අඩු විමෝචන කලාප (Low emission zones – LEZs) සෞඛ්‍යය වැඩි දියුණු කරන බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

එක්සත් රාජධානිය, යුරෝපය සහ විශේෂයෙන් ජපානයේ ටෝකියෝ හි අඩු විමෝචන කලාප 320කට වඩා ක්‍රියාත්මක වේ. මෙම කලාප තුළට අධික ලෙස වාතය දූෂණය කරන වාහන, විශේෂයෙන් පැරණි ඩීසල් වාහන ඇතුළු කිරීම සීමා කිරීම මගින් මෙම ප්‍රදේශ තුළ වායු දූෂණය අඩු කිරීමට පියවර ගෙන ඇත. ලන්ඩනයේ ද අතිශය අඩු විමෝචන කලාපය ඇතුළු යෝජනා ක්‍රම මගින් වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු වී ඇති බව සොයා ගෙන ඇත.

පර්යේෂකයින්ට අනුව මෙම පියවර මගින්  ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යය වැඩිදියුණු විය යුතුය. නමුත් මෙය ඇත්ත වශයෙන්ම සිදු වේද?

Lancet Public Health සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකට අනුව පර්යේෂකයින් කණ්ඩායමක් විසින් ලොව පුරා අඩු විමෝචන කලාප පිළිබඳ අධ්‍යයනයක් සිදුකරමින් එහි සෞඛ්‍ය ප්‍රතිලාභ සම්බන්ධ විමර්ෂණයක් සිදුකර ඇත.

මෙම අධ්‍යයන කණ්ඩායමේ කටයුතු කළ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි රෝස්මරී චේම්බර්ලයින් තම සොයා ගැනීම් ගැන මෙසේ පැවසුවාය: “අපට අවශ්‍ය වූයේ ගෝලීය වශයෙන් අඩු විමෝචන කලාප සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඒවායේ කාර්යක්ෂමතාව අවබෝධ කර ගැනීමට සහ වායු දූෂණයට විසඳුම් සෙවීම සඳහා අනාගත සැලසුම් සකස් කිරීමටයි”

අඩු විමෝචන කලාප සෑම තැනකම එක හා සමාන නොවන අතර  ඒවා සංසන්දනය කිරීමට අපහසු වේ. සමහර කලාප ලොරි සහ බස් රථ සඳහා පමණක් අදාළ වන අතර අනෙක් ඒවාට කුලී රථ, කාර් සහ යතුරුපැදි ද ඇතුළත් වේ. එක් එක් රටවල සෞඛ්‍ය පර්යේෂකයන් ද විවිධ ප්‍රවේශයන් සහ විවිධ දත්ත මූලාශ්‍ර භාවිතා කළහ. අධ්‍යයනයන් අඩු විමෝචන කලාප ආරම්භක දිනයට පෙර සහ පසු දත්ත සංසන්දනය කළ අතර සමහරක් අඩු විමෝචන කලාප නොමැති ප්‍රදේශ සමඟ සැසඳීම් ද සිදු කළහ.

ප්‍රවේශයේ මෙම වෙනස්කම් තිබියදීත් අඩු විමෝචන කලාප සම්බන්ධ අධ්‍යයනයන් අටෙන් පහක් ඒවා ක්‍රියාත්මක කළ විට හෘද හා රුධිර සංසරණ ගැටලු වල පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කළේය. මෙයට ඇතුළත් වූයේ රෝහලට ඇතුළත් කිරීම් අඩු වීම, හෘදයාබාධ හා ආඝාත හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු වීම සහ රුධිර පීඩන ගැටලු ඇති පුද්ගලයින් අඩු වීම ය.

