එල් නිනෝ දක්ෂිණ දෝලන (El Niño Southern Oscillation) පද්ධතිය නම් දේශගුණික සංසිද්ධියක් නිසාවෙන් ගෝලීය උෂ්ණත්ව මට්ටම්වලට සහ වැසි රටාවලට බලපෑම් ඇතිවී තිබේ.

එය, ‘එල් නිනෝ’ සහ ‘ලා නිනා’ නම් එකිනෙකට විරුද්ධ ස්වභාවයන් දෙකකින් සමන්විත වන අතර, එම සංසිද්ධීන් ද්විත්වය ම ලොව පුරා කාලගුණයේ සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට හේතු වේ.

මෙම සංසිද්ධීන් අතරතුර සිදු වන්නේ කුමක් ද?

පසුගිය වසර කිහිපය තුළ ලෝකය පැවතියේ, ගෝලීය උෂ්ණත්වය පහළ දමා කැනඩාවට සහ ඕස්ට්‍රේලියාවට අධික වර්ෂාපතනයක් ගෙනදුන් ලා නිනා කාලපරිච්ඡේදයක ය.

ශාන්තිකර (පැසිෆික්) සාගරයට ඉහළින් සමකය දිගේ හමා එන සුළං, එනම්, නැගෙනහිරින් දකුණු අමෙරිකාවේ සිට බටහිරින් ආසියාව දෙසට හමා එන සුළං, පෙර පැවති සුළංවලට වඩා වැඩි ප්‍රබලත්වයෙන් යුක්තවිය.

මෙම “වෙළෙඳ සුළං” උණුසුම් ජලය රැගෙනගොස් ආසියාවේ වෙරළට ඔබ්බෙන් තැන්පත් කරන අතර, ඒ හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාම සිදුවේ (අතීතයේ වෙළෙඳ නැව් යාත්‍රා කිරීමේ දී උපකාරී වූ බලගතු සුළං ප්‍රවාහය ‘වෙළෙඳ සුළං’ යනුවෙන් හැඳින්වේ). නැගෙනහිරින්, ඇමෙරිකාව ආසන්න මුහුදේ ඇති සිසිල් ජලය සාගර මතුපිටට ගමන් කිරීම සිදු වේ.

එල් නිනෝ කාලය තුළ සිදුවන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙය කි. එනම්, වෙළෙඳ සුළං දුබලව හැමීම නිසා උණුසුම් ජලය නැවත ඇමෙරිකාව දෙසට ඇදෙන අතර, සිසිල් ජලය සාගර මතුපිටට පැමිණීම අඩුවෙයි. මෙම සංසිද්ධිය මුල් වරට නිරීක්ෂණය කරනු ලැබ තිබුණේ, 1600 ගණන්වල පේරු ජාතික ධීවරයින් විසිනි. දෙසැම්බර් මාසයේ දී ඇමෙරිකාව ආසන්න මුහුදු ජලයේ උණුසුම ඉහළ යන බව ඔවුහු නිරීක්ෂණය කළ අතර, එම සිදුවීම “එල් නිනෝ ඩි නවිඩැඩ්”, එනම්, ස්පාඤ්ඤ බසින් ‘ක්‍රිස්තු දරුවා’ යන අර්ථය ගෙන දෙන අන්වර්ථ නාමයෙන් හැඳින්වූහ.

එල් නිනෝ සහ ලා නිනා අපගේ කාලගුණය කෙරෙහි ඇති කරන බලපෑම කුමක් ද?

සෑම එල් නිනෝ හෝ ලා නිනා සංසිද්ධියක් ම එක හා සමාන නොවන නමුත්, ඉන් සාමාන්‍යයෙන් ඇති වන බලපෑම් කිහිපයක් විද්‍යාඥයන් නිරීක්ෂණය කර තිබේ:

උෂ්ණත්ව විචලනයන්

එල් නිනෝ සංසිද්ධිය සිදුවන කාල පරිච්ඡේදය තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.2කින් පමණ ඉහළයන අතර, ලා නිනා කාල පරිච්ඡේදය තුළ දී සෙල්සියස් අංශක 0.2කින් පමණ පහත වැටීම සිදු වේ.

