ගෝලීය උණුසුම බිලියන ගණනක් ‘මානව දේශගුණික නිකේතනයෙන්’ පිටතට තල්ලු කරයි

ගෝලීය උණුසුම ඉහළ යාම (Global heating) සහස්‍ර ගණනාවක් තිස්සේ මානව වර්ගයා සමෘද්ධිමත් වූ “දේශගුණික නිකේතනයෙන් (human climate niche)” බිලියන සංඛ්‍යාත ජනතාවක් පලවා හරිනු ඇති බව නවතම අධ්‍යයනයක් මගින් ඇස්තමේන්තු කර ඇති අතර, ඔවුන් පෙර නොවූ විරූ උෂ්ණත්වයන්ට සහ ආන්තික කාලගුණයට නිරාවරණය වනු ඇති බව ද අනාවරණය කර ඇත.

  • Human climate niche – මානව දේශගුණික නිකේතනය යනු උෂ්ණත්වය හා සම්බන්ධ හිතකර දේශගුණික තත්ත්වයන් හේතුවෙන් මිනිසුන් ඓතිහාසිකව ජීවත් වූ ප්‍රදේශ වේ. මානව දේශගුණික නිකේතනය හැඩගස්වා ඇත්තේ දේශගුණයේ සෘජු බලපෑම් සහ අපව නඩත්තු කරන හෝ පීඩාවට පත් කරන විශේෂ සහ සම්පත් කෙරෙහි වක්‍ර බලපෑම් මගිනි. සෘජු දේශගුණික බලපෑම්වලට සෞඛ්‍ය බලපෑම් සහ හැසිරීම් වෙනස්වීම් ඇතුළත් වේ.

වර්තමාන ක්‍රියාකාරී සැලසුම් සමඟින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 2.7ක් දක්වා ගමන් කරමින් සිටින බව විද්‍යාඥයින් පවසති. මෙයින් අදහස් වන්නේ 2030 වන විට ගෝලීය වශයෙන් බිලියන දෙකක ජනතාවක් සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 29C ට වඩා වැඩි අගයක් අත්විඳිනු ඇති බවයි. එය අතීතයේ ඉතා සුළු ප්‍රජාවන් ජීවත් වූ උෂ්ණත්ව මට්ටමක් වීම ද විශේෂත්වයකි.

බිලියනක ජනතාවක් සිසිල් ස්ථාන කරා සංක්‍රමණය වීමේ විකල්පය තෝරා ගනු ඇති නමුත් එම ප්‍රදේශ ද නිතර තාප තරංග සහ නියඟ අත්විඳිය හැකි බව අදාළ වාර්තාව මගින් හෙළිකර ඇත.

කෙසේ වෙතත්, කාබන් විමෝචනය අඩු කිරීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5 දක්වා ස්ථාවර කිරීම සඳහා හදිසි පියවර ගැනීම තුළින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පිටත තල්ලු කරන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 80%කින් අඩු කරනු ඇති බවයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ.

විශාල ජනගහනයක් සිටින සහ දැනටමත් උණුසුම් දේශගුණයක් ඇති රටවල බොහෝ මිනිසුන් මානව දේශගුණික නිකේතනයෙන් පිටත තල්ලු කරනු ලැබේ. මෙහිදී ඉන්දියාව සහ නයිජීරියාව නරකම වෙනස්කම් වලට මුහුණ දෙයි. ඉන්දියාව දැනටමත් දැඩි උෂ්ණ තරංගවලින් පීඩා විඳිමින් සිටින අතර, මෑත අධ්‍යයනයකින් හෙළි වූයේ 1991-2018 ගිම්හානයේදී සිදුවන තාප ආශ්‍රිත මරණවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් මිනිසා විසින් ඇති කරන ගෝලීය උණුසුමෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස සිදු වූ බවයි.

