පසුගිය 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වන විනාශය 2023 වසරේ ජූලි මාසයේදී අවම වශයෙන් 60%කින් පහත වැටී ඇති බව බ්‍රසීල පරිසර අමාත්‍ය මරීනා සිල්වා පවසයි.

මෙම ශුභාරංචිය පැමිණෙන්නේ ඇමසන් වැසි වනාන්තරය විපත්තිදායක සන්ධිස්ථානයකට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් කලාපීය සමුළුවට පෙරය.

Deter චන්ද්‍රිකා අනතුරු ඇඟවීමේ පද්ධතිය (Deter satellite alert system) මත පදනම් වූ නිශ්චිත සංඛ්‍යා ඉදිරි දිනවලදී නිකුත් කරනු ඇත. නමුත් ස්වාධීන විශ්ලේෂකයින් මූලික දත්ත “ඇදහිය නොහැකි” ලෙස විස්තර කළ අතර පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව වැඩිදියුණු කිරීම 2005 සිට හොඳම ඒවා විය හැකි බව පැවසීය. එ

වේගවත් ප්‍රගතිය දේශපාලන වෙනසක වැදගත්කම ඉස්මතු කරයි. මීට වසරකට පෙර අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ යටතේ ඇමේසන් මෑත ඉතිහාසයේ දරුණුතම වන විනාශයට සහ නියඟයකට ගොදුරු විය. එහෙත් වසර ආරම්භයේදී ලූලා ද සිල්වාගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පත්වූ දා සිට, රජය ඉඩම් කොල්ලකරුවන්ට දඬුවම් පමුණුවා, අනවසර පතල්කරුවන් පලවා හැරීම සඳහා පැරාමිලිටරි මෙහෙයුම් දියත් කර, දේශීය ඉඩම් මායිම් පුළුල් කර, තවත් සංරක්ෂණ ප්‍රදේශ නිර්මාණය කර ඇත.

බ්‍රසීලය, කොලොම්බියාව, බොලිවියාව, පේරු, ඉක්වදෝරය, වෙනිසියුලාව, ගයානා සහ සුරිනාම් යන වර්ෂා වනාන්තර රටවල් අටක සහභාගීත්වයෙන් අගෝස්තු 8-9 දිනවල බෙලෙම් හි පැවැත්වෙන කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති ඇමසන් සමුළුවේ ප්‍රතිඵල ලූලා, මරීනා සහ අනෙකුත් බ්‍රසීලියානු සත්කාරකයන්ට ශක්තියක් වනු ඇත.

බොහෝ දකුණු අමෙරිකානු රටවලට වාර්තාගත උණුසුමක් ගෙන දී ඇති දේශගුණ අර්බුදයේ උග්‍ර තර්ජනය නිසා සමුළුව එක්සත්කම පෙන්වීමකට වඩා වැඩි යමක් විය යුතු බව බ්‍රසීල ජනපතිවරයා පැවසීය. විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා ඇති ඇමසන් වනය වියළී මිය යාමට පටන් ගන්නා ස්ථානයකට නොපැමිණීම සහතික කිරීම සඳහා සංයුක්ත හා අඛණ්ඩ ප්‍රතිඵල අවශ්‍ය විය.

සෑම රටක්ම ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කරන ලෙසත්, නවතම දත්ත සමඟ ඒවා යාවත්කාලීනව තබා ගැනීම සඳහා ඔවුන් එක්ව විද්‍යාත්මක මණ්ඩලයක් නිර්මාණය කරන ලෙසත්, සමුළුවේ ඉලක්ක තුන (වනාන්තර සහ සම්ප්‍රදායික ප්‍රජාවන් ආරක්ෂා කිරීම, අසමානතාවයට එරෙහිව සටන් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම) සාක්ෂාත් කර ගැනීම සඳහා හොඳම භාවිතයන් බෙදා ගන්නා ලෙසත් බ්‍රසීල පරිසර ඇමැතිවරිය යෝජනා කර ඇත.

