ප්ලවාංග ගහනයේ වෙනස්වීම් හේතුවෙන් මුහුද කොළ පැහැයට හැරෙමින් පවතින බව නාසා ඡායාරූප විශ්ලේෂණයෙන් හෙළි වේ

සාගරවල වර්ණය වෙනස් වෙමින් පවතින අතර දේශගුණික බිඳවැටීම බොහෝ විට එයට හේතුව විය හැකි බව නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කර ඇත. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ සමකයට ආසන්න පහත් අක්ෂාංශ ප්‍රදේශ වලට මෙම තත්ත්වය  විශේෂයෙන් බලපාන බවයි.

Nature සඟරාවේ පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනය මේ බව සඳහන් වේ.

“අපි මේ ගැන සැලකිලිමත් වීමට හේතුව අපි වර්ණය ගැන සැලකිලිමත් වන නිසා නොව, වර්ණය පරිසර පද්ධතියේ තත්වයේ වෙනස්කම් පිළිබිඹු කරන නිසා” අධ්‍යයනයේ කතුවරයා වන සවුත්හැම්ප්ටන් හි ජාතික සාගර විද්‍යා මධ්‍යස්ථානයේ විද්‍යාඥ බීබී කේල් පැවසීය.

වෙනස්වන දේශගුණයේ ප්‍රවණතා ගැන දැනගැනීම සඳහා (එහි ප්ලවාංගවල ඇති හරිතප්‍රද වල සිට) සාගරයේ හරිත පැහැයේ වෙනස්වීම් කෙරෙහි පෙර පර්යේෂණ වලට ද මෙහිදී අවධානය යොමු විය. පර්යේෂණ කණ්ඩායම Nasa’s Modis-Aqua චන්ද්‍රිකාව විසින් වසර 20ක් පුරා නිරීක්ෂණ සිදු කරන ලද දත්ත භාවිතා කළේය. එය සම්පූර්ණ දත්ත ගබඩාවක් වන අතර, රතු සහ නිල් ඇතුළු පූර්ණ වර්ණ වර්ණාවලියක් හරහා සාගරයේ පැහැය වෙනස් වීමේ රටා ගැන විශ්ලේෂණය කර ඇත.

විවිධ ප්‍රමාණයේ ප්ලාන්ක්ටන් ආලෝකය වෙනස් ලෙස විසුරුවා හරින අතර විවිධ වර්ණක සහිත ප්ලවාංග ආලෝකය වෙනස් ලෙස අවශෝෂණය කරයි. වර්ණ වෙනස්වීම් පරීක්ෂා කිරීමෙන් විද්‍යාඥයින්ට ලොව පුරා ප්ලවාංග ගහනයේ වෙනස්වීම් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා ගත හැකිය.

මිනිසා විසින් ඇති කරන ගෝලීය උණුසුම කිසි විටෙකත් සිදු නොවූයේ නම් සාගර කෙබඳු වනු ඇත්දැයි අනුකරණය කරන පරිගණක ආකෘතියකින් උපකල්පනය කරන ලද වර්ණ සමඟ මෙම වර්ණ වෙනස්වීම් සසඳන විට වෙනස පැහැදිලි විය.

“නිවර්තන කලාපීය හෝ උපනිවර්තන කලාපයේ සෑම සාගරයකම පාහේ සැලකිය යුතු ලෙස මතුවෙමින් පවතින වර්ණයෙහි වෙනස්කම් අපට නිරීක්ෂණ කළ හැකි වුණා” යනුවෙන් Cael පැවසීය.

ලෝකයේ සාගරවලින් 56%කට වඩා වෙනස්කම් අනාවරණය වී ඇත. එය පෘථිවියේ සියලුම ගොඩබිමට වඩා විශාල ප්‍රදේශයක

බොහෝ ප්‍රදේශවල පැහැදිලි “හරිත කිරීමේ බලපෑමක්” ඇති බව Cael පැවසීය. නමුත් රතු හෝ නිල් වර්ණයන් ඉහළ යන හෝ වැටෙන ස්ථාන ද ඇති බව ඔහු පැවසීය.

“මේවා අතිශය දැවැන්ත පරිසර පද්ධතිය විනාශ කරන වෙනස්කම් නොවෙයි. ඒවා සියුම් විය හැකියි. නමුත් මෙය අපට තේරුම් ගැනීමට නොහැකි වූ ආකාරයෙන් ගෝලීය ජෛව ගෝලයේ විශාල කොටස් වලට මිනිස් ක්‍රියාකාරකම් බලපාන බවට අමතර සාක්ෂියක් සපයනවා” Cael පැවසීය

මෙම සොයා ගැනීම වෙනස්වන දේශගුණයක තවත් ප්‍රතිවිපාකයක් ස්ථිර ලෙස ලේඛනගත කළද, මෙම අධ්‍යයනට සම්බන්ධ නොවූ ඔරිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සාගර ඵලදායිතාව පිළිබඳ පර්යේෂකයෙකු වන මයිකල් ජේ බෙරෙන්ෆෙල්ඩ් පවසන පරිදි, මෙම වෙනස්කම් කෙතරම් ප්‍රබලද යන්න සහ ඒවා ඇති කිරීමට සාගරය තුළ සිදුවන්නේ කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත.

“බොහෝ දුරට මනින ලද ප්‍රවණතා සමාන්තරව වෙනස් වන බහුවිධ සාධක සමඟ සම්බන්ධ වී  තිබෙනවා. නිදසුනක් වශයෙන් අනෙකුත් අංශු මෙන් ආලෝකය විසිරීම වැඩි කරන සාගරයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් බහුලත්වය වැඩි විය හැකියි. මෙම ප්‍රශ්නවලට පිළිතුරු සමඟින්, පාරිසරික හා ජෛව භූ රසායනික ඇඟවුම් මොනවාදැයි අපට තේරුම් ගැනීමට පටන් ගත හැකියි” බෙරෙන්ෆෙල්ඩ් පැවසීය.

නාසා ආයතනය විසින් 2024 ජනවාරි මාසයේදී චන්ද්‍රිකා මෙහෙයුමක් දියත් කරනු ඇති අතර (Pace – plankton, aerosol, cloud, ocean ecosystem) එය සාගරයේ වර්ණ සිය ගණනක් මනිනු ඇති බව වාර්තා වේ.

“ඇත්ත වශයෙන්ම පාරිසරික වශයෙන් සිදුවන වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව වඩාත් අර්ථවත් නිගමන කිරීම අනිවාර්යයෙන්ම විශාල ඊළඟ පියවරක්” යනුවෙන් Cael පැවසීය.

https://www.theguardian.com/environment/2023/jul/12/worlds-oceans-changing-colour-due-to-climate-breakdown-study-suggests