නව පර්යේෂණයට නායකත්වය දුන් එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ටිම් ලෙන්ටන් මෙසේ පැවසීය: “ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ පිරිවැය බොහෝ විට මූල්‍යමය වශයෙනුයි ප්‍රකාශ වන්නේ. නමුත් අපගේ අධ්‍යයනයෙන් ඉස්මතු කරන්නේ දේශගුණික හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට අපොහොසත් වීමේ අතිවිශිෂ්ට මිනිස් පිරිවැයයි. ආර්ථික ඇස්තමේන්තු සෑම විටම පාහේ දුප්පතුන්ට වඩා ධනවතුන් අගය කරනවා. මන්ද ඔවුන්ට අහිමි වීමට වැඩි වත්කම් ඇති නිසා සහ අනාගතයේ ජීවත් වන අයට වඩා දැන් ජීවත්ව සිටින අයව අගය කිරීමට ඔවුන් නැඹුරු වන නිසයි. අපි මෙම අධ්‍යයනයේ දී සියලු මිනිසුන් සමාන ලෙස සලකනවා’

චීනයේ නැන්ජිං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චි ෂු මෙසේ පැවසීය: “මෙවැනි ඉහළ උෂ්ණත්වයන් [නිචයෙන් පිටත] වැඩි මරණ අනුපාතය, ශ්‍රම ඵලදායිතාව අඩුවීම, සංජානන කාර්ය සාධනය අඩුවීම, ඉගෙනීමේ දුර්වලතා වැනි ගැටලු සමඟ සම්බන්ධ වී තිබෙනවා. එසේම ගැබ් ගැනීම් හීනවීම, බෝග අස්වැන්න අඩුවීම, ගැටුම් වැඩි වීම සහ බෝවන රෝග පැතිරීම ද මෙහිදී සිදුවිය හැකියි”

අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතුවරයා වන නෙදර්ලන්තයේ Wageningen විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Marten Scheffer පැවසුවේ දේශගුණයෙන් බැහැරව සිටින අය සිසිල් ස්ථානවලට සංක්‍රමණය වීම ගැන සලකා බැලිය හැකි බවයි: “ දස දහස් ගණනකගේ සංක්‍රමණය පමණක් නොව එය බිලියනයක් හෝ ඊට වැඩි විය හැකියි”

වන සතුන් සහ ශාක සඳහා දේශගුණික නිකේතන පිළිබඳ අදහස හොඳින් තහවුරු වී ඇති නමුත් Nature Sustainability සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයෙන් මානව සමාජයන් දියුණු වී ඇති දේශගුණික තත්ත්වයන් හඳුනාගෙන ඇත.

සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 13C හෝ 25C පමණ පැතිරී ඇති ස්ථානවල බොහෝ මිනිසුන් ජීවත් වන බව එය සොයා ගත්තේය. ඒවාට පිටතින් ඇති තත්වයන් ඉතා උණුසුම්, අධික ශීතල හෝ අධික වියළි සහ ඉහළ මරණ අනුපාත, අඩු ආහාර නිෂ්පාදනය සහ අඩු ආර්ථික වර්ධනය සමඟ සම්බන්ධ වේ.

“දේශගුණික නිකේතනය විස්තර කරන්නේ මිනිසුන් අතීතයේ (වසර දහස් ගණනක්) සමෘද්ධිමත්ව ජීවත් වූ ස්ථානයයි. මිනිසුන් එයින් පිටත සිටින විට, ඔවුන් සමෘද්ධිමත් වන්නේ නැහැ” ලෙන්ටන් පැවසීය.

ෂෙෆර් මෙසේ පැවසීය: “දේශගුණයට සාපේක්ෂව මිනිසුන්ගේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගත් කල, මිනිසුන් කෙතරම් තියුණු ලෙස සීමා වී ඇත්ද යන්න අපි පුදුමයට පත් කළේය”

විද්‍යාඥයින් පසුව දේශගුණික නිකේතනයෙන් පිටත මිනිසුන්ගේ සංඛ්‍යාවේ අනාගත වෙනස්වීම් පරීක්ෂා කිරීමට දේශගුණික සහ ජනගහන ආකෘති භාවිතා කළ අතර, ඔවුන් වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය 29C ට වඩා වැඩි ලෙස අර්ථ දැක්වීය.

