අඩු උෂ්ණත්වවලදී ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි ක්ෂුද්‍ර  ජීවීන් සොයා ගනී

මීළඟ විශාල අභියෝගය වනුයේ ක්ෂුද්‍රජීවීන් මගින් නිපදවන ප්ලාස්ටික් හායන එන්සයිම හඳුනා ගැනීම සහ විශාල ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීමයි. ඊට අමතරව, ප්‍රෝටීන් ස්ථායිතාව වැනි ගුණාංග ප්‍රශස්ත කිරීම සඳහා එන්සයිම තවදුරටත් වෙනස් කිරීම අවශ්‍ය විය හැකියි’’

අඩු උෂ්ණත්වවලදී ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් විශේෂයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති අතර එය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයේ කඩඉමක් වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති. ඔවුන්ගේ සොයාගැනීම් Frontiers in Microbiology සඟරාවේ පළ කර ඇත.

මෙය සිදු කළ හැකි බොහෝ ක්ෂුද්‍ර ජීවීන් දැනටමත් සොයාගෙන ඇත. නමුත් එකී ක්ෂ්ද්‍ර ජීවීන්ට සාමාන්‍යයෙන් ක්‍රියා කළ හැක්කේ සෙල්සියස් අංශක 30ට වඩා වැඩි උෂ්ණත්වවලදී පමණි. මෙයින් අදහස් කරන්නේ අවශ්‍ය උණුසුම නිසා කාර්මික භාවිතයේදී ඒවා භාවිතා කිරීම මිල අධික වන බවයි.

ස්විට්සර්ලන්ත ෆෙඩරල් ආයතනයේ විද්‍යාඥයින් විසින් මෙය සෙල්සියස් අංශක 15 දී කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් සොයාගෙන ඇති අතර එය ක්ෂුද්‍රජීවී ප්‍රතිචක්‍රීකරණයේ (microbial recycling) ඉදිරි ගමනකට කොළ එළියක් විය හැකිය.

ආචාර්ය ජොයෙල් රූති සහ සගයන් ග්‍රීන්ලන්තය, ස්වල්බාඩ් සහ ස්විට්සර්ලන්තයේ වසරක් පුරා භූමියේ තබා ඇති (නිදහසේ හෝ හිතාමතා වළලන ලද) ප්ලාස්ටික් මත වැඩෙන බැක්ටීරියා වර්ග 19ක සහ දිලීර වර්ග 15ක සාම්පල ලබා ගත්හ. මෙසේ ලබා ගත් සාම්පල සෙල්සියස් අංශක 15ක උෂ්ණත්වයක් යටතේ රසායනාගාරයේ වර්ධනය වීමට ඉඩ හැර ඔවුනට විවිධ ප්ලාස්ටික් වර්ග ජීර්ණය කළ හැකිද යන්න පරීක්ෂා කළහ.

පරීක්‍ෂා කරන ලද ප්ලාස්ටික්වලට ජෛව හායනයට ලක්විය නොහැකි පොලිඑතිලීන් (polyethylene – PE) සහ ජෛව හායනයට ලක්විය හැකි පොලියෙස්ටර්-පොලියුරේතන් (polyester-polyurethane – PUR) මෙන්ම වාණිජමය වශයෙන් ලබා ගත හැකි පොලිබියුටිලීන් ඇඩිපේට් ටෙරෙෆ්තලේට් (polybutylene adipate terephthalate- PBAT) සහ පොලිලැක්ටික් අම්ලය (polylactic acid – PLA) යන ජෛව හායනයට ලක්විය හැකි මිශ්‍රණ දෙකක් ඇතුළත් විය.

මෙම ප්ලාස්ටික් මත තැන්පත් කරන ලද කිසිදු ක්ෂුද්‍ර ජීවියෙකුට දින 126කට පසුව පවා පොලිඑතිලීන් ජීර්ණය කිරීමට නොහැකි විය. නමුත් දිලීර 11ක් සහ බැක්ටීරියා 8ක් ඇතුළුව ක්ෂුද්‍ර ජීවීන් 19ක් (56%) සෙල්සියස් අංශක 15 දී පොලියෙස්ටර්-පොලියුරේතන් ජීර්ණය කිරීමට සමත් වූ අතර දිලීර 14ක් සහ බැක්ටීරියා තුනක් PBAT සහ PLA යන ප්ලාස්ටික් මිශ්‍රණ ජීර්ණය කිරීමට සමත් විය.

