ඉතිහාසයේ නැවත නැවතත් පෙන්නුම් කර ඇත්තේ සැලකිය යුතු සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වූ විට, එය බොහෝ විට ආරම්භ වන්නේ එක් අයෙකු හෝ දෙතුන් දෙනෙකු විසින් බවයි

19 වැනි වියේ පසුවන ග්‍රේස් ගිබ්සන්-ස්නයිඩර් (Grace Gibson-Snyder) ඇගේ උපන් ප්‍රාන්තය වන මොන්ටානාවට ආදරය කරයි. එහි අනාගතය ගැන සිතන විට ඇය භීතියෙන් සැලී යයි. තමා කුඩා කල සිටම ආදරය කරන භූමිය වෙනස් වනු බව දුටු බව ග්‍රේස් පසුගිය දා මොන්ටානාහි අධිකරණයට පැවසුවාය. ඇය ඔරු පදමින් හැදී වැඩුණු ගංගා අද වන විට වියළි කාලගුණය මධ්‍යයේ වියළි යමින් තිබේ. පාපන්දු පුහුණුවීම් අතරතුර ඇය ආශ්වාස කරන වාතය බොහෝ විට ලැව්ගිනි දුමෙන් පිරී යයි. මොන්ටානා හි ජාතික වනෝද්‍යානයේ ග්ලැසියර දිය වෙමින් පවතී.

“මට මොන්ටානාවේ, මේ පොළොවේ ජීවත් වීමට වසර 80ක් ඉතිරිව ඇතැයි මම සිතනවා. ඒ අවුරුදු 80 තුළ මගේ සෞඛ්‍යය, මගේ ජීවනෝපාය, මගේ නිවස අනතුරේ වැටෙන බව මට දැන් දැනෙනවා” ග්‍රේස් අධිකරණයට කීවාය.

ග්‍රේස් ගිබ්සන්-ස්නයිඩර් යනු HELD V MONTANA නඩුවේ තරුණ පැමිණිලිකරුවන් 16 දෙනාගෙන් කෙනෙකි. එක්සත් ජනපද ඉතිහාසයේ ප්‍රථම ව්‍යවස්ථාමය දේශගුණික අත්හදා බැලීම සනිටුහන් කරමින් එය මොන්ටානා ප්‍රාන්ත අගනුවර වන හෙලේනා හි විභාග කරනු ලැබේ.

තරුණ පැමිණිකරුවන් 16 දෙනා තර්ක කරන්නේ පොසිල ඉන්ධන සඳහා ගැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

තරුණ පැමිණිකරුවන් 16 දෙනා තර්ක කරන්නේ පොසිල ඉන්ධන සඳහා ගැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

තරුණයන් විසින් ගොනු කළ මීට සමාන ව්‍යවස්ථාමය නඩු දැනට වෙනත් ප්‍රාන්ත හතරක විභාග වෙමින් පවතී. එක් ෆෙඩරල් නඩුවක් වන Juliana v United States ද විභාග වෙමින් පවතින අතර එය නඩු විභාගයට යන බව මෑතකදී නිවේදනය කරන ලදී.

නමුත් Held v Montana එම තීරණාත්මක අවස්ථාවට පැමිණි පළමු අවස්ථාවයි. විනිසුරු කැතී සීලි විසින් තීරණය කරනු ලබන මෙම නඩුව රට පුරා දෝංකාර දිය හැකි බව විශේෂඥයෝ පවසති.

කොලොම්බියා නීති විද්‍යාලයේ දේශගුණික විපර්යාස නීතිය පිළිබඳ සබින් මධ්‍යස්ථානයේ (Sabin Center for Climate Change Law at Columbia Law School) නිර්මාතෘ මයිකල් ජෙරාඩ් පැවසුවේ “මෙම නඩුවේ හිතකර තීරණයක් එක්සත් ජනපදය පුරා සහ ඇත්ත වශයෙන්ම ලොව පුරා දේශගුණ පැමිණිලිකරුවන්ට ඉතා ශක්තියක් වනු ඇතැයි මම සිතනවා. එහි තාක්ෂණික නීතිමය පූර්වාදර්ශය මොන්ටානා දේශසීමාවෙන් ඔබ්බට අදාළ නොවන නමුත්, එය වෙනත් ස්ථානවල නඩු පැවරීමට හේතු විය හැකියි. තවත් තරුණයින් නඩු පැවරිය හැකියි. තවත් නීති සමාගම් සම්බන්ධ විය හැකියි. අනිකුත් විනිසුරුවන් ඔවුන්ගේ නඩු විභාග කිරීමට වැඩි කැමැත්තක් දැක්විය හැකියි’’

Held v Montana විශේෂයෙන් මොන්ටානා පාරිසරික ප්‍රතිපත්ති පනතේ (Montana Environmental Policy Act) කොටසක් ඉලක්ක කරයි. එය දේශගුණික විපර්යාස සඳහා මොන්ටානාහි බලශක්ති ආර්ථිකය දායක විය හැකි ආකාරය සලකා බැලීමෙන් වළක්වයි. එම විධිවිධානය (මෙම නඩු විභාගයේදී සාක්ෂි දුන් පැමිණිලිකරුවන් සහ විශේෂඥ සාක්ෂිකරුවන් පෙන්වා දුන් ආකාරයට) දේශගුණික අර්බුදය උග්‍ර කරන බැවින් එය රාජ්‍යයේ ව්‍යවස්ථාපිත පාරිසරික අයිතිවාසිකම් සමඟ නොගැලපේ.

