එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල සහ ලින්කන් අනුස්මරණය වසා දැමීමත් සමඟ එක්සත් ජනපදය දේශගුණික ව්‍යසනය අත්විඳිමින් සිටී

ලැව්ගිනි දුමාරයෙන් නිව් යෝර්ක් නගරයේ අහස තැඹිලි පැහැයට හැරෙන නොසන්සුන් දසුන, දේශගුණික අර්බුදයේ නිර්දය පීඩනය යටතේ එක්සත් ජනපදයේ ජන ජීවිතය බිඳ වැටීමට පටන් ගෙන ඇති බවට මෑත කාලීන ආපදා සංඥා මාලාවක නවතම දර්ශනය බව විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

ඔන්ටාරියෝ සහ ක්විබෙක්හි සියගණනක් ලැව්ගිනිවලින් පිටවන දුම් වළාකුළු තද සුළඟකින් දකුණට ගෙන යන බැවින් මේ වන විට නිව් යෝර්ක් නගරය ලෝකයේ වාතයේ ගුණාත්මක භාවය අවමනගරය බවට පත්ව ඇති අතර ඩෙට්‍රොයිට් දෙවන ස්ථානයට පත්ව සිටී.

එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ සිට ලින්කන් අනුස්මරණ ස්ථානය දක්වා සියල්ල මකා දමමින් ප්‍රධාන නැගෙනහිර වෙරළබඩ නගර ගිලගත් විෂ වායු අනතුරු ඇඟවීම් ප්‍රාන්ත ගණනාවක  මිලියන 110කට අධික ඇමරිකානුවන්ට දැඩි බලපෑම් එල්ල කර ඇත.

ජාතික කාලගුණ සේවයේ කාලගුණ විද්‍යාඥයෙකු සඳහන් කළේ නිව් යෝර්ක් නගරය “අඟහරු ග්‍රහයා මෙන්” පෙනෙන බවයි. එය මෑත එක්සත් ජනපද ඉතිහාසයේ ලැව්ගිනි වායු දූෂණය සඳහා නරකම දිනය වූ අතර, ජෝ බයිඩන් පවසන පරිදි, “දේශගුණික විපර්යාසවල බලපෑම පිළිබඳ තවත් පැහැදිලි මතක් කිරීමක්” විය.

නිව් යෝර්ක් නගර වසා ගෙන ඇති තැබිලි පැහැති අහස දුටු නිව් යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස්ගේ පළමු ප්‍රතිචාරය වූයේ “මේ මොන මගුලක්ද?” යන්නයි. මේ සමග නිව් යෝර්ක් හි ක්‍රීඩා පිටි වසා දමන ලද අතර බ්‍රෝඩ්වේ රඟහලේ නළුවන් වේදිකාවෙන් පලා ගියහ. නිව් යෝර්ක් වැසියන්ගේ ජීවිතය බඳු බේස්බෝල් ක්‍රීඩා නවත්වන ලද අතර කලින් ඉවත දමන ලද කොවිඩ් වසංගත මුහුණු ආවරණ හදිසියේම නැවත මුහුණුවලට තද කරන ලදී.

මෙවැනි ගැටලු සඳහා සැලැස්මක් හෝ පොදු වැඩපිළිවෙළක් නොමැති බව නිව් යෝර්ක් නගරාධිපති ඇඩම්ස් පිළිගත්තේය. “අපට හැකි තරම් සූදානම් වීමට අවශ්‍යයි. ඒත් මේ වගේ සිද්ධියක් ගැන අපට කිසිම සැලසුමක් නැහැ”

දේශගුණික අර්බුදය මගින් ජීවිතයේ අපේක්ෂිත රටාවන් යටපත් කිරීම එක්සත් ජනපදයේ මෑතකාලීන තේමාවක් බවට පත්ව ඇත. කෙසේ වෙතත් පසුගිය සති දෙක තුළ ගෝලීය උණුසුම උතුරු ඇමරිකානු මහාද්වීපය පුරා වේදනාකාරී සීමාවන් පනවා ඇති බව පෙන්නුම් කරයි.

