වත්මන් ක්‍රියාකාරීත්වය අනුව මුළු ඕස්ට්‍රේලියාවම උණුසුම් හා වියළීමට නියමිතයි. උෂ්ණත්වය අංශක කිහිපයකින් ඉහළ යාම  විශාල ලෙස නොසළකා හරින නමුත් එය ව්‍යසනකාරී විය හැකියි’’

2008 දී, බ්‍රවුන් පවුල වික්ටෝරියානු ගම්බද ප්‍රදේශ හරහා විනාශකාරී ලැව්ගිනි පැතිර යන විට අසරණව බලා සිටියේය. ඔවුන්ට එය අවදි කිරීමේ ඇමතුමක් / wakeup call විය. ඔවුන්ගේ පවුලේ පරම්පරා පහක් සියවසක් පුරා ආදරය හා ජීවිතය පවත්වා ගෙන ගිය මිදි වතු අසලට වසර කිහිපයක් තුළ ලැව්ගිනි පැමිණි තෙවැනි අවස්ථාව එය විය.

උණුසුම් දින, අඩුවන වර්ෂාපතනය සහ පසුව ඇති වූ නියඟය ඔවුන් වෙතට පැමිණ ඇත. නමුත් මෙය ඔවුන්ට නොසලකා හැරිය නොහැකි ප්‍රබල අනතුරු ඇඟවීමේ ලකුණක් විය.

දේශගුණික විපර්යාස / climate change පවුලේ ව්‍යාපාරවල “විශාලතම තර්ජනය” බවට පත්ව ඇති බව කැරොලයින් බ්‍රවුන් පවසයි. එය ඕස්ට්‍රේලියාවේ පැරණිතම වයින් සන්නාමයකට හිමිකම් කියන බ්‍රවුන්ස් පවුලට සීමා වූ ගැටලුවක් නොවේ.

ඕස්ට්‍රේලියාව ලෝකයේ පස්වන විශාලතම වයින් අපනයනකරු වන අතර අනෙකුත් බොහෝ රටවලට සිහිනයෙන් පමණක් දැකිය හැකි විවිධාකාර වයින් වර්ග රැසකට එය නිවහන වේ. දේශගුණික විපර්යාස ලොව පුරා වයින් නිෂ්පාදකයින්ට තර්ජනයක් වන අතර, ඕස්ට්‍රේලියාවේ වයින්  කර්මාන්තය මෙහිදී ඉදිරි පෙළේ සිටී.

උණුසුම් වීම සහ වියළීමේ ප්‍රවණතාවක්

Ashley Ratcliff ගේ මිදි වතු දැනටමත් පෘථිවියේ උණුසුම්ම සහ වියළිම වයින් කලාපයක පවතී. දකුණු ඕස්ට්‍රේලියාවේ රිවර්ලන්ඩ් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ මිදි වතුවලට පසුගිය වසරේදී වර්ෂාපතනය ලැබුණේ 90mm පමණි.

“එම ඍතුව උණුසුම් වුණා. සියල්ල අපිරිසිදු දූවිලි වලින් වැසී ගියා. ඉන්පසු අනෙක් ඍතුවේදී සැබවින්ම තෙත් වසරක් ලැබුණා. ඉදිරියේදී එය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි මම සිතනවා’’ Ashley Ratcliff පැවසුවේය.

ඕස්ට්‍රේලියානු පර්යේෂකයන්ගේ ආකෘති නිර්මාණයට අනුව ඉදිරි වසර 20 තුළ රිවර්ලන්ඩ් සෙල්සියස් අංශක 1.3ක් පමණ උණුසුම් වන අතර වර්ෂාපතනය පහත වැටෙනු ඇත. ඒ සමඟම ඕස්ට්‍රේලියාවේ දැනටමත් ආසන්න නියතයක් වන තවත් ආන්තික කාලගුණික සිදුවීම් ද පැමිණෙනු ඇත.

වසර ගණනාවක වාර්තාගත ගංවතුරෙන් පසු රට තවමත් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. නමුත් එල්නිනෝ ගිම්හානයක් ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට වියළි හා උණුසුම් තත්වයන් ගෙන ඒමට ඉඩ ඇති බැවින් එළඹෙන ලැව්ගිනි සමයට පෙර භීතිය වර්ධනය වෙමින් පවතී.

වයින් සඳහා එයින් අදහස් කරන්නේ කුමක්ද?