ඊට හේතුව නම්, එල් නිනෝ සංසිද්ධිය යනු උණුසුම් ජලය තවදුරට ත් පැතිරී, එම ජලය සාගර මතුපිටට සමීපව පැවතීම යි. එමඟින් වායුගෝලයට වැඩි තාපයක් මුදාහරින අතර වඩාත් තෙත්, උණුසුම් වාතය නිර්මාණය කරයි. මේ දක්වා වාර්තා වූ උණුසුම් ම වසර, එනම් 2016 යනු, එල් නිනෝ කාල පරිච්ඡේදයක් පැවති වසර යි. 2020 සහ 2022 අතර, උතුරු අර්ධගෝලයේ ලා නිනා කාල පරිච්ඡේද තුනක් එක දිගට පැවතිණි. නමුත් ජනවාරි මාසයේ දී යුරෝපා සංගමයේ දේශගුණ නිරීක්ෂණ සේවාවේ දත්ත පෙන්වා දුන්නේ, ලා නිනා ත්‍රිත්වයක් තිබියදී පවා 2022 ගෝලීය වශයෙන් පස්වන උණුසුම් ම වසර බව ය.

කාලගුණ විද්‍යා කාර්යාලයයේ මහාචාර්ය ඇඩම් ස්කයිෆ් මෙසේ පැවසීය: “පසුගිය වසර තුන තුළ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වාර්තාගත මට්ටම්වලට ආසන්නව පැවතුණ ත්, දිගුකාලීනව පැවති ලා නිනාහි සිසිලන බලපෑම් නැතිව උෂ්ණත්වය ඊට ත් වඩා ඉහළ යාවි.”

සෙල්සියස් අංශක 0.2කින් උෂ්ණත්වය ඉහළ ගියහොත්, එය දේශගුණික විපර්යාස හේතුවෙන් මේ වන විට පවතින ගෝලීය උෂ්ණත්ව ඉහළ යාම 20%කින් පමණ ඉහළ දමනු ඇත.

“ගෝලීය උෂ්ණත්වය ඊට ත් වඩා ඉහළ යාමේ සම්භාවිතාව ඉහළ නංවමින්” ලා නිනා සංසිද්ධිය මෙම වසර අග දී අවසන්වනු ඇතැ යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බව ඔහු තවදුරට ත් පැවසීය.

වර්ෂාපතනයේ වෙනසක්

එල් නිනෝ සංසිද්ධිවල දී, පැසිෆික් ජෙට් ප්‍රවාහයේ ප්‍රබල වායු ධාරා විසින් උණුසුම් ජලය තවදුරට ත් දකුණට සහ අමෙරිකාවෙන් එපිට නැගෙනහිරට තල්ලු කරයි.

මෙය එක්සත් ජනපදයේ දකුණු ප්‍රාන්ත වෙත සහ මෙක්සිකෝ බොක්ක වෙත තෙත් කාලගුණයක් ගෙන එන අතර, එක්සත් ජනපදයේ සහ කැනඩාව උතුරේ ප්‍රදේශ වෙත වියළි කාලගුණයක් ගෙන ආ හැකි ය.

ආසියාවට, ඕස්ට්‍රේලියාවට සහ මධ්‍යම සහ දකුණු අප්‍රිකාවට සාමාන්‍යයෙන් නියඟයකට මුහුණදීමට සිදු වේ.

ලා නිනා සංසිද්ධිවල දී සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ යමකි: එනම් එය, එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයේ නියඟ තත්ත්වයක් හා කැනඩාවේ සහ ආසියාවේ අධික වැසි තත්ත්වයක් ඇති කරයි.

2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාව වාර්තාගත වර්ෂාපතනයක් හා ගංවතුරක් අත්විඳින ලද්දේ ලා නිනා හේතුවෙනි.