ඇමේසන් හි 60%ක නිවහන වන බ්‍රසීලයේ වැඩිදියුණු කිරීමේ යතුර ශක්තිමත් ඉලක්කයක් වූ බව ඇය පැවසුවාය. “ප්‍රධාන හේතුව වන්නේ ශුන්‍ය වන විනාශය ඉලක්ක කිරීමට ලූලා ගත් තීරණයයි. එතැන් සිට අපි නව සංරක්ෂණ ඒකක සහ ස්වදේශික භූමි ප්‍රදේශ නිර්මාණය කර ඇති අතර ඒවා යම් ප්‍රතිඵලයක් ලබා දී තිබෙනවා. දැන් අපි වන විනාශය අවම, ප්‍රදේශවාසීන්ට සහ වනාන්තරයට හානියක් නොවන සෞභාග්‍යයේ නව මාදිලියක් කරා ගමන් කළ යුතුයි’’

ඩිටර් චන්ද්‍රිකා අනතුරු ඇඟවීමේ පද්ධතියට අනුව, මෙම වසරේ මුල් මාස හය තුළ, බ්‍රසීලියානු ඇමසන් වනාන්තරයේ වන විනාශය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 34%කින් පහත වැටී ඇත.

සාමාන්‍යයෙන් වන විනාශයයේ ආරම්භය සනිටුහන් කරන ජූලි මාසය සඳහා සංඛ්‍යා ලේඛන තවමත් සම්පාදනය වෙමින් පවතී. නමුත් පසුගිය වසරේ එම කාල සීමාවට වඩා “අවම වශයෙන් 60% ක” සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කරන බව සිල්වා පැවසීය.

ස්වාධීන විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ මෙය 70%ක් තරම් ඉහළ අගයකට ළඟා විය හැකි බවයි. “එය ඇදහිය නොහැකි තත්ත්වයක්” MapBiomas විශ්ලේෂණ කණ්ඩායමේ නිර්මාතෘ Tasso Azevedo පැවසීය. “මෙය 2005 න් පසු තියුණුම කඩා වැටීම වන බව පැහැදිලියි. මෙය මෙතරම් වේගයෙන් සිදුවන්නේ මන්දැයි අපි තවමත් සොයා බලමින් සිටිනවා”

මන්දගාමිත්වය හේතු වී ඇත්තේ සාධකවල එකතුවක් නිසා බව ඔහු විශ්වාස කරයි. රජය විසින් සම්බාධක සහ අනෙකුත් ආරක්ෂණ ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම, ගැටලු වඩාත් ඉක්මනින් සහ වඩාත් විස්තරාත්මකව සිදුවන්නේ කොතැනද යන්න හෙළි කරන වැඩිදියුණු කළ තාක්ෂණික විශ්ලේෂණය, වන විනාශයට සම්බන්ධ ඉඩම් හිමියන්ට ණය ප්‍රතික්ෂේප කිරීමට බැංකු විසින් වැඩි මැදිහත්වීමක් සිදු කිරීම, ගස් එළිපෙහෙළි කිරීමේදී මෙන්ම වන විනාශයෙන් තොර වෙළඳාම පිළිබඳ යුරෝපා සංගමයේ නව නීති මගින් ගොවීන් අතර සුපරීක්ෂාකාරී බව ජනනය වීම සමග තවමත් යුරෝපා සංගමයේ පාලනයෙන් ආවරණය නොවූ සෙරාඩෝ සැවානාහි වන විනාශය එතරම් ආකර්ෂණීය ලෙස පහත වැටී නොතිබීම අහම්බයක් නොවේ.

මූලික චන්ද්‍රිකා දත්ත මත පදනම් වූ එක් මාසයක් ප්‍රවණතාවක් නියෝජනය නොකරන බවට සිල්වා අනතුරු ඇඟවීය. රජයේ වාර්ෂික අගය අගෝස්තු සිට ජූලි දක්වා දිවෙන බැවින් පැහැදිලි චිත්‍රයක් වසර කිහිපයක් ගතවනු ඇත. එයින් අදහස් කරන්නේ මේ වසරේ එකතුවට බොල්සොනාරෝගේ පරිපාලනයේ විනාශකාරී අවසන් මාස පහ ඇතුළත් වනු ඇති බවයි.

