Copernicus Climate Change Service (C3S) විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව පසුගිය ජූලි මාසය ගෝලීය වශයෙන් වාර්තා වූ උණුසුම්ම මාසය ලෙස තහවුරු වී ඇත.

පසුගිය ජූලි මාසයේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 16.95ක් වූ අතර, එය 2019 වසරේ වාර්තා වූ උපරිම ගෝලීය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.33ක ඉහළ යාමකි. ග්‍රීසිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුළු යුරෝපය පුරා රටවල් කිහිපයක පසුගිය සතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවිය.

ලැව්ගිනි හේතුවෙන් රෝඩ්ස් ඇතුළු ග්‍රීක දූපත් කිහිපයකින් පදිංචිකරුවන් සහ සංචාරකයින් දහස් ගණනක් ඉවත් කිරීමට බල කෙරුනි. ශීත ඍතුව පැවතියද දකුණු ඇමෙරිකානු රටවලද අධික උෂ්ණත්වයක් පැවතිණි.

C3S ට අනුව ජුලි මාසය 1850-1900 සඳහා සාමාන්‍යයට වඩා 1.5C පමණ උණුසුම් වූ අතර 1991-2020 සාමාන්‍යයට වඩා 0.72C උණුසුම් වී ඇත.

C3S හි නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සමන්තා බර්ගස් පැවසුවේ: “ජූලි මාසයේදී ගෝලීය වායු උෂ්ණත්වය සහ ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය නව සර්වකාලීන වාර්තා පිහිටුවූ බව අපි දුටුවා. මෙම වාර්තා මිනිසුන්ට සහ ලෝකය යන දෙඅංශයෙන්ම නිතර නිතර හා තීව්‍රර ආන්තික සිදුවීම්වලට නිරාවරණය වන භයානක ප්‍රතිවිපාක ඇති කරනවා’’

1979 දී චන්ද්‍රිකා නිරීක්ෂණ ආරම්භ කළ දා මෙම ජූලි මාසයේදී ඇන්ටාක්ටික් මුහුදු අයිස් ද වාර්තාගත අඩු මට්ටමක පවතී.

හරිතාගාර වායු විමෝචනය පාලනය නොකළහොත් ආන්තික කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇන්ටාක්ටික් පරිසර පද්ධතීන්ට වැඩි වශයෙන් හානි සිදුවනු ඇති බවත් එය සෙසු ලෝකයට බලපානු ඇති බවත් විද්‍යාඥයන් පවසා තිබේ.

2023 යනු මේ දක්වා තෙවැනි උණුසුම්ම වසර වන අතර, ජූලි මාසයේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5කින් ඉහළ ගොස් ඇති බව බර්ගස් පැවසීය.

“මෙය තාවකාලික තත්ත්වයක් පමණක් වුවද, මෙම වාර්තා පිටුපස ඇති ප්‍රධාන ධාවකය වන ගෝලීය හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ අභිලාෂකාමී ප්‍රයත්නයන්ගේ හදිසි අවශ්‍යතාවය එය පෙන්නුම් කරනවා”

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres පසුගිය මාසයේ අනතුරු ඇඟවූයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ යුගය අවසන් වී ඇති අතර “ගෝලීය තාපාංක යුගය පැමිණ ඇති” බවයි.