එක්සත් ජනපදයේ විශාලතම රක්‍ෂණ සමාගම වන State Farm කැනඩාවේ මෙන් වර්ධනය වෙමින් පවතින ප්‍රාන්තයේ වඩ වඩාත් දරුණු ලැව්ගිනි මගින් ඇති කරන “ශීඝ්‍රයෙන් වර්ධනය වන ව්‍යසන නිරාවරණය” හේතුවෙන් ලොව හයවන විශාලතම ආර්ථිකය වන කැලිෆෝනියාවේ නව නිවාස රක්ෂණ ඔප්පු විකිණීම නවත්වන බව නිවේදනය කළේය. එක්සත් ජනපදයේ දෙවැනි විශාලතම රක්ෂණ සමාගම වන  Allstate ද ඉක්මනින්ම State Farm  අනුගමනය කළේය.

දේශගුණික විපර්යාස අනාගත ගැටලුවක් හෝ දුරස්ථ ගැටලුවක් නොවේ. අපි අද එහි බලපෑම කෙලින්ම අපේ පෙණහලුවලින් උරා ගන්නවා” Nature Conservancy හි දේශගුණ විද්‍යාඥවරියක් වන Katharine Hayhoe පැවසුවාය.

ටියුලේන් විශ්ව විද්‍යාලයේ දේශගුණ අනුවර්තනය පිළිබඳ ප්‍රවීණයෙකු වන ජෙසී කීනන් පැවසුවේ එක්සත් ජනපදයේ ඊසානදිග ප්‍රදේශයේ වෙසෙන ප්‍රගතිශීලී ඡන්දදායකයින් දේශගුණික හදිසි ගැටලුවක් යැයි විශ්වාස කරන නමුත් බොහෝ දෙනා මෑතක් වන තුරුම එය ඔවුන්ගේ ජීවිතවලට සෘජු තර්ජනයක් ලෙස නොසිතූ බවයි. බටහිර සිටින අයට දැන් ඔවුන් කලින් සිතුවාට වඩා බොහෝ අස්ථිර හා මිල අධික යථාර්ථයක් සමඟ පොරබැදීමට සිදුවී ඇත.

“විශ්‍රාම යාම හෝ අව්ව සහිත කාලගුණයක් ඇති පළාතකට යාම සහ යහපත් ජීවිතයක් ගත කිරීමේ අදහස දැන් බිඳෙනසුළු සිහිනයක් බවට පත්ව තිබෙනවා. දැන් කොතැනකවත් ආරක්ෂිත නැහැ. දේශගුණික විපර්යාසවල පිරිවැය වැඩිවෙමින් පවතින අතර එය පාඩු-අහිමි තත්වයක් බවට පත්ව තිබෙනවා. එය නිවාස හා මූල්‍ය යහපැවැත්මට ඍජුව බලපානවා. හොඳම වායු සමීකරණ සහ වායු පෙරීම ඇති අය එසේ නොකරන අයට වඩා හොඳින් ක්‍රියා කරන බැවින් මෙය අසමානතාවයන් උත්සන්න කරනවා. ජලය නොමැතිකම නිසා එක්සත් ජනපදයේ නිරිතදිග ප්‍රදේශයේ ජීවත් වීම අතිශයින් දුෂ්කර බව මිනිසුන් සැමවිටම දැන සිටි නමුත් සොබාදහම් මාතාව ජය ගැනීමට අපට ඇති හැකියාව ගැන අපට විශ්වාසයක් තිබුණා. එම විධානය සහ පරිසරය පාලනය කිරීම මෙතරම් කාලයක් ස්ථාවර පරිසරයක ක්‍රියා කළ නමුත් අපි දැන් සිටින්නේ අස්ථාවර පරිසරයක යි. අප විශ්වාසය තැබූ සියලු යටිතල පහසුකම් දැන් අසාර්ථක වෙමින් පවතින අතර ආපසු යාමක් ගැන සිතා ගැනීමට පවා නොහැකියි’’ ජෙසී කීනන් කීවේය.

