අපගේ තර්ක නිවැරදි නම්, මුහුදු උෂ්ණත්වය දිගටම ඉහළ යන්නේ නම්, නැගෙනහිර අප්‍රිකාවේ මුහුදු කොල්ලකෑම්වලට එරෙහි අරගලය වඩ වඩාත් දුෂ්කර වනු ඇත

දේශගුණික විපර්යාස හේතුවෙන් සාගරවල මත්ස්‍ය ගහනය අඩු වන විට මුහුදු කොල්ලකෑම් වැඩි වන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. නැඟෙනහිර අප්‍රිකාවේ සහ දකුණු චීන මුහුදේ මුහුදු කොල්ලකරුවන්ගේ මර්මස්ථාන පිළිබඳ අධ්‍යයනයකින් මේ බව හෙළි වී තිබේ.

ඇමරිකානු කාලගුණ විද්‍යා සංගමයේ සඟරාවේ මෙම පර්යේෂණ පත්‍රිකාව ප්‍රකාශයට පත් කර ඇත.

මුහුදු කොල්ලකෑම් සඳහා ලොව ප්‍රසිද්ධම ප්‍රදේශවලින් එකක් වන නැගෙනහිර අප්‍රිකාවේ ධීවර කර්මාන්තයට සාගර උෂ්ණත්වය ඉහළ යාම අහිතකර ලෙස බලපා ඇත. ඒ සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මත්ස්‍ය සම්පත පහළ වැටීම නිසාය. මුහුදු කොල්ලකෑම් සඳහා ප්‍රසිද්ධ තවත් ස්ථානයක් වන දකුණු චීන මුහුදේ දී සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මත්ස්‍ය ගහනය ඉහළ ගොස් ඇත. එය නැගෙනහිර අප්‍රිකාවේ තත්ත්වයට වඩා ප්‍රතිවිරුද්ධ තත්ත්වයකි.

මෙම සංසිද්ධිය දේශගුණික විපර්යාස සහ මුහුදු කොල්ලකෑම් අවදානම අතර සම්බන්ධතා පරීක්ෂා කිරීම සඳහා “දුර්ලභ ස්වභාවික අත්හදා බැලීමක්” නිර්මාණය කළ බව මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ මහාචාර්යවරයකු සහ අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන ගැරී ලාෆ්‍රී පවසයි.

“අපට කල්පිතය පරීක්ෂා කිරීමට අවශ්‍ය වුණා. මත්ස්‍ය නිෂ්පාදනය පහත වැටෙන විට මුහුදු කොල්ලකෑම් වැඩි වන අතර මත්ස්‍ය නිෂ්පාදනය වැඩි වන විට එය අඩු වෙනවාද ?” මහාචාර්ය  ලාෆ්‍රී පැවසීය.

ඔවුන් සොයා ගත් පිළිතුර ‘ඔව්‘ යන්නයි.

පසුගිය වසර 20 තුළ නැගෙනහිර අප්‍රිකාවේ සහ දකුණු චීන මුහුදේ මුහුදු කොල්ලකරුවන් විසින් සිදුකළ ප්‍රහාර 2,000කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව ලාෆ්‍රී ඇතුළු පිරිස අධ්‍යයනය කරන ලදි. මුහුදු කොල්ලකෑමේ ප්‍රවණතා මත්ස්‍ය සම්පතට සිදුවන බලපෑම සමඟ සම්බන්ධ වී ඇති බව එම අධ්‍යයනය මගින් සොයා ගන්නා ලදී.

සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මත්ස්‍ය ගහනය අඩුවෙමින් පවතින නැගෙනහිර අප්‍රිකාවේ මුහුදු කොල්ලකෑම් වැඩි වී ඇත. නමුත් මුහුදු උෂ්ණත්වය ඉහළ යාම දකුණු චීන මුහුදේ ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කළේය. එහිදී මත්ස්‍ය ගහනය වැඩි වී මුහුදු කොල්ලකෑම් අඩු වී ඇත.

“දළ වශයෙන් වසර 20ක කාල රාමුවක් තුළ අපි සංඛ්‍යානමය වශයෙන් වැදගත්, මැනිය හැකි වෙනස්කම් ලබා ගත්තා. විශේෂයෙන්ම අනාගතයේ දී දේශගුණික විපර්යාස බොහෝ දුරට වේගවත් වනු ඇතැයි සිතන විට, එම වෙනස්කම් කෙතරම් වේගයෙන් සිදු වේද යන්න ගැන මම පුදුමයට පත් වුණා” යැයි මහාචාර්ය ලාෆ්‍රී පැවසීය

දැනටමත් මුහුදු යාත්‍රා කිරීමේ කුසලතා ඇති සහ ලෝකයේ දුප්පත්ම ප්‍රජාවන් වන ධීවරයින් මුහුදු කොල්ලකෑම්වල නියැලී සිටින අපරාධ කල්ලි විසින් ඉලක්ක කර ගන්නා බව පෙර අධ්‍යයනයන් පෙන්වා දෙයි.

“මසුන් ඇල්ලීම සිදු වන ආකාරය අනුව සමහර ධීවරයින් මුහුදු කොල්ලකරුවන් වන බව වෙනත් පර්යේෂකයන්ගෙන් තහවුරු වී තිබේ.” මහාචාර්ය ලාෆ්‍රී පැවසීය.

මැකාවු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ සහකාර මහාචාර්යවරයෙකු සහ අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන බෝ ජියැන්ග් පැවසුවේ: “මම හැදී වැඩුණේ සිංගප්පූරුවේ. ඒ අවට මුහුදු තීරයේ ධීවරයින් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔවුන් ‘ස්ටෑන්ඩ්බයි මුහුදු කොල්ලකරුවන්’ ලෙස හැඳින් වුණා’’ මහාචාර්ය ජියැන්ග් පැවසුවේය.

ආර්ථික ආතතිය සහ ප්‍රාදේශීය දේශපාලන දූෂණය වැනි වෙනත් බලපෑම් පාලනය කිරීමෙන් පසුව පවා සාගර උෂ්ණත්වය ඉහළ යාම සහ මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රහාර අතර සම්බන්ධය වැදගත් බව කතුවරු පැවසූහ.

“සෝමාලියාවේ, කෙන්යාවේ සහ නැගෙනහිර අප්‍රිකාවේ වෙරළබඩ ප්‍රාන්තවලට සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවන් එහි මත්ස්‍ය සම්මපත හීන වීම බරපතළ ප්‍රශ්නයක්. ඒ වගේම අපගේ තර්ක නිවැරදි නම්, මුහුදු උෂ්ණත්වය දිගටම ඉහළ යන්නේ නම්, නැගෙනහිර අප්‍රිකාවේ මුහුදු කොල්ලකෑම්වලට එරෙහි අරගලය වඩ වඩාත් දුෂ්කර වනු ඇත” මහාචාර්ය ජියැන්ග් අවධාරණය කළේය.

ලෝකයේ වෙළඳාම් කරන භාණ්ඩවලින් 90%ක් පමණ ප්‍රවාහනය කරනු ලබන්නේ මුහුදු මාර්ගයෙනි. මුහුදු කොල්ලකෑම් හේතුවෙන් නැව් කර්මාන්තයට වසරකට ඩොලර් බිලියන 9ක් වැය වන අතර එය ප්‍රධාන ආරක්ෂක තර්ජනයක් ද වෙයි.

https://www.theguardian.com