දකුණු සාගරය කියන්නේ පෘථිවියේ දේශගුණයේ එන්ජිමයි. අපි එය වැඩිපුර මැනීමට අවශ්‍ය මොහොතක, අපි එය අඩුවෙන් නිරීක්ෂණය කරන්නවා

මුහුදු අයිස් නැතිවීම සහ ඇන්ටාක්ටිකාව අවට සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම පෘථිවි දේශගුණයට විශාල බලපෑමක් ඇති කරන නමුත් ඒවා නිරීක්ෂණය කිරීමේ හැකියාව ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයෝ කියති.

දේශගුණික අර්බුදය බියජනක වෙනස්කම් ගෙන එන ආකාරයටම විද්‍යාඥයින් දකුණු සාගර ‘දත්ත කාන්තාරය /data desert’ ගැන දුක් වෙති.

ඇන්ටාක්ටිකාව අවට ඇති විශාල සාගරයේ නිරීක්ෂණවල නිදන්ගත හිඟය දේශගුණික අර්බුදයේ ප්‍රතිවිපාක පිළිබඳ වඩාත් නිවැරදි අනාවැකි පැවසීමට බාධාවක් වන බව විද්‍යාඥයින් 300 දෙනකු රැස් වූ විශේෂ සම්මන්ත්‍රණයක දී අනාවරණය කර ඇත.

දකුණු සාගරය පෘථිවි දේශගුණය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වන අමතර තාපය සහ කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය අවශෝෂණය කිරීමට එමගින් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි. නමුත් වාර්තාගත අඩු මුහුදු අයිස් මට්ටම් ඇතුළුව කලාපය සැලකිය යුතු වෙනස්කම්වලට භාජනය වන මොහොතක දක්ෂිණ සාගරය “දත්ත කාන්තාරයක්” හා සමාන බව විද්‍යාඥයෝ පැවසූහ.

ඇන්ටාක්ටිකාව අවට නිරීක්ෂණ සම්බන්ධීකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියා කරන දකුණු සාගර නිරීක්ෂණ පද්ධතිය (Southern Ocean Observing System – Soos) විසින් සංවිධානය කරන ලද රටවල් 25ක විද්‍යාඥයන් 300 දෙනකු පමණ පසුගිය 18 වැනි සිකුරාදා හෝබාර්ට් හිදී විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත් වූහ.

සම්මන්ත්‍රණය අවසානයේ විශේෂ ප්‍රකාශනයක් නිකුත් කළ අතර එමගින්  පැවසුවේ දකුණු සාගරයේ වාර්තාගත අඩු මුහුදු අයිස් මට්ටම්, වාර්තාගත ඉහළ උෂ්ණත්වයන් සහ පෙන්ගුයින් ගහනයේ “සැලකිය යුතු” වෙනස්කම් සිදුවෙමින් පවතින බවයි.

“දකුණු සාගරයේ නිරීක්ෂණවල නිදන්ගත ඌනතාවය වෙනස් වීමේ ප්‍රතිවිපාක හඳුනා ගැනීමට සහ තක්සේරු කිරීමට අපට ඇති හැකියාව අභියෝගයට ලක් කරනවා” යනුවෙන් ප්‍රකාශය පවසයි.

ඇන්ටාක්ටිකාව අවට මුහුදු අයිස් පසුගිය දකුණු අර්ධගෝලයේ ග්‍රීෂ්ම සෘතු දෙක සඳහා වාර්තාගත අවම මට්ටමේ පවතී. කලාපය මේ සතියේ ශීත ඍතුවේ උච්චතම අවස්ථාවට ළඟා වන විට, චන්ද්‍රිකා දත්ත පෙන්නුම් කළේ දිගු කාලීන සාමාන්‍යයට වඩා වර්ග කිලෝමීටර් මිලියන 2.5ක පමණ අයිස් අවු වී ඇති බවයි. විද්‍යාඥයින් පවසා ඇත්තේ මෙම ශීත සෘතුවේදී සිදු වූ දැවැන්ත අයිස් විනාශය පෙර නොවූ විරූ තත්ත්වයක් බවයි.

