ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 31%ක්  2050 වන විට අධික ජල ආතතියට නිරාවරණය වනු ඇති අතර එය 2010 දී 24%ක් විය

ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට නිවහන වන රටවල් 25ක් අධික ජල පීඩනයකට (Extreme water stress) මුහුණ දී සිටින බව ලෝක සම්පත් ආයතනය (World Resources Institute -WRI) විසින් නිකුත් කළ නවතම වාර්තාවක් හෙළි කරයි. එම වාර්තාව සඳහන් කරන්නේ මෙම රටවල් සෑම වසරකම ඔවුන්ගේ ජල සැපයුමෙන් 80% ක් නිතිපතා භාවිතා කරන බවයි.

WRI හි ජලධර ජල අවදානම් සිතියමට (Aqueduct water risk map) අනුව ලොව පුරා ජලය සඳහා වන ඉල්ලුම වැඩි වන අතර 1960 සිට මේ දක්වා දෙගුණයකට වඩා වැඩි වී ඇති බව හෙළි කර ඇත.

යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ජලය සඳහා ඉල්ලුම ස්ථාවර මට්ටමක ඇති අතර, එය අප්‍රිකාවේ ඉහළ යමින් පවතී. 2050 වන විට ලොව පුරා ජල ඉල්ලුම 20% ත් 25% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.

සෞදි අරාබිය, චිලී, සැන් මරිනෝ, බෙල්ජියම සහ ග්‍රීසිය ඇතුළු රටවල් 25ක් වඩා ජල පීඩනයට ලක්ව ඇත. ඉහළම ජල පීඩනයට මුහුණ දෙන පස්දෙනා වන්නේ බහරේනය, සයිප්‍රසය, කුවේට්, ලෙබනනය සහ ඕමානයයි.

2050 වන විට ලෝක ජනගහනයෙන් 60%කට ආසන්න පිරිසකට අවම වශයෙන් වසරකට මසකට අධික කාලයක් ජල පීඩනයක් අත්විඳිය හැකිය.

රටවල් අනුව ජල පීඩනය, 2050 පුරෝකථනය

ජලධර විශ්ලේෂණයට අනුව ගෝලීය වශයෙන් බිලියන 4ක පමණ ජනතාවක් හෝ ලෝක ජනගහනයෙන් 50%ක් අවම වශයෙන් වසරකට මාසයකට අධික කාලයක් ජල පීඩනයකට නිරාවරණය වේ. 2050 වන විට එම සංඛ්‍යාව 60% ට ආසන්න විය හැකිය.

“මෙම මට්ටමේ ජල පීඩනය සමඟ ජීවත් වීම මිනිසුන්ගේ ජීවිත, රැකියා, ආහාර සහ බලශක්ති සුරක්ෂිතභාවය අනතුරේ හෙළන අතර බෝග වගා කිරීම සහ පශු සම්පත් පාලනය, විදුලිය නිපදවීම, මානව සෞඛ්‍යය පවත්වා ගැනීම අර්බුදයකට ලක් කරනවා. එසේම සමානාත්මතා සමාජ පෝෂණය කිරීම සහ ලෝකයේ දේශගුණික ඉලක්ක සපුරාලීම සඳහා ජලය කේන්ද්‍රීය සාධකයක් වෙනවා. නිසි ජල කළමනාකරණයක් සිදු නොවීම, ජනගහන වර්ධනය, ආර්ථික සංවර්ධනය සහ දේශගුණික විපර්යාස ජල ආතතිය නරක අතට හැරීමට හේතු වී තිබෙනවා” යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

Aqueduct හි දත්ත වලට අනුව, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 31%ක්  2050 වන විට අධික ජල ආතතියට නිරාවරණය වනු ඇති අතර එය 2010 දී 24%ක් විය. ඉන්දියාව, මෙක්සිකෝව, ඊජිප්තුව සහ තුර්කිය 2050 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට වඩා අධික ජල ආතතියට (high water stress) ලක්වනු ඇති බව වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාව පවසන්නේ ජල පීඩනය වැඩිවීම රටවල ආර්ථික වර්ධනයට තර්ජනයක් වන බවයි. එය ආහාර නිෂ්පාදනයට ද බලපායි. පර්යේෂණය පවසන්නේ ලෝකයේ වාරි කෘෂිකර්මාන්තයෙන් 60%ක් අතිශයින් අධික ජල පීඩනයකට (extremely high water stress) මුහුණ දෙන බවයි. විශේෂයෙන් උක්, තිරිඟු, සහල් සහ බඩඉරිඟු මෙම තත්ත්වය හමුවේ තර්ජනයට ලක්වේ. 2050 වන විට ලොව ප්‍රක්ෂේපිත බිලියන 10ක ජනතාවක් පෝෂණය කිරීම සඳහා 2010 ට වඩා 56% වැඩි ආහාර කැලරි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වනු ඇත.

ඉන්දියාවේ 2017 සහ 2021 අතර තාප බලාගාර සිසිල් කිරීමට ජලය නොමැතිකම හේතුවෙන් ටෙරාවොට් පැය 8.2 ක ශක්තිය අහිමි විය. එය වසර පහක කාලයක් සඳහා ඉන්දියානු නිවාස මිලියන 1.5ක් බල ගැන්වීමට ප්‍රමාණවත් බව ගණන් බලා ඇත.

වාර්තාව පවසන්නේ මැදිහත්වීම් මගින් ජල අර්බුදයට තුඩු දෙන ජල ආතතිය නැවැත්විය හැකි බවයි. සිංගප්පූරුව සහ ලාස් වේගාස් වඩාත් ජල හිඟ තත්වයන් යටතේ පවා දියුණු වීමට සමත් වී ඇති බව වාර්තාව සඳහන් කරයි. එහි බලධාරීන් ලවණ ඉවත් කිරීම සහ අපජල පිරිපහදු කිරීම සහ නැවත භාවිතය වැනි වෙනත් ශිල්පීය ක්‍රම භාවිතා කරමින් ජලය ඉතිරි කර ගෙන ඇත.

ජල කාර්යක්ෂමතාව හඳුන්වාදීමට සහ ජල ආතතිය අවම කිරීමට දේශපාලන අධිෂ්ඨානය අවශ්‍ය බව වාර්තාවේ කතුවරුන් තර්ක කරති.

වැඩිපුරම ජල පීඩනය ඇති රටවල් 25 නම්: බහරේනය, සයිප්‍රසය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊශ්‍රායලය, ඊජිප්තුව, ලිබියාව, යේමනය, බොට්ස්වානා, ඉරානය, ජෝර්දානය, චිලී, සැන් මැරිනෝ, බෙල්ජියම, ග්‍රීසිය, ටියුනීසියාව, නැමීබියාව, දකුණු අප්‍රිකාව, ඉරාකය, ඉන්දියාව සහ සිරියාවයි.

https://www.theguardian.com/environment/2023/aug/16/extreme-water-stress-faced-by-countries-home-to-quarter-of-world-population