලවලදී ඔවුන්ට උපකාර කිරීමට අපි හැකි සෑම දෙයක්ම කරන්නෙමු’’

ග්‍රීන්පීස් සංවිධානය පැවසුවේ මෙම ක්‍රියාව එක්සත් ජනපදයෙන් යුරෝපයට LNG ආනයනය විශාල ලෙස ඉහළ යාමේ දී ෆ්ලක්ස් වැනි ගෑස් සමාගම්වල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් බවයි.

විරෝධතාකරුවන් කියා සිටියේ සියලුම නව ගෑස් යටිතල පහසුකම් නවතා දමන ලෙසත් 2035 වන විට ගෑස් ඉවත් කිරීමේ යුරෝපීය සැලැස්මක් ඉල්ලා සිටින බවයි.

ග්‍රීන්පීස් විසින් කරන ලද පර්යේෂණයකට අනුව, යුක්‍රේනයේ යුද්ධයේ ආරම්භයේ සිට යුරෝපය 2022 දී එක්සත් ජනපදයෙන් LNG ආනයනය 140% කින් වැඩි කළේය. යුරෝපීය සංගමයේ නව LNG පර්යන්ත අටක් ඉදිවෙමින් පවතින අතර තවත් 38ක් සඳහා සැලසුම් සලකා බලමින් පවතින බව ද ග්‍රීන්පීස් පවසයි.

ග්‍රීන්පීස් සංවිධානයේ නවතම විරෝධතාවය පැමිණෙන්නේ දේශගුණ ක්‍රියාකාරී කණ්ඩායම් යුරෝපය පුරා මාර්ග බාධක විරෝධතා පවත්වමින් සිටින අතරතුරයි. Just Stop Oil sister groups ඇතුළු විරෝධතාවල නිරත සියලුම කණ්ඩායම්වලට Climate Emergency Fund විසින් අරමුදල් සපයනු ලැබේ. එය මේ වන විට රටවල් 11ක ක්‍රියාත්මක වේ.