මොරොක්කෝවට සූර්ය හා සුළං බලාගාර මගින් නිපදවන විදුලිය යුරෝපයට අපනයනය කිරීමට විශාල අභිලාෂයන් ඇත. නමුත් ඔවුන් තම දේශීය වෙළඳපොළ සඳහා පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛත්වය ලබා දිය යුතුද?

මොරොක්කෝවේ බලශක්ති ව්‍යවසායකයෙකු වන මවුන්ඩිර් ස්නිබර්  (Moundir Zniber) පවසන්නේ “මොරොක්කෝව සතු සූර්ය සහ සුළං සම්පත් පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් වන යුරෝපීය ඉල්ලුමට ප්‍රබල පිළිතුරක් විය හැකියි. මම හිතන්නේ යුරෝපය රුසියානු ගෑස් මත රඳා පැවැත්මෙන් ඉවත් කිරීමට හොඳම අවස්ථාව මොරොක්කෝව සතු  බවයි” ඔහු පවසයි.

මවුන්ඩිර් ස්නිබර් මහතා පසුගිය වසර 15ක පමණ කාලයක සිට මොරොක්කෝව ඇතුළු අප්‍රිකානු මහද්වීපයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ භූමිකාවක් ඉටුකරයි. ඔහුගේ Gaia Energy සමාගම (ඔහුගේ මව් රට වන) මොරොක්කෝවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තළ විප්ලවයක් කළේය. ඒ සමග ඔහු එම කර්මාන්තය තුළ නායකයෙකු බවට පත්ව ඇත.

“මොරොක්කෝව සැබවින්ම ලෝකයේ හොඳම සූර්ය හා සුළං සම්පත් ඒකාබද්ධ කර තිබෙනවා. අපට තෙල් නැහැ, අපට ස්වාභාවික වායු නැහැ. නමුත් අපට පුදුමාකාර විභවයක් තිබෙනවා. ඒ තමයි සූර්ය සහ සුළං බලය” ඔහු පෙන්වා දෙයි.

යුක්රේනයේ යුද්ධය නව පිරිසිදු බලශක්ති ප්‍රභවයන් සමඟ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ උත්සාහයන් වැඩි කිරීමට යුරෝපයේ දේශපාලනඥයන්ට උත්ප්‍රේරකයක් ලබා දී ඇත. යුරෝපයේ දොරකඩ පිහිටි දැවැන්ත රටක් වන මොරොක්කෝව මෙම විසඳුමේ කොටසක් වීමට බලාපොරොත්තු වේ.

2030 වන විට මොරොක්කෝවේ විදුලියෙන් 52%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමට අභිලාෂකාමී සැලසුම් ඔවුන් සතුව ඇත. මෙම විදුලියෙන් විශාල ප්‍රමාණයක් මුහුද යට කේබල් හරහා යුරෝපයට අපනයනය කිරීමට බලාපොරොත්තු වේ.

නමුත් මේ වන විට මොරොක්කෝවට තවත් සූර්ය හා සුළං බලාගාර ඉදිකිරීමට සිදු වී තිබේ. මිලියන 39ක ජනගහනයක් සිටින මොරොක්කෝව තම බලශක්ති අවශ්‍යතාවයෙන් 90% ක් සඳහා ආනයන මත රඳා පවතින අතර එයින් වැඩි ප්‍රමාණයක් ෆොසිල ඉන්ධන වලින් ජනනය කෙරේ.

2021 දී මොරොක්කෝවේ විදුලි නිෂ්පාදනයෙන් 80.5%ක් පමණ පැමිණියේ ගල් අඟුරු, ගෑස් සහ තෙල් දහනය කිරීමෙනි. මීට සමගාමීව සුළං බලයෙන් 12.4%ක් සහ සූර්ය බලයෙන් 4.4%ක් ජනනය කරනු ලැබිණි.

