ජල හිඟය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් කෘෂිකර්මාන්තයට තර්ජනයක් වන බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් ඉහළ යාමට පෙර ගෝලීය ආහාර සැපයුම් වලට දැවැන්ත බාධාවකට මුහුණ සිදුවිය හැකි බව එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණ සමුළුවේ (UN’s desertification conference) සභාපති අනතුරු අඟවා තිබේ.

පසුගිය වසරේ කාන්තාරකරණය පිළිබඳ UN Cop15 සමුළුවට නායකත්වය දුන් අයිවරි කෝස්ට් හි හිටපු ආරක්ෂක අමාත්‍ය ඇලයින්-රිචඩ් ඩොන්වාහි (Alain-Richard Donwahi) පැවසුවේ නියඟයේ බලපෑම් බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් සිදුවන බවයි.

“දේශගුණික විපර්යාස කියන්නේ අප ඉක්මනින් සටන් කළ යුතු වසංගතයක්. දේශගුණික පරිහානිය කෙතරම් වේගයෙන් සිදු වේද යන්න බලන්න. එය අප පුරෝකථනය කළාට වඩා වේගයෙන් සිදු වේ යැයි මම සිතනවා.  සියලු දෙනාම ගෝලීය උෂ්ණත්වය පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5කින් ඉහළ යාම ස්ථාවර ලක්ෂ්‍යය ලෙස සලකනවා. සැබවින්ම එය ඉතා වැදගත් ඉලක්කයක්. නමුත් පාංශු හායනය, ජල හිඟය සහ කාන්තාරකරණය සම්බන්ධයෙන් ගත් විට 1.5C වෙත පිවිසීමට පෙර ඉතා නරක දේවල් සිදුවිය හැකියි’’

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, තාප තරංග සහ වඩාත් තීව්‍ර නියඟ සහ ගංවතුර වැනි ගැටලු හේතුවෙන් බොහෝ කලාපවල ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙළන බව ඩොන්වාහි පැවසීය.

“බලන්න, නියඟයේ බලපෑම ආහාර සුරක්ෂිතතාවයට, ජනගහනය සංක්‍රමණයට සහ උද්ධමනයට පවා බලපානවා. අපට උෂ්ණත්වය හැර වෙනත් ඍණාත්මක බලපෑම් වේගවත් කළ හැකියි. පාංශු හායනය නරක පුරුදු සමඟ එන අතර අප කෘෂිකර්මාන්තය කරන ආකාරය පස හායනය වීමට හේතු වෙනවා. පසට හානි වූ විට අස්වැන්නට බලපෑම් ඇති වෙනවා” යැයි ඩොන්වාහි පැවසීය.

ඩොන්වාහි පෞද්ගලික අංශයේ ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේ ලාභ ඉපැයීමට ඇති අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙසයි. “පෞද්ගලික අංශය කෘෂිකර්මාන්තය කෙරෙහි උනන්දුවක් දක්වන අතර පස වඩා හොඳින් භාවිතා කරනවා. අපි කතා කරන්නේ අස්වැන්න වැඩිදියුණු කිරීම ගැන. අපි කතා කරන්නේ කෘෂි වන වගාව ගැන. එය පුද්ගලික අංශයට ආයෝජන මත ප්‍රතිලාභයක් ලබා ගත හැකි තවත් ක්‍රමයක්. මුදල් සඳහා නව මාවත් සොයා ගැනීමට අපි නව්‍ය විය යුතුයි” ඩොන්වාහි පෙන්වා දුන්නේය.

2015 පැරිස් දේශගුණ ගිවිසුමේ මව් ගිවිසුම වන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය (UN framework convention on climate change) සහ විශේෂ බහුලත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගත් ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (UN convention on biodiversity) සමගාමීව ලොව පුරා රජයන් 1992 දී කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමට (combat desertification) පොරොන්දු වූ ගිවිසුමකට අත්සන් තැබීය.

