දේශගුණික විපර්යාස සමග කෘෂි වගාවන්ට එරෙහි දිලීර ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක්

ගෝලීය කෘෂි බෝග අස්වැන්නෙන් 23%ක් විනාශ කරනවා

පර්යේෂණ වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන නැහැ

ලෝකයේ වැදගත්ම කෘෂි බෝග වලට වේගයෙන් වර්ධනය වන දිලීර ප්‍රහාර / fungal attacks හේතුවෙන් අනාගතයේදී ගෝලීය ආහාර සැපයුමට දැවැන්ත තර්ජනයක් එල්ල විය හැකි බවට කෘෂි විද්‍යාඥයෝ අනතුරු අඟවති. ඔවුහු පෙන්වා දෙන්නේ දිලීර රෝග කාරක මර්දනය කිරීමට අපොහොසත් වීම “ගෝලීය සෞඛ්‍ය ව්‍යසනයකට / global health catastroph” තුඩු දිය හැකි බවයි.

දිලීර දැනටමත් කෘෂි බෝගවලට විශාලම හානියක් කරන්නා ද වෙයි. දිලීර දැඩිව ඔරොත්තු දෙන සුළු අතර, සුළඟ මත දිගු දුර ගමන් කරයි. ඒවා වේගයෙන් අනුවර්තනය වන අතර බොහෝ දිලීර පොදු දිලීර නාශක වලට ප්‍රතිරෝධයක් වර්ධනය කර ගෙන ඇත. එනිසා ඒක බෝග වගාවලට දැවැන්ත විනාශයක් කිරීමේ හැකියාව දිලීර සතුවේ.

දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස උෂ්ණත්වය ඉහළ යාම සහ දිලීර ආසාදන ක්‍රමයෙන් ධ්‍රැව දෙසට ගමන් කිරීම නිසා දිලීර රෝගයේ බලපෑම වඩාත් නරක අතට හැරෙනු ඇතැයි පර්යේෂකයෝ පවසති. 1990 ගණන්වල සිට, දිලීර රෝග කාරක වසරකට කිලෝමීටර 7ක පමණ වේගයකින් ඉහළ අක්ෂාංශ කරා ගමන් කරයි. සාමාන්‍යයෙන් නිවර්තන කලාපයේ දක්නට ලැබෙන තිරිඟු කඳ මලකඩ ආසාදන / Wheat stem rust දැනටමත් එංගලන්තයේ සහ අයර්ලන්තයේ වාර්තා වී ඇත.

අධික උෂ්ණත්වය දිලීර රෝග කාරක වල නව ප්‍රභේද මතු වීමට ද හේතු වන අතර, වඩාත් ආන්තික කුණාටු මගින් ඒවාගේ බීජාණු තව දුරටත් පැතිර යා හැකි බව විද්‍යාඥයෝ පවසති.

වාර්තාවේ සම කර්තෘ එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සාරා ගුර් / Sarah Gurrපැවසුවේ දිලීර මිනිස් මොළයට ආසාදනය වන The Last of Us රූපවාහිනී වැඩසටහන හරහා මෑතකදී මහජන අවධානයට ලක් වූ බවයි.

“එම කථා වස්තුව විද්‍යා ප්‍රබන්ධයක් වුවද, දිලීර ආසාදන සීඝ්‍රයෙන් ගෝලීයව පැතිරීම නිසා ගෝලීය සෞඛ්‍ය ව්‍යසනයක් ඇතිවිය හැකි බවට අපි අනතුරු අඟවන්නෙමු. මෙහි ආසන්න තර්ජනය zombies ගැන නොව, ගෝලීය සාගින්න ගැන ය’’

ගෝලීය උණුසුම නිසා දිලීර වල තාපයට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ යාමේ අවදානමක් ද පවතින බව විද්‍යාඥයෝ පැවසූහ.

පර්යේෂණයේ සම කර්තෘවරයෙකු වන මහාචාර්ය ඊවා ස්ටුකන්බ්‍රොක් / Eva Stukenbrock මෙසේ පැවසුවාය. “අපගේ ගෝලීය ජනගහනය ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති හෙයින්, මානව වර්ගයා ආහාර නිෂ්පාදනයේදී පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටිනවා. සෑම වසරකම දිලීර ආසාදන හේතුවෙන් විශාල අස්වැන්නක් අහිමි වන බව අපි දැනටමත් දන්නවා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සමග මෙම හානිකර ප්‍රවණතාවය වඩාත් නරක අතට හැරිය හැකියි”

ලෝකයේ වඩාත්ම වැදගත් බෝග පහ ලෙස සැලකෙන සහල්, තිරිඟු, බඩ ඉරිඟු, සෝයා බෝංචි සහ අර්තාපල් දිලීර හානිවලට බහුලව ලක්වන අතර මිලියන සිය ගණනක් ජනයා පෝෂණය කළ හැකි තරමේ අස්වනු හානියක් දිලීර රෝග නිසා සිදුවේ. මේ සම්බන්ධයෙන් Nature සඟරාවේ පළ වූ ලිපියක දැක්වෙන්නේ දැනටමත් දිලීර රෝග හේතුවෙන් කෘෂි බෝගවලින් 10% ත් 23%ත් අතර ප්‍රමාණයක් අහිමි වී ඇති බවයි.