නඩු විභාගයේදී පැමිණිලිකරුවන්ගේ චෝදනා විකාර සහගත බව රජයේ නීතිඥයින් යෝජනා කර ඇත.

“මොන්ටානා හි විමෝචනය කිසිදු වෙනසක් සිදු කිරීමට නොහැකි තරම් ඉතා කුඩා ය” යනුවෙන් ප්‍රාන්ත සහකාර නීතිපති මයිකල් රසල් සිය ආරම්භක දේශනයේදී පැවසීය.

මොන්ටානා පාරිසරික ප්‍රතිපත්ති පනත වෙනස් කළහොත් හෝ පෙරළා දැමුවහොත්, දේශගුණයට “අර්ථවත් බලපෑමක් හෝ සැලකිය හැකි බලපෑමක්” ඇති නොවන බව ඔහු අවධාරණය කළේය. ඇත්ත වශයෙන්ම මොන්ටානා හි කාබන් දායකත්වය කෙතරම් නොසැලකිලිමත්ද යත් දේශගුණික අර්බුදයේ දී රාජ්‍යයේ භූමිකාව “ප්‍රේක්ෂකයෙකුගේ” කාර්යභාරය වේ.

තරුණ පැමිණිලිකරුවන් සහ ඔවුන් ස්ථාවරයට සහය දැක්වීමට ඉදිරිපත් වූ විශේෂඥයින් හරිතාගාර වායු විමෝචනයේ අන්තරායන් ගැන කතා කරන විට රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සතිය පුරා මෙම තර්කය පුනරුච්චාරණය කළහ. නමුත් මෙම උපක්‍රමය අලුත් දෙයක් නොවන බව විශේෂඥයෝ පවසති.

මැසචුසෙට්ස් සහ තවත් ප්‍රාන්ත 11ක් සහ සමහර නගර පරිසර ආරක්ෂණ ඒජන්සියට එරෙහිව නඩු පැවරූ Massachusetts v EPA නඩුවේදී ද එක්සත් ජනපද රජය මොන්ටානා උපක්‍රමයම භාවිතා කිරීමට උත්සාහ කළ අතර, එක්සත් ජනපද මෝටර් වාහන විමෝචනය මැඩපැවැත්වීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයි තර්ක කළේය.

“ශ්‍රේෂ්ඨාධිකරණය එම තර්කය ප්‍රතික්ෂේප කළා,” මයිකල් ජෙරාඩ් පැවසීය.

වෙනත් දේශගුණික නඩු වල විත්තිකරුවන් ද වගකීම පැහැර හැරීමට උත්සාහ කර ඇත. 2017 සිට, ප්‍රාන්ත සහ මහ නගර සභා දේශගුණික අර්බුදයේ අන්තරායන් සැඟවීම සඳහා පොසිල ඉන්ධන සමාගම්වලට එරෙහිව නඩු රාශියක් පවරා ඇත. විත්තිකරුවන් දිගු කලක් තිස්සේ තර්ක කර ඇත්තේ, අභියෝග කරන්නන්ට වඩාත් හිතකර ලෙස සලකනු ලබන නඩු ගොනු කරන ලද ප්‍රාන්ත අධිකරණ වෙනුවට ෆෙඩරල් අධිකරණවල විභාග කළ යුතු බවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මෑත කාලීන තීන්දු දෙකකින් එය පසුපසට තල්ලු කළේය.

මෙම උපක්‍රමය තවත් ඈතට දිව යන බව දේශගුණික වැරදි තොරතුරු (climate misinformation) පිළිබඳ පර්යේෂණ කරන දේශගුණ විමර්ශන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කර්ට් ඩේවිස් (Kert Davies, director of the Climate Investigations Center) පැවසීය. 1990 ගණන්වල මුල් භාගයේදී, ගෝලීය දේශගුණික සන්ධානය (Exxon, Chevron, Ford සහ General Motors වැනි ව්‍යාපාරවල දේශගුණික ක්‍රියාමාර්ගවලට විරුද්ධ වූ ජාත්‍යන්තර බලපෑම් කණ්ඩායමක්) Kyoto ප්‍රොටෝකෝලයේ අවශ්‍යතාවයට එරෙහිව තර්ක කිරීමට මීට සමාන තර්කයක් ඉදිරිපත් කළ බව ඔහු පැවසීය.