නමුත් කාන්තාරකරණ ගිවිසුම (desertification treaty) අවම අවධානයක් ලබා ගන්නා අතර, පසුගිය දෙසැම්බරයේ පැවති Cop27 සහ ජෛව විවිධත්ව Cop15 (biodiversity Cop15) සමඟ සසඳන විට කාන්තාරකරණය පිළිබඳ පසුගිය වසරේ පැවැති Cop15 සමුළුවේදී බොහෝ දුරට අවධානයට ලක් නොවීය. Desertification Cops සමුළු දේශගුණික සමුළුවලට වඩා අඩුවෙන් පවත්වනු ලැබේ.

මීළඟ කාන්තාරකරණ සමුළුව 2024 දෙසැම්බර් මාසයේදී රියාද්හි පැවැත්වෙන අතර මීළඟ දේශගුණ සමුළුව වන Cop28 නොවැම්බර් අගදී ඩුබායිහිදී පැවැත්වේ.

කාන්තාරකරණය නොසලකා හැරීම ලෝකයට දරාගත නොහැකි බව ඩොන්වාහි පැවසීය. “අපි සියලු ගැටලු එකට විසඳා ගත යුතුයි. කාන්තාරකරණය සහ නියඟය දේශගුණික විපර්යාසවලට තුඩු දෙනවා. ජෛව විවිධත්වය නැති වීමට එය හේතු වෙනවා. දේශගුණික විපර්යාස ඇති විට ඔබට නියඟ, ගංවතුර, කුණාටු වලට මුහුණ දීමට සිදුවෙනවා. දුප්පත් රටවල් පමණක් නෙවෙයි අපි හැමෝම ඉන්නේ එකම බෝට්ටුවේ [ආහාර සුරක්ෂිතතාව පිළිබඳ]. දේශගුණික විපර්යාස, නියඟ, කුණාටු, ගංවතුර සීමා මායිම් දන්නේ නැහැ. ඒවාට  රටකට යන්න වීසා අවශ්‍ය නැහැ” ඩොන්වාහි පෙන්වා දුන්නේය.

දේශගුණික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පොහොසත් රටවල් අප්‍රිකාව දෙස බැලිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

‘’හරිතාගාර වායු විමෝචනය කපා හැරීමට, ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට සහ ජෛව විවිධත්වය සුරැකීමට අවශ්‍ය වන ස්වභාවික සම්පත් අප්‍රිකාව සතුයි. පුනර්ජනනීය බලශක්ති තාක්‍ෂණය සඳහා අවශ්‍ය ඛනිජවල සිට වනාන්තර, හිරු එළිය සහ විශාල භූගත ජල සංචිත දක්වා අප්‍රිකාව සතුව බොහෝ ස්වභාවික සම්පත් තිබෙනවා. අප්‍රිකාව යනු විසඳුම් සහිත මහාද්වීපයක්. එය ඔබට වඩාත්ම ස්වභාවික සම්පත් ඇති මහාද්වීපයක්. ස්වභාවික සම්පත් ඇති මිනිසුන්ට මූල්‍ය පහසුකම් ඇති අය උදව් කළ යුතුයි. එය ජයග්‍රාහී තත්වයක්, හවුල්කාරිත්ව තත්වයක්, ”ඔහු පැවසීය.

මෙම අවස්ථාවන් ප්‍රයෝජනයට ගන්නා ලෙස ඔහු අප්‍රිකානුවන්ගෙන් ඉල්ලා සිටියේය. “අප්‍රිකාව විසඳුමක් බව අප්‍රිකානුවන් තේරුම් ගන්නේ නම්, ඔවුන් වෙනස් ආකාරයකින් ක්‍රියා කරන බව සහතිකයි. ඔවුන් වඩාත් ධනාත්මක ආකල්පයකින් පැමිණිය යුතුයි. ඔබ එකට එක්ව විසඳුම් සෙවීමට සටන් කරන බව ඔවුන් වටහා ගත යුතුයි. අප සිතිය යුත්තේ එලෙසයි. ඔබ සැමවිටම උපකාර, අත් පත්‍රිකා, හිස් භාජන අතැතිව බලා සිටින්නෙකු වීමට අවශ්‍ය නැහැ’’ ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

https://www.theguardian.com/environment/2023/aug/12/global-heating-likely-to-hit-world-food-supply-faster-than-expected-says-united-nations-desertification-expert