ආචාර්ය ජොයෙල් රූති මෙසේ පැවසුවාය: “මෙහිදී අපි පෙන්වන්නේ ඇල්පයින් සහ ආක්ටික් පසෙහි ‘ප්ලාස්ටිස්ෆියර් / plastisphere ‘ වලින් ලබාගත් නව ක්ෂුද්‍ර ජීවී විශේෂයක් වන ‘taxa / ටැක්සා‘ සෙල්සියස් අංශක 15C දී ජෛව හායනයට ලක්විය හැකි ප්ලාස්ටික් බිඳ දැමීමට සමත් වූ බවයි. ප්ලාස්ටික් සඳහා එන්සයිම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක පිරිවැය සහ පාරිසරික බර අඩු කිරීමට මෙම ජීවීන් උපකාරී වෙනවා. පරීක්‍ෂා කරන ලද ක්ෂුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයකට අවම වශයෙන් පරීක්‍ෂා කරන ලද ප්ලාස්ටික් වලින් එකක් හෝ දිරාපත් කිරීමට හැකි වීම පුදුමයට කරුණක් බව ද ආචාර්ය ජොයෙල් රූති පැවසුවේය.

විද්‍යාඥයින් විසින් හොඳම කාර්ය සාධනය කරන්නන් සඳහා ද පරීක්‍ෂා කළ අතර, ඒවා පොලිඑතිලීන් (PE) හැර පරීක්‍ෂා කරන ලද සියලුම ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි neodevriesia සහ lachnellula යන ගණයේ හඳුනා නොගත් දිලීර විශේෂ දෙකක් බව සොයා ගත්හ.

අධ්‍යයන කතුවරුන්ගෙන් එක් අයෙකු වන ආචාර්ය බීට් ෆ්‍රේ මෙසේ පැහැදිලි කළේය: “ක්ෂුද්‍ර ජීවීන් ශාක සෛල බිත්ති බිඳවැටීමට සම්බන්ධ විවිධ බහු අවයවික හායන එන්සයිම නිපදවන බව පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම, ශාක-ව්‍යාධිජනක දිලීර බොහෝ විට ජෛව හායන පොලියෙස්ටර් වෙනවා. ඒවාට කට්ටිනේස් / cutinases නිපදවීමේ හැකියාව ඇති නිසා සහ ඒවා ශාක පොලිමර් කටින්ට / plant polymer cutin සමාන වීම නිසා ප්ලාස්ටික් පොලිමර් ඉලක්ක කරනවා’’

විද්‍යාඥයින් ක්ෂුද්‍ර ජීවීන් පරීක්ෂා කළේ එක් උෂ්ණත්වයකදී පමණි. එබැවින් භාවිතා කිරීමට සුදුසුම උෂ්ණත්වය තවමත් සොයාගෙන නොමැත. කෙසේ වෙතත්, ඔවුන් පවසන්නේ එය සෙල්සියස් අංශක 4C සහ 20C අතර හොඳින් ක්‍රියා කරන බවයි.

ආචාර්ය බීට් ෆ්‍රේ මෙසේ පැවසීය: “මීළඟ විශාල අභියෝගය වනුයේ ක්ෂුද්‍රජීවීන් මගින් නිපදවන ප්ලාස්ටික් හායන එන්සයිම හඳුනා ගැනීම සහ විශාල ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීමයි. ඊට අමතරව, ප්‍රෝටීන් ස්ථායිතාව වැනි ගුණාංග ප්‍රශස්ත කිරීම සඳහා එන්සයිම තවදුරටත් වෙනස් කිරීම අවශ්‍ය විය හැකියි’’

theguardian.com