කෘෂි බෝග වගාවන්ට විශාලතම බලපෑම ඇති මෑත කාලීන පළිබෝධ සහ රෝග කාරක ලැයිස්තුවේ ඉහළම අංක හයටම හිමිකම් දක්වා ඇත්තේ ද දිලීරයි. දිලීර ඇදහිය නොහැකි තරම් ඔරොත්තු දෙන අතර, පර්යේෂකයන් පවසන පරිදි දිලීර වසර 40 ක් දක්වා පසෙහි ශක්‍යව (සජීවීව) පවතින අතර ඒවායේ බීජාණුවලට වාතය හරහා මහද්වීප අතර ගමන් කළ හැකිය. “ඇමරිකාවේ ටොනේඩෝ වලින් පසු දිලීර බීජාණු බොහෝ දුර ගොස් ඇති බව ඔබට දැකගත හැකිය” ගුර් පැවසුවාය.

දිලීර නාශක බහුලව භාවිතා වන නමුත් එක් සෛලීය ක්‍රියාවලියක් පමණක් ඉලක්ක කර ගන්නා ප්‍රතිකාර වලට ප්‍රතිරෝධය වේගයෙන් පරිණාමය කිරීමට දිලීර රෝග කාරක හොඳින් හැකියාව වර්ධනය කරගෙන ඇත. දැනට පවතින දිලීර නාශක සහ රෝග ප්‍රතිරෝධය සඳහා සාම්ප්‍රදායික අභිජනනය තවදුරටත් ප්‍රමාණවත් නොවන බව පර්යේෂකයෝ පවසති.

මේ සඳහා එක් විසඳුමක් වන්නේ තනි වගාවට වඩා දිලීර ආසාදනයට ප්‍රතිරෝධී ජාන පරාසයක් රැගෙන යන බීජ මිශ්‍රණ (planting seed mixtures) සිටුවීමයි. 2022 දී ඩෙන්මාර්කයේ තිරිඟු වගාවෙන් හතරෙන් එකක් පමණ මේ ආකාරයෙන් වගා කරන ලදී. විද්‍යාඥයින් පවසන්නේ ඩ්‍රෝන යානා සහ කෘත්‍රිම බුද්ධිය මගින් දිලීර ආසාදන ව්‍යාප්ත වී යාම කලින් හඳුනා ගැනීමට සහ පාලනය කිරීමට ඉඩ ලබා දෙන බවයි.

ලෝකයේ වඩාත්ම වැදගත් බෝග පහ ලෙස සැලකෙන සහල්, තිරිඟු, බඩ ඉරිඟු, සෝයා බෝංචි සහ අර්තාපල් දිලීර හානිවලට බහුලව ලක්වන අතර මිලියන සිය ගණනක් ජනයා පෝෂණය කළ හැකි තරමේ අස්වනු හානියක් දිලීර රෝග නිසා සිදුවේ

නව පළිබෝධනාශක සංවර්ධනය වෙමින් පවතින අතර, එක්සෙටර් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් මෑතකදී දිලීර තුළ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් කිහිපයක් ඉලක්ක කරන රසායනික ද්‍රව්‍යවලට තුඩු දිය හැකි සංයෝග සොයා ගත් අතර එමඟින් ප්‍රතිරෝධය වර්ධනය කිරීම වඩාත් අපහසු වේ. තිරිඟු, සහල්, බඩ ඉරිඟු සහ කෙසෙල් ආසාදනය කරන දිලීර වලට එරෙහිව ප්‍රවේශය දැනටමත් ප්‍රයෝජනවත් බව පෙන්වා දී ඇත.

2020 සිට 2022 දක්වා එක්සත් රාජධානියේ පර්යේෂණ හා නවෝත්පාදන කවුන්සිලය විසින් Covid-19 පර්යේෂණ සඳහා වෙන් කරන ලද පවුම් මිලියන 550 සහ එම කාලය තුළම දිලීර බෝග පර්යේෂණ සඳහා වෙන් කළ ඩොලර් මිලියන 24ක ප්‍රතිපාදන අතර පරතරය සසඳන විට දිලීර රෝග කාරක පර්යේෂණ සඳහා වෙන්කරනු ලබන ප්‍රතිපාදනවල බරපතළ විෂමතා පවතින බව ද පර්යේෂකයෝ පැවසූහ.

“අපට ජීවත් වීමටවත් ප්‍රමාණවත් තරම් ආහාර නොලැබෙන්නේ නම් කොවිඩ් -19 වැනි වසංගත පැමිණීමට පෙර මන්දපෝෂණයෙන් අපි මිය යන බව නිසැකයි. නමුත් කෘෂි බෝග වගාවන් විනාශ කරන දිලීර රෝග වලට එරෙහිව සිදුවන අපගේ පර්යේෂණ ක්ෂේත්‍රය ඔබට සිතාගත  නොහැකි තරම් දුප්පත්. මානව රෝග වලට එරෙහි ප්‍රතිකාර සොයා ගැනීමට සිදුකරන පර්යේෂණවලට වෙන් කරන ප්‍රතිපාදනවලින් සියයට එකක්වත් අපගේ පර්යේෂණ වෙනුවෙන් ලබා දෙන්නේ නැහැ” මහාචාර්ය ඊවා ස්ටුකන්බ්‍රොක් පැවසුවාය.

https://www.theguardian.com