Moundir Zniberගේ සමාගම වන Gaia Energy අප්‍රිකාව පුරා රටවල් 12ක සුළං, සූර්ය සහ හරිත හයිඩ්‍රජන් බල ව්‍යාපෘති සංවර්ධනය කරයි.

කෙසේ වෙතත්, දැවැන්ත Noor-Ouarzazate Solar Complex වැනි ව්‍යාපෘතිවලට ස්තූතිවන්ත වෙමින් මොරොක්කෝව දැනටමත් එහි පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඉහළ නැංවීම සඳහා යම් ප්‍රගතියක් ලබා ඇත. 2016 දී පළමු අදියර විවෘත කිරීමත් සමඟ Noor-Ouarzazate Solar Complex දැන් ලොව විශාලතම සූර්ය බලාගාරය වේ.

Noor-Ouarzazate හි දර්පණ දැන් හෙක්ටයාර 3,000ක්  පුරා පැතිර ඇත. මෙය සෞදි අරාබියේ ACWA පවර් විසින් සංවර්ධනය කරන ලද අතර, ලෝක බැංකුවෙන් සහ යුරෝපීය ආයෝජන බැංකුවෙන් ද අරමුදල් ලැබී තිබේ.

Zniber මහතා පවසන්නේ ඔහු වැනි පුද්ගලික මොරොක්කෝ සමාගම් දැන් පුනර්ජනනීය බලශක්තියෙන් නිෂ්පාදනය කරන ලද හරිත හයිඩ්‍රජන් යුරෝපයට අපනයනය කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.

Gaia Energy විසින් ජර්මනියේ සහ ඉතාලියේ විදුලි අවශ්‍යතාවයෙන් 4%ක් දක්වා සපුරාලිය හැකි සුළං සහ සූර්ය බලාගාර යෝජනා ක්‍රම සංවර්ධනය කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පවසයි. හරිත හයිඩ්‍රජන් සම්බන්ධයෙන් ගත් කල, යුරෝපා සංගමයේ අවශ්‍යතාවලින් 25%ක් සපුරාලිය හැකි ව්‍යාපෘති හයක් Gaia Energy සමාගම විසින් සංවර්ධනය කරමින් පවතී.

මේ අතර, බ්‍රිතාන්‍ය බලශක්ති සමාගමක් වන Xlinks මොරොක්කෝවේ සිට එක්සත් රාජධානිය දක්වා මුහුද යට විදුලි රැහැනක් තැනීමට සැලසුම් කර ඇත. එහි බලාපොරොත්තුව වන්නේ 2030 වන විට එක්සත් රාජධානියේ විදුලි අවශ්‍යතාවයෙන් 8%ක් මොරොක්කෝ සූර්ය හා සුළං බලයෙන් ලබා ගැනීමයි.

මොරොක්කෝව ද ටැන්ජියර්ස් අසල පිහිටි සුළං බලාගාරය

ලෝක බැංකුවට අනුව මොරොක්කෝවේ සූර්ය හා සුළං බලශක්ති උත්පාදනයේ ප්‍රමාණය වැඩි කිරීම රටේ ආර්ථික වර්ධනයට උපකාරී වේ. මෙම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන ගණනක අරමුදල් සපයා ඇත.

කලාපය සඳහා ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Moez Cherif පවසන පරිදි, “ෆොසිල ඉන්ධනවල මිලෙහි අධික අස්ථාවරත්වය” වෙතින් විසංයෝජනය වීම ද මෙම ප්‍රතිලාභවලට ඇතුළත් වේ.

සෑම වසරකම නව රැකියා 28,000ක් පමණ මෙම ව්‍යාපෘති හරහා නිර්මාණය කළ හැකි බව Cherif මහතා වැඩිදුරටත් පවසයි.

මොරොක්කෝවේ විරැකියා අනුපාතය 11.2%ක් වන අතර එය රට මුහුණ දෙන ප්‍රබල අර්බුදයක් ලෙස සැලකේ.

පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් මෝටර් රථ නිෂ්පාදනය වැනි “හරිත කාර්මික නිෂ්පාදන අපනයනය සඳහා කාර්මික මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත වීමට” මොරොක්කෝවට ඉඩ ලබා දෙන බව ද ඔහු පවසයි.

‘එය නව ආයෝජනවලට ඉඩ සලසයි. හරිත නිෂ්පාදනවලට ආයෝජන වැඩි වැඩියෙන් ආකර්ෂණය වේ’ ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

එහෙත් ලෝක බැංකුව ඇස්තමේන්තු කරන්නේ මොරොක්කෝවට සිය 2030 පුනර්ජනනීය ඉලක්කයට ළඟා වීමට ඩොලර් බිලියන 52ක ආයෝජන අවශ්‍ය වනු ඇති අ එම ආයෝජනවලින් වැඩි ප්‍රමාණයක් පුද්ගලික අංශයෙන් පැමිණිය යුතු බවයි.

මොරොක්කෝ රජය ද  ලෝක බැංකු ඇස්තමේන්තුවලට එකඟ වේ.

මොරොක්කෝවේ බලශක්ති සංක්‍රාන්ති සහ තිරසාර සංවර්ධන අමාත්‍ය ලීලා බෙනාලි පවසන්නේ මෑත වසරවලදී රට තුළ පුනර්ජනනීය බලශක්තියේ සිදු වූ මන්දගාමී වර්ධනයට ගෝලීය සාධක හේතු වූ බවයි.

ලීලා බෙනාලි Energy Transition Minister Leila Benali

බලශක්ති සංක්‍රාන්ති අමාත්‍ය ලීලා බෙනාලි රට පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීම වේගවත් කිරීමට උත්සාහ කරයි

“ලෝකය පසුගිය කාලයේ ඓතිහාසික කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. එය සැපයුම් දාම සහ වටිනාකම් දාමවල සම්පූර්ණ බිඳ වැටිමකට හේතු වුණා. එය සූර්ය පැනල සහ සුළං ටර්බයින ඇතුළුව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට ද විශාල ලෙස බලපෑමක් කළා” ඇය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පුනර්ජනනීය බලශක්ති ඉලක්ක ජය ගැනීමට අභ්‍යන්තර බාධක ද ​​ඇති බව ඇය පිළිගනී.

“ආයෝජකයින්ට ඉඩම් බලපත්‍ර ලබාදීම වැනි ආයතනික ක්‍රියාවලි සාපේක්ෂ වශයෙන් වේගවත් කිරීම කළ යුතුව තිබෙනවා. එසේම නිලධාරීවාදය සැබවින්ම ගැටලු සහ අවහිරතා නිර්මාණය කරනවා. ඒවාට කඩිනමින් නිසි පිළිතුරු සොයා ගත යුතුයි” ලීලා බෙනාලි පෙන්වා දෙයි.

රජයේ බලශක්ති උපායමාර්ගය පදනම් වී ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය ඉහළ නැංවීම, කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොළට වඩාත් ඒකාබද්ධ වීම යන කුළුණු තුන මත බව බෙනාලි මහත්මිය වැඩිදුරටත් පවසයි.

මොරොක්කෝවේ සියලුම අවශ්‍යතා පුනර්ජනනීය ද්‍රව්‍ය හරහා සපුරාලීමට පෙර හරිත විදුලිය අපනයනය කිරීම අර්ථවත් දැයි ඇසූ විට බෙනාලි මහත්මිය පවසන්නේ “ප්‍රමුඛතාවය” වන්නේ මොරොක්කෝ වැසියන්ට  බවයි. ඔවුනට “අඩුම මිල” හරිත බලශක්තියට ප්‍රවේශය ලබාදිය යුතු බව ද ඇය පවසයි.