තර්ජනාත්මක දේශගුණික පුවත් නොකඩවා පැමිණේ. ගෝලීය හරිතාගාර වායු විමෝචනය දැන් වාර්තාගත ඉහළ මට්ටමක පවතින බව පර්යේෂකයන් සොයා ගෙන ඇති අතර, ලෝකයේ සාගරවල උෂ්ණත්වය ද  වර්ධනය වේ. ගෝලීය උණුසුම ඉහළ නංවන එල් නිනෝ සංසිද්ධිය මේ වසර පුරාවටම ශක්තිමත් වනු ඇතැයි විද්‍යාඥයන් පසුගිය දා අනාවැකි පළ කිරීමත්, සයිබීරියාවේ සිට පුවර්ටෝ රිකෝ දක්වා සෑම තැනකම උණුසුම් තාප තරංග වඩාත් තීව්‍රර වෙමින් පවතී.

“දේශගුණික විපර්යාස අනාගත ගැටලුවක් හෝ දුරස්ථ ගැටලුවක් නොවේ. අපි අද එහි බලපෑම කෙලින්ම අපේ පෙණහලුවලින් උරා ගන්නවා” Nature Conservancy හි දේශගුණ විද්‍යාඥවරියක් වන Katharine Hayhoe පැවසුවාය.

ලෝකයේ විශාලතම බලශක්ති පාරිභෝගිකයින් වන බොහෝ ඇමරිකානුවන් ඔවුන්ගේ SUV රථ, විශිෂ්ට මස් කෑම සහ සුවිශාල නිවාස අත්හැරීමට තවමත් සූදානම් නැති නමුත් ඔවුන්ගෙන් තුනෙන් දෙකක් පමණ පවසන්නේ ඔවුන් අවම වශයෙන් ගෝලීය උණුසුම ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.

සුළං හා සූර්ය බලශක්තිය සඳහා වන මිල පහත වැටීම, ශුන්‍ය කාබන් මෝටර් රථ වැඩිවීම සහ දේශගුණික අර්බුදය විසඳීම සඳහා රජයේ ප්‍රමාද වූ ක්‍රියාමාර්ගය යන්නෙන් අදහස් කරන්නේ “ගැටලු වඩාත් නරක අතට හැරෙමින් පවතින අතර විසඳුම් යහපත් වෙමින් පවතින” බව යැයි Katharine Hayhoe පැවසුවාය.

“අපි ජීවත් වෙන්නේ හොඳම කාලවල සහ නරකම කාලවල. වඩාත් උණුසුම් කාලගුණයක්, වැඩි ගංවතුරක් සහ ශක්තිමත් කුණාටු සහිත දේශගුණික බලපෑම් ඉහළ යන බව අපි ඇත්ත වශයෙන්ම දකිනවා. නමුත් අපට වඩ වඩාත් ශක්‍ය වන විසඳුම් ද තිබෙනවා. මේ සත්‍ය දෙකම එකවිට පැවැත්වීම වැදගත්” Hayhoe වැඩි දුරටත් පැවසුවාය.

ඇය පැවසුවේ විමෝචනය බිංදුවට කපා හැරීමෙන් දේශගුණයට ක්ෂණික ප්‍රතිලාභ නොලැබෙන නමුත්, එය නිව්යෝර්ක් අත්විඳ ඇති මට්ටමට සමාන දරුණු මට්ටමකින් දිල්ලිය වැනි නගරවලට නිතිපතා බලපාන වායු දූෂණයේ සංඛ්‍යාව ඉක්මනින් අඩු කරනු ඇති බවයි.

“අපි දේශගුණය යහපත් කරන්නේ නම්, එය පොදුවේ ජීවිතය යහපත් කරවි. ඇත්ත වශයෙන්ම අපි එක්සත් ජනපදයේ සිදුවන බලශක්ති සංක්‍රාන්තිය දැකීමට පටන් ගෙන තිබෙනවා. එය සිදුවන්නේද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවෙයි. වැදගත් වන්නේ එය ප්‍රමාණවත් තරම් වේගවත් ද සහ සාධාරණ ද යන්නයි. ඒක තමයි අපිට තවම වැඩ කරන්න තියෙන්නේ.” Hayhoe වැඩි දුරටත් පැවසුවාය.

https://www.theguardian.com/environment/2023/jun/09/canada-wildfire-smoke-climate-crisis