එසේ වුවද, 2003 සිට 2008 දක්වා ඇය අවසන් වරට පරිසර අමාත්‍යවරිය ලෙස කටයුතු කළ කාලය හා සසඳන විට දිරිගන්වනසුළු සලකුණු ඇය දුටුවාය. ඒ වන විට, බොල්සොනාරෝ වසරවලදී මෙන් අමාත්‍යාංශය පිරිහී නොතිබූ අතර ෆෙඩරල් පොලිසිය ප්‍රධාන ආධාරක මෙහෙයුම් දියත් කළේය. මෙම වසරේ එය බොහෝ දුරට සිදු වූ නමුත්, ප්‍රතිපත්ති ප්‍රතිඵල පෙන්වීමට පෙර වසර දෙකක් ගත විය.

මේ වසරේ අමාත්‍යාංශයට සිදු වී ඇත්තේ ඉතා අඩු සම්පත් ප්‍රමාණයකින් සහ චන්ද්‍රිකා නිරීක්ෂණ මත පදනම්ව සෝයා සහ ගවයන්ගේ දුරස්ථ සම්බාධක මත වැඩිපුර විශ්වාසය තැබීමටය. “දැන් ඒක වෙනස්. ගැටලුව වඩාත් බරපතල හා වඩා සංකීර්ණ යි. නමුත් අපට වඩා වැඩි අත්දැකීම් ඇති අතර එය කරන්නේ කෙසේදැයි අපි දන්නවා ”ඇය පැවසුවාය.

සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම, සහතික කළ නිෂ්පාදන සඳහා විවෘත වෙළඳපළ, ජෛව ආර්ථිකයක් සංවර්ධනය කිරීම සහ ධනවත් රටවල් වලින් ලැබෙන මූල්‍ය ආධාරය මත පදනම්ව ඇමේසන් සහ ඉන් ඔබ්බෙහි සෞභාග්‍යයේ නව චක්‍රයක් සඳහා මෙම දියුණුව උල්පතක් වනු ඇතැයි සිල්වා අපේක්ෂා කරයි.

විනාශකාරී ගව රංචු සහ සෝයා වගාවන් සඳහා ශක්‍ය විකල්පයක් ඇති බව පෙන්වීමට බාහිර ආයෝජන, වෙළෙඳ සහ මූල්‍ය ආධාර ඉතා වැදගත් වනු ඇත. වනාන්තර නිෂ්කාශනය කිරීමේ නරකම අතිරික්තයට එරෙහිව සටන් කිරීමේ ඇගේ සාර්ථකත්වය හේතුවෙන්, සිල්වා බ්‍රසීලයේ කෘෂි ව්‍යාපාර සහ තෙල් ලොබි වල දරුණු ප්‍රහාරයකට ලක්ව ඇති අතර කොන්ග්‍රසය ඇගේ අමාත්‍යාංශයේ බලය කප්පාදු කර ඇත.

ශීත ඍතුවේ මැද භාගයේදී චිලී ඇන්ඩීස් වෙතින් වාර්තා වූ සෙල්සියස් අංශක 38.9ක භයානක උෂ්ණත්වය, උරුගුවේ ජල හිඟය සහ බ්‍රසීලයේ ප්‍රදේශ කිහිපයක මාසික තාප වාර්තා ගෙන ආ එල් නිනෝ වෙතින් ඇය අතිරේක අභියෝගයකට මුහුණ දෙයි. මේ අතර ඉදිරි මාස කිහිපය තුළ ඇමේසන් හි නියඟය සහ ලැව්ගිනි අවදානම නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් කලින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති දිගටම පැවතුනේ නම් ඒවා වඩාත් නරක අතට හැරෙනු ඇත. ලූලා සහ මරීනා ඔවුන්ගේ දේශපාලන අනාගතය වනාන්තර විනාශය ශුන්‍ය කිරීමට කැප කර ඇති අතර 2025 දී ඇමේසන් නගරයේ බෙලෙම් හි පැවැත්වීමට අපේක්ෂා කරන එක්සත් ජාතීන්ගේ කාලගුණ සමුළුව Cop30 දක්වා වන විනාශය අඛණ්ඩව අඩු කිරීම් සඳහා පියවර ගනු ඇත.

https://www.theguardian.com/environment/2023/aug/02/amazon-deforestation-falls-over-60-compared-with-last-july-says-brazilian-minister