මෑත සතිවල යුරෝපයට සහ එක්සත් ජනපදයට බලපෑ මාරාන්තික තාප තරංගවලට මිනිසා විසින් ඇති කරන දේශගුණික අර්බුදය (climate crisis) අවිවාදිත ලෙස වගකිව යුතු බව විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත.

ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාම මෙම මාරාන්තික තාප තරංගවලට මූලික හේතුව බව ඔවුන්ගේ විශ්ලේෂණයන් මගින් තහවුරු වී ඇත. මිනිසා විසින් ඇති කරන ගෝලීය උණුසුම දැනටමත් ලොව පුරා ජීවිත සහ ජීවනෝපායන් විනාශ කරමින් සිටින අතර, හරිතාගාර වායු විමෝචනය කපා හැරීමේ අවශ්‍යතාවය වෙන කවරදාකටත් වඩා හදිසි වන බව විද්‍යාඥයින් යළි අවධාරණය කර ඇත. එවැනි බිහිසුණු තාප තරංග තවදුරටත් දුර්ලභ නොවන බවත්, විමෝචනය තවදුරටත් ඉහළ යන විට එය නරක අතට හැරෙනු ඇති බවත් විද්‍යාඥයෝ පවසති. ලෝකය තවත් සෙල්සියස් අංශක දෙකකින් උණුසුම් වුවහොත් මාරාන්තික තාප තරංග සෑම වසර දෙකකට හෝ පහකට වරක් සිදු වන බව ද ඔවුහු පෙන්වා දෙති.

එක්සත් ජාතීන් විසින් අනුමත කරන ලද මාර්තු මාසයේදී ප්‍රමුඛ දේශගුණ විද්‍යාඥයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක මෙසේ සඳහන් විය: “සියලු දෙනාටම ජීවත්විය හැකි සහ තිරසාර අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ශීඝ්‍රයෙන් වැසී යන අවස්ථා කවුළුවක් තිබේ” නවතම විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ එම කවුළුව කෙතරම් වේගයෙන් වැසී යනවාද යන්නයි.

මෙම ජුලි මස මුලදී දකුණු යුරෝපයේ, බටහිර එක්සත් ජනපදයේ, මෙක්සිකෝවේ සහ චීනයේ බොහෝ ස්ථානවල උෂ්ණත්ව වාර්තා සුනුවිසුනු වී ඇති අතර, තාපය හා සම්බන්ධ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ලැව්ගිනි වඩාත් තීව්‍රර වී ඇත. ජූලි මුල් සතියේ ඉතිහාසයේ උණුසුම්ම ගෝලීය උෂ්ණත්වය දක්නට ලැබුණි. හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් යුරෝපයේ තාප තරංග 2.5C, උතුරු ඇමරිකාවේ 2C සහ චීනයේ 1C උණුසුම් කරවන බව පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත.

“මෙවැනි තාප තරංග තවදුරටත් දුර්ලභ නොවන අතර වඩාත්ම වැදගත් දෙය නම්, මෙම අන්තයන් මිනිසුන් මරා දැමීමයි. විශේෂයෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි අයගේ ජීවිත සහ ජීවනෝපායන් එමගින් විනාශ කරයි. දේශපාලකයන් බොහෝ විට කියා සිටින්නේ ඔවුන් සාමාන්‍ය මිනිසුන් සහ දුප්පත් මිනිසුන් ගැන සැලකිලිමත් වන බවයි. අපි මිනිසුන්ව අගය කළා නම්, අපි කළ යුතු දේ ඉතා පැහැදිලියි. විද්‍යාත්මක ප්‍රශ්නයකට වඩා ප්‍රබල සාක්ෂි මෙතෙක් ඉදිරිපත් වී ඇතැයි මම නොසිතමි’’ එක්සත් රාජධානියේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ආචාර්ය ෆ්‍රෙඩ්රික් ඔටෝ පැවසීය.

මේ වසරේ නොවැම්බර් 30 වන දින විවෘත වන එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේ Cop28 හිදී පොසිල ඉන්ධන ඉවත් කිරීමට රජයන් එකඟ වීම “අතිශයින්ම තීරණාත්මක” බව ඔටෝ පැවසීය.

“ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් සුරක්ෂිත කිරීමට අපට තවමත් කාලය තිබෙනවා. අපි එසේ නොකළහොත්, සෑම වසරකම මිනිසුන් දස දහස් ගණනක් තාපය ආශ්‍රිත හේතූන් නිසා මිය යනු ඇත.” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

රතු කුරුස දේශගුණික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Julie Arrighi මෙසේ පැවසුවේය, “අධික උෂ්ණත්වය මාරාන්තික වන අතර එය වේගයෙන් වැඩිවෙමින් පවතිනවා. අධික උෂ්ණත්වයෙන් මිනිසුන් ආරක්ෂා කිරීමට රටවල් ක්‍රියා කිරීමට පියවර ගැනීම ඉතා වැදගත්’’

2018 දී උතුරු අර්ධගෝලය හරහා මීට සමාන තාප තරංග මාලාවක් නිර්මාණය වූ අතර එය ගෝලීය උණුසුමකින් තොරව සිදුවිය නොහැකි බව පර්යේෂකයින් විසින් විනිශ්චය කරන ලදී. ආන්තික කාලගුණික සිදුවීම් 500කට වඩා වැඩි ප්‍රමාණයක් විද්‍යාඥයින් විසින් විශ්ලේෂණය කර ඇති අතර, ඔවුන් විසින් තාප තරංගවලින් 93%ක් සහ නියඟවලින් 68%ක් වඩාත් දරුණු වී ඇති බව සහ/හෝ මිනිසා විසින් ඇති කරන ලද විමෝචනය හේතුවෙන් ඒවා නිර්මාණය වීමට වැඩි ඉඩක් ඇති වී ඇති බව සොයාගෙන ඇත.

මෑත අධ්‍යයනයකට අනුව 2022 යුරෝපීය තාප තරංගවලින් 61,000 කට වැඩි පිරිසක් මිය ගියහ. තවත් අධ්‍යයනයක් ඇස්තමේන්තු කර ඇත්තේ දේශගුණික අර්බුදය හේතුවෙන් පසුගිය දශක තුන තුළ ලොව පුරා මිලියන ගණනක් (අධික තාපය හේතුවෙන්) මිය ගොස් ඇති බවයි.

නව විශ්ලේෂණය මෑත කාලීන තාප තරංග මත දේශගුණ අර්බුදයේ බලපෑම ගණනය කිරීම සඳහා සම-සමාලෝචනය කරන ලද ක්‍රම භාවිතා කරන ලදී. ඔවුන් ජුලි 18 දක්වා කාලගුණ දත්ත සහ 1800 ගණන්වල අගභාගයේ සිසිල් දේශගුණය සමඟ 1.2C ගෝලීය උණුසුම සමඟ වර්තමාන දේශගුණය සංසන්දනය කිරීමට පරිගණක ආකෘති භාවිතා කළහ.

උණුසුම් දේශගුණය තුළ මෙම තාප තරංග චීනයේ සෑම වසර පහකට වරක්, යුරෝපයේ සෑම වසර 10 කට වරක් සහ එක්සත් ජනපදයේ වසර 15කට වරක් සිදුවනු අපේක්ෂා කෙරේ. නමුත් විමෝචනය අඛණ්ඩව ඉහළ යන බැවින් ඒවා නිරන්තරයෙන් සිදුවනු ඇත. වර්ධනය වන එල් නිනෝ (එය ස්වභාවික දේශගුණික සංසිද්ධියකි) බොහෝ විට තාප තරංගවලට කුඩා තාපයක් එක් කළ බව විද්‍යාඥයන් පැවසූ නමුත්, ගෝලීය උණුසුම ඒවායේ බරපතලකම ඉහළ යාමට ප්‍රධාන හේතුව විය.

එක්සත් රාජධානියේ බලශක්ති සහ දේශගුණික බුද්ධි අංශයේ ගැරත් රෙඩ්මන්ඩ්-කිං මෙසේ පැවසුවේය, “අපි දිගටම ෆොසිල ඉන්ධන දහනය කරන විට අපි වඩාත් නරක දේශගුණික බලපෑම්වලට ඉන්ධන සපයනවා. අපි විමෝචනය ශුද්ධ ශුන්‍යයට අඩු කරන තුරු එය නතර කළ නොහැකියි. ශුද්ධ ශූන්‍ය පියවර ප්‍රමාද කිරීමට උත්සාහ කරන දේශපාලකයින් මෙම විනාශයෙන් වැඩි ප්‍රමාණයකය වගකිව යුතුයි’’

https://www.theguardian.com/science/2023/jul/25/deadly-global-heatwaves-undeniably-result-of-climate-crisis-scientists-attribution