වාර්තා තැබීම ආරම්භ වූ දා සිට බීජිං එහි උණුසුම්ම ජුනි දිනය සටහන් කළ බව චීන ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේය. පසුගිය බ්‍රහස්පතින්දා උතුරු චීනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ ගිය අතර එය වාර්තාගත උෂ්ණත්වයක් බවයි චීන ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේ.

අද දින (සිකුරාදා) බේයිජිං අගනුවර උණුසුම් කාලගුණය සඳහා වන අනතුරු ඇඟවීම (වර්ණ කේත සහිත අනතුරු ඇඟවීමේ පද්ධතියක ඉහළම අගය) “රතු” දක්වා ඉහළ නැංවීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇත. නගරයේ බොහෝ ප්‍රදේශ සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවත් එය අති අවදානම් තත්ත්වයක් බවයි කාලගුණ සේවය ප්‍රකාශ කළේය.

(චීනයට වර්ණ හතරක කාලගුණ අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඇත, රතු වඩාත් දරුණු, පසුව තැඹිලි, කහ සහ නිල් වශයෙන්)

විද්‍යාඥයින් පවසන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම (බොහෝ දුරට පොසිල ඉන්ධන දහනය කිරීම නිසා) ලොව පුරා ආන්තික කාලගුණය උග්‍ර කරන අතර ආසියාවේ බොහෝ රටවල් මෑත සතිවල මාරාන්තික තාප තරංග සහ වාර්තාගත උෂ්ණත්වයන් අත්විඳ ඇති බවයි.

අගනුවර උෂ්ණත්වය සඳහා මිණුම් ලකුණක් ලෙස සැලකෙන දකුණු බෙයිජිං හි නන්ජියාඕ කාලගුණ මධ්‍යස්ථානයේ, බ්‍රහස්පතින්දා සවස 3.19 ට උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.1C දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ සේවය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

මෙම අගය 1961 ජුනි මාසයේ දී වාර්තා වූ ඉහළම උෂ්ණත්ව වාර්තාව වන 40.6C ට වඩා අංශක භාගයක් අඩුය (චීනය කාලගුණ වාර්තා තබා ගැනීමට පටන් ගත් වර්ෂය).

“මෙම ස්ථානය වාර්තා ආරම්භයේ සිට තුන් වතාවක් සෙල්සියස් අංශක 41 ඉක්මවූ උෂ්ණත්වයකට පැමිණ තිබෙනවා. ඉදිරි දින දෙක සඳහා බීජිං හි සැලකිය යුතු තාපයක් පවතිනු ඇතැයි අපි උපකල්පනය කර තිබෙනවා. සමහර විට එම අගය 38C සිට 39C දක්වා ළඟා විය හැකියි.” කාලගුණ සේවය ප්‍රකාශ කළේය.

අගනුවර අවට අනෙකුත් කාලගුණ මධ්‍යස්ථාන 22 දා නන්ජියාඕ වාර්තා කළ උෂ්ණත්වයටත් වඩා ඉහළ උෂ්ණත්වයක් වාර්තා කර ඇති කළ අතර, උතුරු බීජිං හි ටැන්හෙකූ හි දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.8ක් දක්වා ඉහළ ගොස්, රටේ උණුසුම්ම ස්ථානය බවට පත් වූ බව රාජ්‍ය මාධ්‍ය පැවසුවේය.

මිනිසා විසින් ඇති කරන දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකය පුරා තාප තරංග වඩාත් තීව්‍ර වීමට ඉඩ තිබේ.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව, රටපුරා, කාලගුණ මධ්‍යස්ථාන 17ක් 22 වැනිදා “වාර්තාගත ඉහළ උෂ්ණත්ව අන්තයන්” වාර්තා කර ඇත.

Weibo සමාජ මාධ්‍ය වේදිකාවේ එක් පරිශීලකයෙක් මෙසේ ලිවීය: “මීට පෙර කිසි දිනෙක ජුනි මාසයේදී මෙතරම් උණුසුම් නොවීය, නමුත් දැන් එය ඉතා උණුසුම් බැවින් මගේ දෑත් වෙව්ලනවා’’

‘’දැන් බීජිං නගරයට ඉහළින් හිරු තුනක් දිලිසෙනවාද?” තවත් අයෙක් ලීවේය.

බොහෝ චීන ජාතිකයන් එළිමහනට ගොස් සමාජගත වන කාලය වන මකර බෝට්ටු සැණකෙළියට සමගාමීව මෙම දැඩි උණුසුම වර්ධනය වී ඇත.

දින තුනක රජයේ නිවාඩු කාලය පුරාවට උතුරු චීනය පුරා, විශේෂයෙන්ම බීජිං අවට සහ අභ්‍යන්තර මොංගෝලියාවේ සහ සින්ජියැන්ග් ප්‍රදේශ වල ඉහළ උෂ්ණත්වයන් පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත.

“මෙම වත්මන් අධි-උෂ්ණත්ව කාලගුණ පද්ධති විශාල ප්‍රදේශයකට බලපාන අතර දිගු කාලයක් පවතිනවා” යනුවෙන් රාජ්‍ය රූපවාහිනිය පැවසීය.

එළිමහනේ කාලය සීමා කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා ඇති අතර තාප ආඝාතය සහ අනෙකුත් සෞඛ්‍ය පැමිණිලි පිළිබඳ ඉහළ අවදානමක් පිළිබඳව අනතුරු අඟවා ඇත.

බීජිංහි කාලගුණ අධිකාරිය දැඩි උණුසුම සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර “දිගු කාලයක් එළිමහනේ ව්‍යායාම කිරීමෙන් වළකින්න … සහ සූර්යයාගෙන් ආරක්ෂා වීමට ඵලදායී පියවර ගන්නා ලෙස” ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අනතුරු ඇඟවීමක් ද ක්‍රියාත්මක වූ Tianjin හි නිලධාරීන් පැවසුවේ සාමාන්‍ය ජනතාව තාප ප්‍රේරිත ආඝාතවලට එරෙහිව “දැනුවත්ව සිටිය යුතු අතර පූර්වාරක්ෂාව ගත යුතු” බවයි.