මිදි වැල “ලෝකයේ වටිනාම වල් පැලෑටි වලින් එකක්” ලෙස විස්තර කර ඇති අතර ඕනෑම තැනක පාහේ වර්ධනය වීමට හැකියාව ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් දැනටමත් මිදිවල රසය හා ගුණාත්මකභාවය අවුල් වී ඇත. තාපය මිදි ඉදීමේ වේගයට බලපාන අතර ඒ සමඟම ඒවායේ සීනි සහ ආම්ලිකතා මට්ටම් වලට ද බලපායි. දැනටමත් මිදි වැඩෙන සමය ඉදිරියට ගොස් ඇත. (සමහර ස්ථානවල සති ගණන්) එය සැපයුම් සහ යටිතල පහසුකම් වලට ද බලපායි.

ඉන්පසුව දේශගුණික විපර්යාස මගින් මෙහෙයවනු ලබන ආන්තික කාලගුණික සිදුවීම්වල බලපෑම පැමිණෙන අතර ඒවායේ නරකම අවස්ථාවෙහිදී මුළු කන්නයේම බෝග අතුගා දැමිය හැකිය. මේ සියල්ලෙන් අදහස් කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඇතැම් වයින් මිදි වගා කිරීම (Sauvignon Blanc, Chardonnay සහ Pinot Noir වැනි සිසිල් දේශගුණයට සුදුසු ඒවා) වඩාත් දුෂ්කර වනු ඇති බවය.

අනුවර්තනය ප්‍රධාන වේ

රැට්ක්ලිෆ්වරු 2003 දී ඔවුන්ගේ මිදි වතු මිලදී ගත් විට උණුසුම් දේශගුණයට වඩාත් ගැලපෙන “විකල්ප” වර්ග සිටුවීමට උපායශීලීව තීරණය කළහ. අඩු ප්‍රසිද්ධ මිදි විකිණීමට වඩා දේශගුණික විපර්යාස නිසා ඇති වන අවදානම වැඩි බව ඔවුහු සැලකූහ.

‘’දශක දෙකකට පසු එයම කිරීමට නොසිතන ඕනෑම අයෙකු මාව විහිළුවට ලක් කරාවි. මම සිතන්නේ නැවත සන්නාමය කිරීමට සහ කර්මාන්තය සැබවින්ම උද්යෝගිමත් කිරීමට දේශගුණික විපර්යාස ඍණාත්මක ලෙස නොව ධනාත්මක ලෙස භාවිතා කිරීමට අවස්ථාවක් ඇති බවයි” රැට්ක්ලිෆ් මහතා පවසයි.

මිදි වඩාත් දැඩි වන අතර බොහෝ විට පරිසරයට හිතකර වන අතර ජල භාවිතය අඩුය.

බ්‍රවුන් පවුල ද ඔස්ට්‍රේලියාවේ විද්‍යා ඒජන්සිය සහ ඔවුන් විසින් නිර්මාණය කරන ලද විකල්ප ප්‍රභේද වගා කරයි. නමුත් වර්තමාන ප්‍රියතම වර්ග සජීවීව තබා ගැනීමට ඔවුන් දකුණ දිග වගාබිම් වෙත අවධානය යොමුකර ඇත. දේශගුණික විපර්යාස මනසේ තබාගෙන ඔවුන් ටස්මේනියාව වැනි සිසිල් ස්ථානවල මිදි වතු අතහැර දැමීමට පටන් ගත්හ. (එය කර්මාන්තය පුරා වර්ධනය වන ප්‍රවණතාවකි)

“අපේ සියලුම මිදි වතු වික්ටෝරියා ප්‍රාන්තයේ එක ස්ථානයක තිබීමෙන් අදහස් කළේ අපේ බිත්තර සියල්ලම එක කූඩයක තිබූ බවයි” බ්‍රවුන් මහත්මිය පවසයි.

නමුත් Tahbilk Winery හි Hayley Purbrick යනු දේශගුණික ආකෘතිකරණයට මුහුණදී තිබියදීත් එහිම රැඳී සිටින එක් වගාකරුවෙකි.

“අපගේ වගකීම වන්නේ මිදි වැවිය හැකි දේශගුණයක් නිර්මාණය කිරීම බව මගේ අදහසයි” ඇය පවසන්නීය. “ඔබට ප්‍රාදේශීය මට්ටමින් බොහෝ දේ කළ හැකියි. සමහර විට අපි [ගෝලීය පරිමාණයෙන් දේශගුණික විපර්යාස ගැන] ඒ ගැන සිතන විට අපට නොකළ හැකි දේට වඩා කළ හැකි දේ විශාලයි” ඇය පවසයි.

