තරුණ පැමිණිලිකරුවන්ගේ ජයග්‍රහණය ෆොසිල ඉන්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය වෙනස් නොකරන බව නිලධාරීහු පවසති

මොන්ටානා ප්‍රාන්ත ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින නිලධාරීන් පසුගිය සඳුදා (19) අධිකරණය හමුවේ කියා සිටියේ නඩුවේ තරුණ පැමිණිලිකරුවන් මෙම නඩුවෙන් ජයග්‍රහණය කළ ද පොසිල ඉන්ධන ව්‍යාපෘති සඳහා ලබා දී ඇති අනුමැතිය වෙනස් නොකරන බවයි.

මොන්ටානා ප්‍රාන්ත නීතිපතිවරයාගේ නීතීඥයින් පසුගිය සතියේ සාක්ෂි දීමෙන් පසුව ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

තරුණ පැමිණිලිකරුවන් 16 දෙනා පවසන්නේ කාර්මික යුගයේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ලැව්ගිනි දුම, අධික තාපය සහ උණුසුම් දේශගුණයේ වෙනත් බලපෑම් නිසා තමන්ට හානියක් සිදුවන බවයි.

ෆොසිල ඉන්ධන සංවර්ධනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී හරිතාගාර වායුවල බලපෑම සලකා බැලීම වළක්වන රාජ්‍ය නීතියක් ව්‍යවස්ථා විරෝධී ලෙස ප්‍රකාශ කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටී.

විද්වතුන් පවසන පරිදි ගල් අඟුරු, ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු වලින් සිදුවන හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවිය උණුසුම් වන අතර IPPC අනතුරු අඟවන්නේ මෙය වේගවත් හා දැඩි ක්‍රියාමාර්ගයකින් පමණක් වළක්වා ගත හැකි ආපසු හැරවිය නොහැකි හානියක අද්දරට තල්ලු කරන බවයි.

පැමිණිලිකරුවන්ගේ නීතීඥයින් පවසන්නේ මොන්ටානා ප්‍රාන්තය කිසි විටෙක ෆොසිල ඉන්ධන ව්‍යාපෘතියක් සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර නොමැති නමුත් තරුණ පරිසරවේදීන් ඔවුන්ගේ නඩුව ජයග්‍රහණය කළහොත් බලපත්‍ර නිකුත් කිරීමේ භාවිතයන් වෙනස් නොවන බව ප්‍රාන්තයේ ප්‍රධාන පරිසර නියාමකයා පසුගිය 19 වැනිදා අධිකරණයේදී කියා සිටි බවයි.

“නීතියට සම්පූර්ණයෙන්ම අනුකූල වන දෙයකට ඉඩ නොදීමට අපට බලයක් නැහැ” යනුවෙන් පාරිසරික තත්ත්ව දෙපාර්තමේන්තුවේ (DEQ) අධ්‍යක්ෂ, Chris Dorrington පැවසීය. “නීතිය හැදුවේ අපි නෙවෙයි. අපි තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ.”

රාජ්‍ය නිලධාරීන් විසින් අභියෝගයට ලක්වන නීතිය (මොන්ටානා පරිසර ආරක්ෂණ පනතේ විධිවිධානයක් වන “ක්‍රියාපටිපාටික” ලෙස) සහ මොන්ටානාහි පිරිසිදු වායු පනත වැනි නියාමන පනත් අතර වෙනසක් ද පෙන්නුම් කළහ.

බලපත්‍ර ප්‍රතික්ෂේප කිරීම සඳහා පදනම ලෙස නියාමන පනත් පමණක් භාවිතා කළ හැකි අතර, දේශගුණික බලපෑම් මත මොන්ටානා හි බලපත්‍ර ප්‍රතික්ෂේප කිරීමට ඉඩ නොදෙන බව DEQ ගුවන්, බලශක්ති සහ පතල් අංශයේ පරිපාලක, Sonja Nowakowski පැවසීය.

තරුණ පැමිණිලිකරුවන් පසුගිය සතියේ දින පහක් පුරා සාක්ෂි දෙමින් කියා සිටියේ දේශගුණික අර්බුදය ඔවුන්ගේ ජීවිත විනාශ කරන බවත්, නරක අතට හැරෙන ලැව්ගිනිවලින් දුමාරය තමන් හුස්ම ගන්නා වාතය යටපත් කරන බවත්ය. මේ අතර නියඟය නිසා කෘෂිකර්මාන්තය, මත්ස්‍යයන්, වන සතුන් සහ විනෝදාස්වාදය පෝෂණය කරන ගංගා සිඳී යන බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මිසූලා හි හැදී වැඩුණු මොන්ටානා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන 20 හැවිරිදි ඔලිවියා වෙසොවිච් පැවසුවේ ලැව්ගිනි දුම දරාගත නොහැකි තරම් හුස්ම ගැනීමේ ගැටලු වලින් ඇය පෙළෙන බවයි.

මිසූලාව වැසී ඇති නිරන්තර දුම් සිදුවීම් වලදී ඇගේ ශ්වසන ප්‍රතික්‍රියා නරක අතට හැරුණු හෙයින්, වෙසොවිච් පැවසුවේ මෑත වසරවලදී ඇගේ මව පිරිසිදු වාතය සොයා ගැනීම සඳහා ලැව්ගිනි අතරතුර ඔවුන් දිගු ගමනක් යාමට පටන් ගත් බවයි.

“ලැව්ගිනි නිසා මට හුස්ම හිරවන බවක් දැනෙනවා. දේශගුණික විපර්යාස මේ වන විට අපේ ලෝකයට විශාල විනාශයක් සිදු කරන අතර එය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි මම දන්නවා” ඇය පැවසුවාය.

පූර්ව තීන්දු වලදී, ප්‍රාන්ත දිස්ත්‍රික් විනිසුරු කැතී සීලි නඩුවේ විෂය පථය සැලකිය යුතු ලෙස පටු කළේය. පැමිණිලිකරුවන් ජය ගත්තද, දේශගුණික ක්‍රියාමාර්ග සඳහා නව ප්‍රවේශයක් සැකසීමට නිලධාරීන්ට නියෝග නොකරන බව විනිසුරුවරිය පවසා ඇත.

ඒ වෙනුවට, නිලධාරීන් රාජ්‍ය ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බව පවසමින් විනිසුරුවරයාට “ප්‍රකාශන විනිශ්චයක් / declaratory judgment” ලෙස හඳුන්වන දෙය නිකුත් කළ හැකිය. එය සාමාන්‍යයෙන් රජයේ අනෙකුත් ශාඛා වෙත පැවරෙන නඩු සම්බන්ධයෙන් කිරා මැන බැලීමේ නව නීතිමය පූර්වාදර්ශයක් සකසනු ඇත.

https://www.theguardian.com