“මෙය ගෝලීය ගිවිසුමක් නොවන නිසා එය ක්‍රියා නොකරනු ඇති බව පවසමින් ඔවුන් එක්සත් ජනපදයෙන් සහ එක්සත් ජනපද ව්‍යාපාරවලින් පීඩනය ඉවත් කිරීමට උත්සාහ කළා” ඔහු පැවසීය.

සමහර විද්වතුන් මෙම උපාය මාර්ගය හඳුන්වන්නේ “Whataboutism” යනුවෙනි. බර්ලිනයේ පර්යේෂකයෙකු වන විලියම් එෆ් ලැම්බ් විසින් මෙහෙයවන ලද 2020 අධ්‍යයනයක් මගින් දේශගුණික ක්‍රියාකාරකම් හිතාමතාම තල්ලු කිරීම සඳහා පොසිල ඉන්ධන කර්මාන්තය විසින් භාවිතා කරන ලද “ප්‍රමාදයේ කතිකාවක්” ලෙස මෙම උපක්‍රමය හඳුනාගෙන ඇත.

  • Whataboutism – ප්‍රති – චෝදනාවක් කිරීමෙන් හෝ වෙනත් ප්‍රශ්නයක් මතු කිරීමෙන් චෝදනාවකට හෝ දුෂ්කර ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්වීමේ තාක්ෂණය හෝ භාවිතය. / Whataboutery යන්නෙන් අදහස් කරන්නේ විවේචනාත්මක ප්‍රශ්නයකට හෝ තර්කයකට පිළිතුරු නොදෙන හෝ සාකච්ඡා නොකරන නමුත් ප්‍රති-චෝදනාවක් ප්‍රකාශ කරන විවේචනාත්මක ප්‍රති-ප්‍රශ්නයකින් ප්‍රතිප්‍රහාර එල්ල කරන ක්‍රියා පටිපාටියකි.

“Whataboutism” හි ගැටලුව වන්නේ එහි සත්‍යයේ බීජ අඩංගු වීමය. දේශගුණික අර්බුදය ඇත්ත වශයෙන්ම ගෝලීය ගැටලුවකි. එය මොන්ටානාට තනිවම ගත නොහැකි එකකි.

නමුත් ස්ටොක්හෝම් පරිසර ආයතනයේ පර්යේෂකයෙකු සහ පැමිණිලිකරුවන් විසින් ආරාධනා කරන ලද විශේෂඥ සාක්ෂිකරුවෙකු වන පීටර් එරික්සන්  සාක්ෂි දුන් පරිදි, සමහර රටවලට වඩා හරිතාගාර වායු දූෂණයට මොන්ටානා වගකිව යුතුය. ඔහු පැහැදිලි කළේ 2019 දී මොන්ටානා ප්‍රාන්තයේ දේශසීමා තුළ පරිභෝජනය කරන බලශක්තිය, මොන්ටානාට වඩා හය ගුණයකින් විශාල ජනගහනයක් සිටින අයර්ලන්තය තරම් විමෝචනයක් නිර්මාණය කළ බවයි.

විමෝචනය වන සෑම හරිතාගාර වායු ඒකකයක්ම පෘථිවිය උණුසුම් කරන බව පැමිණිලිකරුවන් සහ ඔවුන්ගේ නීතිඥයින් සහ විශේෂඥ සාක්ෂිකරුවන් නැවත නැවතත් අවධාරණය කළහ. මොන්ටානා ප්‍රාන්තයට ගැටලුව තනිවම විසඳා ගත නොහැකි වුවද, එය සැබෑ දායකත්වයක් ලබා දිය හැකිය.

“මෙම අවකාශයේ වැඩ කරන අය බොහෝ දෙනා දන්නා පරිදි සෑම කාබන් ටොන් එකක්ම වැදගත් වන අතර එය මොන්ටානාහි කියා වෙනසක් නැත” පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ බාබරා චිල්කොට් පැවසුවාය.

මොන්ටානා අධිකරණයෙන් පැමිණිලිකරුවන් වාසිදායක හෝ හිතකර තීන්දුවක් ලැබුණහොත් වෙනත් ස්ථානවල මෙවැනිම නෛතික සටන් ආරම්භ කළ හැකි බව මොන්ටානා විශ්ව විද්‍යාලයේ පරිසර පද්ධති සහ සංරක්ෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ පැමිණිලිකරුවන්ගේ ප්‍රවීණ සාක්ෂිකරු Steven Running පැවසීය.

“ඉතිහාසයේ නැවත නැවතත් පෙන්නුම් කර ඇත්තේ සැලකිය යුතු සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වූ විට, එය බොහෝ විට ආරම්භ වන්නේ එක් අයෙකු හෝ දෙතුන් දෙනෙකු විසින් බවයි” ඔහු පැවසීය.

https://www.theguardian.com/us-news/2023/jun/17/montana-climate-trial-helena