මෙම ප්‍රතිඵල ජර්මනිය, ජපානය සහ එක්සත් රාජධානියේ අඩු විමෝචන කලාපවලින් පැමිණ ඇත. ජර්මානු අධ්‍යයනයකින් එකක් අඩු විමෝචන කලාප සහිත නගර 69කින් රෝහල් දත්ත විශ්ලේෂණය කළේය. එහි හෘදයාබාධ 2%-3% කින් අඩු වී ඇති අතර ආඝාතය 7%-12% කින් අඩු වී ඇත. මෙහි ඉහළම ප්‍රතිලාභීන් බවට වැඩිහිටියන් පත්ව ඇති බව ද පර්යේෂකයින් සොයා ගත්හ.

සියලුම අධ්‍යයනයන් එකම ප්‍රතිඵල වාර්තා කර නැත. ජර්මනියේ, ජපානයේ සහ එක්සත් රාජධානියේ කලාප ආවරණය කරමින් සිදුකළ අධ්‍යයන පහක්, හුස්ම ගැනීමේ සහ පෙනහළු ගැටලු පිළිබඳව සොයා බැලීය. වැඩිදියුණු කිරීම් දෙකක් සොයා ගෙන ඇති අතර ඉතිරිය නිශ්චිත ප්‍රතිඵලයක් නොපෙන්වයි. කිසිම නගරයක පැහැදිලි පිරිහීමක් පෙන්නුම් කර නැත.

රෝස්මරී චේම්බර්ලයින්  තම සොයා ගැනීම් ගැන මෙසේ පැහැදිලි කළාය: “හෘද රෝග සහ ආඝාත වැනි හෘද වාහිනී රෝග සඳහා වඩාත්ම අනුකූල වන සාක්ෂි සහිතව, වායු දූෂණයට සම්බන්ධ සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීමට අඩු විමෝචන කලාප වලට හැකි බව මෙම සමාලෝචනය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් දිගුකාලීන ප්‍රතිලාභ සම්පූර්ණයෙන්ම විනිශ්චය කිරීමට අප ඉක්මන් නොවිය යුතුයි”

වායු දූෂණයේ බලපෑම පිළිබඳ නවතම සාක්ෂි අපට පවසන්නේ වායු දූෂණයෙන් සිදුවන සෞඛ්‍ය හානිය අපගේ ජීවිත කාලය පුරාම පවතින බවයි. වායු දූෂණයෙන් ඇති වන පිළිකාව වඩාත් පැහැදිලි උදාහරණයකි. නමුත් එය දරුවන්ගේ ශාරීරික හා සංජානන වර්ධනයට බාධා කරන අතර පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් සහ ඩිමෙන්ශියාව ඇතුළු නිදන්ගත රෝගවලට හේතු වෙයි.

ජර්මානු කලාප පිළිබඳ අධ්‍යයන දෙකකින් පෙන්නුම් කළේ සෞඛ්‍ය ප්‍රතිලාභ වසර තුනක සහ පහක කාලසීමාවන් තුළ වර්ධනය වන බව පෙන්නුම් කළද, LEZ අධ්‍යයනයන් ජීවිත කාලයෙහි බලපෑම් පෙන්වීමට ප්‍රමාණවත් නොවන බවයි. ටෝකියෝ කලාපයේ එක් අධ්‍යයනයකින් වසර හයේ සිට නවය දක්වා පෙනහළු පිළිකා අනුපාතවල පහළ යාමක් අනාවරණය විය.

එක්සත් ජනපද සෞඛ්‍ය බලපෑම් ආයතනයේ (US Health Effects Institute) මහාචාර්ය ඩෑන් ග්‍රීන්බෝම් මෙසේ පැවසීය: “අපි නව වායු තත්ත්ව සැලසුමක් ක්‍රියාත්මක කරන විට එහි ප්‍රතිලාභ මොනවාදැයි තක්සේරු කරනවා. මෙම නව විශ්ලේෂණය ඇතුළුව වර්ධනය වන සාක්ෂි සමූහයක් පෙන්නුම් කරන්නේ අඩු විමෝචන කලාප මගින් පැහැදිලිවම සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිවන බවයි’’

https://www.theguardian.com