නිවර්තන සුළි කුණාටු

ලා නිනා හේතුවෙන් අත්ලාන්තික් සාගරයේ වැඩි වැඩියෙන් සුළි කුණාටු ඇතිවීම ද සිදු වේ. එම සුළි කුණාටු ෆ්ලොරිඩා සහ එක්සත් ජනපදයේ අනෙකුත් දකුණු ප්‍රාන්තවලට බලපා යි. නමුත් ශාන්තිකර සාගරයේ නිවර්තන කුණාටු ඇතිවීම පහළ යාමට හේතු වේ.

එල් නිනෝ සංසිද්ධි සම්බන්ධයෙන් ගත්කල, ඊට ප්‍රතිවිරුද්ධ දෑ සිදුවෙයි.

මෙම සංසිද්ධි නිතර සිදුවේ ද?

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධි සාමාන්‍යයෙන් සෑම වසර දෙකේ සිට හත දක්වා කාලයකට වරක් සිදුවන අතර සාමාන්‍යයෙන් මාස 9 සිට 12ක කාලයක් දක්වා පවතියි. ඒවා සාමාන්‍යයෙන් මාරුවෙන් මාරුවට සිදු නොවේ. ලා නිනා සංසිද්ධි ඇති වීම එල් නිනෝ සංසිද්ධිවලට වඩා අඩු ය.

මෙම සිදුවීම් අපට බලපාන්නේ කෙසේ ද?

එල් නිනෝ සහ ලා නිනා හේතුවෙන් ඇති වන අයපහත් කාලගුණික සිදුවීම් ලොව පුරා යටිතල පහසුකම්, ආහාර සහ බලශක්ති පද්ධති කෙරෙහි බලපෑම් එල්ල කරයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයට අනුව, 2014-16 වසර අතර කාලයේ වූ එල් නිනෝ සංසිද්ධිය කැනඩාවේ සහ ආසියාවේ නියඟයක් ඇති කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බෝග වගා කටුයුතු අසාර්ථක වී මිලියන 60කට වැඩි පිරිසකගේ ආහාර සුරක්ෂිතතාවට හානි සිදුවිය.

එල් නිනෝ සංසිද්ධි විසින්, සාගර පතුලේ ඇති පෝෂ්‍ය පදාර්ථවලට ඇමෙරිකාව ආසන්න සාගර මතුපිටට පැමිණීම දුෂ්කර කරයි. ඒ හේතුවෙන්, දැල්ලන් සහ සැමන් වැනි සාගර ජීවී විශේෂ සඳහා ලබාගත හැකි ආහාර ප්‍රමාණය පහළ යන අතර, දකුණු අමෙරිකානු ධීවර ප්‍රජාවන් සඳහා මත්ස්‍ය සම්පත අඩුවීම සිදු වේ.

දේශගුණික විපර්යාසය මෙම සංසිද්ධියට බලපාන්නේ ද?

2021 වසරේ දී, එක්සත් ජාතීන්ගේ දේශගුණ විද්‍යාඥයින් (දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC)) පැවසුවේ, 1950 වසරේ සිට සිදු වූ එල් නිනෝ දක්ෂිණ දෝලන සංසිද්ධි 1850 සහ 1950 වසර අතර නිරීක්ෂණය කළ සංසිද්ධිවලට වඩා ප්‍රබල බව ය.

කෙසේ වෙතත්, ගස් වළලු, කොරල්පර සහ අවසාදිත වාර්තා වැනි ඓතිහාසික සාක්ෂි පෙන්නුම් කරන්නේ, 1400 ගණන්වල සිට මෙම සිදුවීම්වල සංඛ්‍යාතයේ සහ ප්‍රබලතාවයේ වෙනස්කම් සිදු වී ඇති බව ය. දේශගුණික විපර්යාසය, එල් නිනෝ හෝ ලා නිනා සංසිද්ධිවලට බලපා ඇතිබවට පැහැදිලි සාක්ෂි නොමැති බව IPCC නිගමනය කළේ ය.

bbc sandesaya