මිලියන 60ක ජනතාවක් නිකේතනයෙන් පිටත ජීවත් වන අතර ඔවුන් භයානක තාපයට නිරාවරණය වන බව පර්යේෂකයෝ පැවසූහ. නමුත් ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.2C ට වඩා ඉහළ යාමත් සමඟම, අතිරේක මිලියන 140ක ජනතාවක් නිකේතනයෙන් පිටතට පළවා හරිනු ලැබේ.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.7 දක්වා අඛණ්ඩව ඉහළ යන්නේ නම්, වැඩිවන ගෝලීය ජනගහනය සමඟ ගෝලීය උණුසුම් වීම 2030 වන විට බිලියන 2ක ජනතාවක් සහ 2090 වන විට බිලියන 3.7ක් නිකේතනයෙන් පිටත පළවා හරිනු ඇත.

නරකම අවස්ථාවක, එනම් බලාපොරොත්තු වූවාට වඩා (හරිතාගාර වායුවලට වඩා) සංවේදී දේශගුණික තත්ත්වයක් සමග ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.6කින් ඉහළ යනු ඇති අතර, එවැනි තත්ත්වයක් තුළ ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දේශගුණික තත්ත්වයෙන් පිටත ඉතිරි වේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 1.5C දක්වා මට්ටමක පවත්වා ගැනීම සඳහා විමෝචනය වේගවත් හා ගැඹුරු ලෙස කප්පාදු කිරීම මගින් නිකේතනයෙන් පිටත සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කරනු ඇති බව පර්යේෂකයෝ සොයා ගත්හ. උදාහරණයක් ලෙස, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.7කින් ඉහළ ගියහොත් ඉන්දියාවේ මිලියන 90ක ජනතාවක් සාමාන්‍ය උෂ්ණත්වය 29C ට වඩා වැඩි සාමාන්‍ය උෂ්ණත්වයක් සහිත කලාපවල ජීවත් වනු ඇත. ඉන්දුනීසියාව, පිලිපීනය සහ පකිස්තානය යන රටවල්ද අධික උෂ්ණත්වයෙන් දැඩි ලෙස බලපානු ඇති අනෙකුත් රටවල් වේ.

ලෙන්ටන් පැවසුවේ අධ්‍යයනය මගින් දේශගුණික හදිසි අවස්ථා වල “විශාල අසමානතාවය” අවධාරණය කර ඇති අතර අඩු විමෝචනයක් ඇති පුද්ගලයින් අධික තාප නිරාවරණයේ විශාලතම වෙනස්කම් වලට ගොදුරු විය හැකි බවයි.

අධික උෂ්ණත්වයට අනුවර්තනය වීමට වඩාත්ම ප්‍රායෝගික සහ ක්ෂණික විකල්පය නගරවල හරිත අවකාශයන් වැඩි කිරීම බව ඔහු පැවසීය.

පර්යේෂණයට සම්බන්ධ නොවූ ස්වීඩනයේ ස්ටොක්හෝම් පරිසර ආයතනයේ ආචාර්ය රිචඩ් ක්ලයින් මෙසේ පැවසීය: “මෙම අධ්‍යයනයෙන් ඉතා හොඳින් පෙන්නුම් කරන්නේ දේශගුණික විපර්යාස මගින් ඇති කළ හැකි සෘජු මිනිස් දුක් වේදනායි.  නිකේතනයෙන් පිටත ජීවත් වීම යනු දරාගත නොහැකි උණුසුම නිසා දුක් විඳීමයි. එසේ නැතහොත් අධික තෙත් දේශගුණය නිසා දුකි විදීමයි.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ලෝරන්ස් වේන්රයිට් පැවසුවේ “මිනිසුන් යම් යම් ප්‍රදේශවල යම් යම් උෂ්ණත්වවලදී ජීවත් වීමට පුරුදු වී ඇත. දේවල් වෙනස් වූ විට, ශාරීරික සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය, අපරාධ සහ සමාජ අසහනය යන කාරණා සම්බන්ධයෙන් බරපතල ගැටලු මතු වේ.

https://www.theguardian.com