ඕස්ට්‍රේලියානු ඇල්ප්ස් කඳුකරයේ වල් අශ්වයන් (Feral horses) රජයේ ශුන්‍ය වඳවීමේ ඉලක්කයට (zero extinctions target) තර්ජනයක් එල්ල කරන බව විශේෂඥ කමිටුවක් පාර්ලිමේන්තු පරීක්ෂණයකදී ප්‍රකාශ කර තිබේ.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳව රජයට උපදෙස් දෙන විශේෂඥ කමිටුවක් වන ‘තර්ජනයට ලක් වූ විශේෂ විද්‍යාත්මක කමිටුව‘ (Threatened species scientific committee – TSSC) පවසන්නේ බරපතළ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂ හයක සහ අවම වශයෙන් බරපතළ ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ දෙකක ‘වඳ වී යාමට හේතු වන තීරණාත්මක සාධකය වල් අශ්වයන් විය හැකි” බවයි.

සංවේදී ඇල්පයින් පරිසර පද්ධතීන්ට වල් අශ්වයන් විසින් සිදු කරන හානිය පරීක්ෂා කිරීමෙන් පසු නිකුත් කළ වාර්තාවක මෙම අනතුරු ඇඟවීම ගැන සඳහන් වේ.

“ඇල්ප්ස් කඳුකරයේ ශාක හා සතුන්ගේ නව වඳවීම් වැළැක්වීමට ආසන්න තර්ජනයක් වල් අශ්වයන් විසින් එල්ල කරයි” යනුවෙන් වාර්තාවේ දැඩිව අවධාරණය කර ඇත.

ඕස්ට්‍රේලියාවේ පරිසර පරිහානියට පිළියම් යෙදීම සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද තර්ජනයට ලක් වූ විශේෂ උපාය මාර්ගයක කොටසක් ලෙස අගමැති Anthony Albanese විසින් නායකත්වය දෙන ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය පසුගිය වසරේ නව වඳවී යාමේ ඉලක්කයක් ප්‍රකාශයට පත් කළේය.

කොස්කියුස්කෝ ජාතික වනෝද්‍යානය (Kosciuszko national park) ඇතුළු නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ඕස්ට්‍රේලියානු අගනුවර ප්‍රදේශයේ ඇල්පයින් කඳුකරයේ වල් අශ්වයන් ප්‍රධාන තර්ජනයකි.

වල් අශ්වයින් තණබිම්, වෘක්ෂලතා සහ සතුන්ගේ වාසස්ථාන පාගා දැමීම සහ ජල මාර්ග වලට හානි කිරීමෙන් දේශීය ශාක හා සතුන්ට තර්ජන එල්ල කරයි.

TSSC ඉදිරිපත් කිරීම පවසන්නේ අශ්වයන් සත්ත්ව විශේෂ 12කට තර්ජනයක් වන බවයි. ගෙබි විශේෂ තුනක්, මාළු විශේෂ හතරක්, උරග විශේෂ හතරක් සහ එක් ක්ෂීරපායී විශේෂයක් මේ අතර වේ. ඉන් විශේෂ හයක් බරපතළ ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

“වල් අශ්වයින් විසින් කරන මේ හානිය අප බැරෑරුම් ලෙස නොසලකන්නේ නම් ඔවුන් සමස්ත පරිසර පද්ධතියම දැඩි අවදානමකට ලක් කරනු ඇත” TSSC හි සාමාජික සහ වාර්තාවේ කතුවරයා වන මහාචාර්ය ක්‍රිස් ජොන්සන් පැවසීය.

“අපිට පසුතැවිලි වෙමින් වඳවී යාමේ උණුසුම් ස්ථාන ඇති සිතියම දෙස බලා සිටිය හැකියි. එය සිදුවීම නැවැත්වීමට අපට හදිසි කළමනාකරණ ක්‍රියාමාර්ග අවශ්‍යයි.” මහාචාර්ය ක්‍රිස් ජොන්සන් අවධාරණය කරයි.

 

බලපෑමට ලක් වූ විශේෂ අතර දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති Stocky Galaxias නම් මත්ස්‍ය විශේෂය ද ඇතුළත් වේ. මෙම විශේෂය දැන් වල් අශ්වයන් බහුලව සිටින ප්‍රදේශයක් වන Tantangara Creek කුඩා කොටසකට පමණක් සීමා වී සිටින බව පර්යේෂණ වාර්තාව සටහන් කරයි.

දැඩි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ගෙබි විශේෂ අතර southern and northern Corroboree frogs (ගෙම්බන්) විශේෂ දෙක ද ලයිස්තු ගත කර ඇත.

අවදානමට ලක්විය හැකි ලෙස ලැයිස්තුගත කර ඇති තවත් විශේෂයක් වන පුළුල් දත් සහිත මීයා ද වල් අශ්වයන්ගේ බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර ඔවුන්ගේ සංරක්‍ෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සලකා බලන ලෙස වාර්තාව මගින් ඉල්ලා ඇත.

ප්‍රාන්ත ආණ්ඩු විසින් කරන ලද සමීක්ෂණවලින් පෙනී යන්නේ වල් අශ්වයන් සංඛ්‍යාව වැඩි වන බවයි. පසුගිය නිව් සවුත් වේල්ස් රජය වල් අශ්වයන් සංඛ්‍යාව අඩු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් විය.