Tahbilk වයින් නිෂ්පාදනාගාරයේ ගුවන් දර්ශනය – මෙම මිදි වතු 1925 සිට පර්බ්‍රික් මහත්මියගේ පවුල තුළ පවතී.

Goulburn නිම්නයේ ඇගේ පවුලේ මිදි වතුවල හැකි තරම් සෙවන සහ “ස්වාභාවික සිසිලනකාරක / natural coolants” ඇතුළත් වේ. ඒවා තෙත් බිම් අද්දර සිටුවනු ලබන අතර හෙක්ටයාර 160 ක ගස් වලින් වටවී ඇත.

ඔවුන් සූර්ය බලශක්තිය, වායු සමීකරණයේ අවශ්‍යතාවය සීමා කිරීමට තාප පරාවර්තක තීන්ත / heat reflective paintභාවිතා කිරීම සහ අපද්‍රව්‍ය අවම කිරීම වැනි දේ හරහා ඔවුන්ගේ කාබන් විමෝචනය ශුද්ධ ශුන්‍යයට අඩු කර ඇත. එය මෙතෙක් ක්‍රියාත්මක වෙමින් පවතී.

“කිලෝමීටර තුනක් දුරින් පිහිටි ස්ථානවලට වඩා මෙය අංශක තුනක් සිසිල් වීම නිසා අපි වාසනාවන්තයි.”

නමුත් පර්යේෂක Tom Remenyi පවසන්නේ අනුවර්තනය වීම සහ අවම කිරීම වගාකරුවන්ට කළ හැකි යහපත්ම ක්‍රියාව බවයි.

‘’වත්මන් ක්‍රියාකාරීත්වය අනුව මුළු ඕස්ට්‍රේලියාවම උණුසුම් හා වියළීමට නියමිතයි. උෂ්ණත්වය අංශක කිහිපයකින් ඉහළ යාම  විශාල ලෙස නොසළකා හරින නමුත් එය ව්‍යසනකාරී විය හැකියි’’ ඔහු පවසයි.

” සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනක ඉහළ යාමක් අතිශය උණුසුම් දින ගණන දස ගුණයකින් පමණ වැඩි කරයි. පෘථිවියම අංශක තුනකට වඩා උණුසුම් වුවහොත්, වයින් වගා කිරීම ගැන අප කනස්සල්ලට පත් නොවනු ඇත” Tom Remenyi පවසයි.

උපේක්ෂා සහගතයි

කැරොලයින් බ්‍රවුන් වැනි වගාකරුවන්ගේ කණස්සල්ලට හේතු වන්නේ එයයි. පවුලේ ව්‍යාපාරය පවුලේ ඉතිහාසය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත. ඇය සිය ළමා කාලය ගත කළේ මිලාවාහි මිදි වතු අතර තම ඥාති සොහොයුරියන් සමඟ සෙල්ලම් කරමින්ය. දැන් ඒ හැමෝම මෙම ව්‍යාපාරයට එක්ව ඇත. ඊළඟ පරම්පරාවටද එයම අවශ්‍ය වේ.

“අපි පවුල ගැන ගොඩක් උනන්දුයි. අපේ සීයා ව්‍යාපාරය පටන් ගත්තා… අපි කැමති දවසක අපේ මී මුණුබුරන් අපි ඉන්න වාසනාවන්ත තත්ත්‍වයේ ඉන්නවට” ඇය උපේක්ෂා සහගතව පවසයි.

එහෙත් දේශගුණික විපර්යාස ඊට තර්ජනයක් වන බව ඇය හොඳින් දනී.

“අපි මිදි වවන්නේ කොතැනද කියා අපි සොයා බැලුවේ නැත්නම් අනාගතයේදී ඒවා සිටුවන්න ක්‍රමයක් නැති වෙනවා. ඒ නිසා ඒක බයයි,” ඇය පවසන්නීය.

‘’නමුත් රටේ ප්‍රියතම ප්‍රභේදවලින් / country’s favorite varieties ඉතා ස්වල්පයක් තිබේ නම් එයට කොතැනක හෝ වර්ධනය වීමට නොහැකි වනු ඇත’’ඇය තර්ක කරයි.

“ඔබට සෑම විටම ඕස්ට්‍රේලියාවේ මිදි වගා කිරීමට හැකි වනු ඇත.  නමුත් ඉදිරි වසරවලදී එය එතරම් රසවත් නොවනු ඇත.” ඇය පවසයි.

https://www.bbc.co.uk/news/world-australia-62489056