මේ දක්වා ලෝකයේ වාර්තා ගත උණුසුම්ම සතිය මෙම ජූලි මස පළමු සතිය බවත් මේ වසරේ දැනටමත් වාර්තා ගත උණුසුම්ම ජුනි මාසය දැක ඇති බවත් ලෝක කාලගුණ විද්‍යා සංගමය පවසයි.

එය ස්පාඤ්ඤයේ නියඟයක් සහ චීනයේ මෙන්ම එක්සත් ජනපදයේ ද දරුණු තාප තරංග සමග ගත වූ වාර්තා මාලාවක නවතම වාර්තාවයි.

“පරිසර පද්ධතීන්ට සහ පරිසරයට විනාශකාරී බලපෑම් ඇති විය හැකි” උෂ්ණත්වය ගොඩබිමේ සහ සාගරවල උෂ්ණත්ව වාර්තා බිඳ දමමින් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

 “එල් නිනෝව තවදුරටත් වර්ධනය වන විට තවත් වාර්තා බිඳ වැටෙනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකි අතර මෙම බලපෑම් 2024 දක්වා විහිදිය හැකිය” ජාත්‍යන්තර කාලගුණ විද්‍යා  සංවිධානයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් හෙවිට් පැවසීය.

“මෙය සමස්ත ලෝකයම කනස්සල්ලට පත්වන පුවතක්.” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය පසුගිය මැයි සහ ජූනි මාසවල වාර්තාගත ඉහළ මට්ටමක පැවති බව හෙවිට් පැවසීය.

“එය මතුපිට උෂ්ණත්වය පමණක් නොව මුළු සාගරයම උණුසුම් වෙමින් වසර සිය ගණනක් පවතිනු ඇති ශක්තිය අවශෝෂණය කරනවා. සාගර සැලකිය යුතු ලෙස උණුසුම් වන්නේ නම් එය වායුගෝලයට, මුහුදු අයිස් සහ ලොව පුරා ග්ලැසියර මත බලපෑම් ඇති කළ හැකියි” ලෝක දේශගුණ පර්යේෂණ වැඩසටහනේ ප්‍රධානී Michael Sparrow පැවසීය.

Sparrow පැවසුවේ එල් නිනෝ ප්‍රතිවිපාක බොහෝ විට වසර අවසානයේදී වඩාත් උග්‍ර ලෙස දැනෙනු ඇති බවයි.

“ඇත්තටම එල් නිනෝ තාම ගිහින් නෑ” ඔහු පැවසීය.

යුරෝපයේ දේශගුණ නිරීක්ෂණ සේවාවක් වන කොපර්නිකස් පැවසුවේ වාර්තා තැබීම ආරම්භ වූ 1940 වර්ෂයේ සිට  වාර්තා වූ උණුසුම්ම සතිය පසුගිය සතිය (ජූලි මස මුල් සතිය) විය හැකි බවයි.

තාපය හා සම්බන්ධ මරණ

සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වකට නිරාවරණය වීම විජලනය, තාප අඝාතය (heatstroke) සහ හෘද වාහිනී ආතතිය (cardiovascular stress) වැනි සෞඛ්‍ය ගැටලු ඇති කරයි. පසුගිය සඳුදා ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ 2022 දී යුරෝපයේ වාර්තාගත ගිම්හානයේදී 61,000 කට වැඩි පිරිසක් තාපය හේතුවෙන් මිය ගිය බවයි.

Nature Medicine සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයට අනුව මරණවලින් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයින් වන අතර තාපය හේතුවෙන් මිය ගිය අයගෙන් 63%ක් පමණ කාන්තාවන් වේ.

විශේෂඥයන් පවසන්නේ දේශගුණික විපර්යාසවල බලපෑම් වඩ වඩාත් දරුණු ලෙස වර්ධනය වන විට තාප විඩාව (heat exhaustion) සහ තාප ආඝාතය වඩාත් සුලභ විය හැකි බවයි.

තාප ආඝාතය යනු තාපය හා සම්බන්ධ බරපතලම රෝගය වේ.

නිව් මෙක්සිකෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ජෝන් ෆෙම්ලින් පැවසුවේ ශරීරය සිසිල් කිරීමේ මාර්ගයක් ලෙස සමට රුධිරය පොම්ප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තාප අඝාතය ඇතිවන බවයි. පුද්ගලයෙකු හුස්ම ගන්නා තරමට ඔහුට දියර නැති වී වැඩි වැඩියෙන් විජලනය වේ.

“තාප අඝාතයේදී සිදු වන පළමු දෙය නම් ඔබේ මාංශ පේශි වෙහෙසට පත් වීමට පටන් ගැනීමයි. එවිට ඔබට ඔබේ වකුගඩු, ප්ලීහාව, අක්මාව වැනි ඉන්ද්‍රියයන්ට හානි වීමට පටන් ගනී”

ශරීරයට ඇති වන ආතතිය නිසා මොළයට ප්‍රමාණවත් තරම් රුධිරය නොලැබෙන බව ඔහු පැවසීය. උෂ්ණ විඩාව සමඟ ශරීරය සීතල වීම හා රුධිරය කැටි ගැසීමද සිදුවිය හැකිය. උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතින විට වැඩිහිටියන්, ළමුන් සහ දුර්වල සෞඛ්‍ය තත්වයන් ඇති අය වැඩි අවදානමකට මුහුණ දිය හැකිය.