යුරෝපයේ බලශක්ති වෙළෙඳපොළ සමඟ ඒකාබද්ධ වීමට උදා වී ඇති “ඓතිහාසික අවස්ථාවෙන්” ප්‍රයෝජන ගැනීමේ අවශ්‍යතාවය ද මොරොක්කෝව හමුවේ පවතින බවත්, එවැනි අවස්ථාවන් අත්‍යවශ්‍ය පුද්ගලික ආයෝජන සඳහා දිරිගැන්වීමක් විය හැකි බවත් ඇය වැඩිදුරටත් පවසයි.

ලෝක බැංකුව විශ්වාස කරන්නේ මොරොක්කෝව පුනර්ජනනීය බලශක්ති අපනයනය වැඩි කළ යුතු අතර දේශීය පරිභෝජනය සඳහා තවත් එකතු කළ යුතු බවයි.

“ඉතා මැනවින් ඔබ ඒ දෙකම කළ යුතුයි,” ඔහු පවසයි.

පසුගිය නොවැම්බරයේ පැවති COP27 දේශගුණික විපර්යාස සමුළුවේදී මොරොක්කෝව ප්‍රංශය, ජර්මනිය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය සමඟ දේශසීමා හරහා විදුලි බලය විකිණීම පහසු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

කෙසේ වෙතත්, මධ්‍යධරණී තරුණ දේශගුණික ජාලයේ (Mediterranean Youth Climate Network) දේශගුණික විපර්යාස ක්‍රියාකාරිකයෙකු වන හජාර් ඛල්මිචි පවසන්නේ ‘මොරොක්කෝව ඕනෑම විදුලියක් අපනයනය කිරීම ගැන සිතීමට පෙර සිය දේශීය බලශක්ති අවශ්‍යතා පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාලීම කළ යුතු බවයි.

පුනර්ජනනීය බලශක්තියෙන් ලැබෙන විදුලියෙන් 52%ක අභිලාෂය ප්‍රමාණවත් නොවන බවත්, මොරොක්කෝව එහි ගෑස්, තෙල් සහ ගල් අඟුරු බලාගාර මත යැපීම අඩු කිරීමට උත්සාහ කරන විට ඉතිරිය ලැබෙන්නේ කොහෙන්ද යන්න පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු නොවූ බවත් ඇය පෙන්වා දෙයි.

ඇය පවසන්නේ මොරොක්කෝව වෙරළබඩ තීරයෙන් ස්වභාවික වායුව සොයා නව ගවේෂණ දියත් කිරීම පිළිබඳව ද තමා කනස්සල්ලට පත්වන බවයි.

මෙම විවේචනවලට ප්‍රතිචාර දක්වමින්  මොරොක්කෝ රජය ප්‍රකාශ කරන්නේ පුනර්ජනනීය බලශක්තිය මත විශාල ලෙස ගමන් කරන අනෙකුත් රටවලට ද මොරොක්කේවට හා සමාන අභියෝග ඇති බවයි.

සුළඟ සෑම විටම හමන්නේ නැති අතර සූර්යයා සෑම විටම බැබළෙන්නේ නැති බවත් ඒ ඒ අවස්ථාවන් සමඟ කටයුතු කිරීමට ගෑස් අවශ්‍ය බවත් රජය පෙන්වා දෙයි.

ෆොසිල ඉන්ධනවල සිට පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීම දශක ගණනාවක් පුරා ක්‍රමානුකූලව සිදුවන බැවින්, “[මොරොක්කෝවේ] ස්වභාවික වායු සඳහා සංක්‍රාන්ති භූමිකාවක් තිබිය හැකිය” යනුවෙන් ලෝක බැංකු නියෝජිත චෙරිෆ් මහතා පවසයි.

Moundir Zniber ද පෙන්වා දෙන්නේ මොරොක්කෝවට බලශක්ති ප්‍රභවයන්ගේ “මිශ්‍රණයක්” අවශ්‍ය බවයි. “පුනර්ජනනීය බලශක්තිය විසඳුමේ එක් කොටසක් පමණයි ”

bbc.com