British Antarctic Survey හි සාගර විද්‍යාඥ ආචාර්ය ඇන්ඩෲ මීජර්ස් පැවසුවේ “අපි මේ සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් නොවූ අතර එය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත තත්ත්වයක්. එය අපගේ නිරීක්ෂණ පද්ධතියේ හිඟයක් නිසා සිදු වුණා’’.

ගෝලීය දේශගුණික ආකෘති දකුණු සාගරයේ වෙනස්කම් ප්‍රතිනිෂ්පාදනය කිරීමට අරගල කළ බවත්, එය දත්ත හිඟකම නිසා පසුබෑමට ලක් වූ බවත් ඔහු පැවසීය. සාගරයේ අයිස් ප්‍රමාණය කොපමණ ප්‍රමාණයක් ආවරණය වී ඇත්දැයි වාර්තා කිරීමට චන්ද්‍රිකා නිරීක්ෂණ ප්‍රමාණවත් වුවත්, අයිස්වල ඝනකම හෝ ඊට යටින් ඇති වෙනස්කම් ගැන දැන සිටියේ ඉතා අල්ප වශයෙනි.

“ගෝලීය උණුසුම සැබවින්ම සාගර උණුසුම් වීමක් වන අතර, දකුණු සාගරය ඇන්ටාක්ටික් අයිස් තට්ටුවේ දියවීමේ වේගය පාලනය කරනවා. එය අනාගත මුහුදු මට්ටම ඉහළ යාම ප්‍රක්ෂේපණය කිරීමේ තනි විශාලතම අවිනිශ්චිතතාවයයි”  ඇන්ඩෲ මීජර්ස් පැවසීය.

ඇන්ටාක්ටිකාවේ පරිසර පද්ධති ෆයිටොප්ලැන්ක්ටන් (phytoplankton) සහ krill වර්ධනයට දැඩි ලෙස බැඳී ඇති අතර ඒවා මුහුදු අයිස්වල වාර්ෂික චක්‍රවලට සම්බන්ධ වූ බව මීජර්ස් පැවසීය.

ඇන්ටාක්ටික් විද්‍යාඥයන් මේ මස මුලදී අනතුරු ඇඟවූයේ මහාද්වීපයේ සහ ඒ අවට සිදුවන ආන්තික සිදුවීම් සංඛ්‍යාව  (මුහුදු අයිස් නැතිවීමේ සිට අයිස් තට්ටු සහ තාප තරංග දියවීම දක්වා) ලෝකය දිගටම උණුසුම් වන විට නිසැකවම නරක අතට හැරෙනු ඇති බවයි.

ලොව පුරා පෝෂ්‍ය පදාර්ථ ප්‍රවාහනය කරන සහ දේශගුණයට බලපෑම් කරන ගැඹුරු ඇන්ටාක්ටික් සාගර ධාරාවක් 1990 ගණන්වල සිට 30% කින් පමණ මන්දගාමී වී ඇති බව විද්‍යාඥයන් මේ වසරේ සොයා ගත්හ. වෙනම අධ්‍යයනයකින් හෙළි වූයේ ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම වැඩි වීම හේතුවෙන් මන්දගාමී වීම ඉදිරි දශක කිහිපය තුළ තීව්‍ර වීමට ඉඩ ඇති බවයි.

Soos හි සම-සභාපති ආචාර්ය Sian Henley පැවසුවේ දකුණු සාගරයට ලෝකයේ දේශගුණික පද්ධතිය තුළ “අසමාන” භූමිකාවක් ඇති බවයි. පෘථිවිය විසින් රඳවා ගන්නා අමතර තාපයෙන් 90%ක් පමණ සාගර විසින් ලබාගෙන ඇති අතර එයින් 75%ක් පමණ දකුණු සාගරයේ සිදු වූ බව හෙන්ලි පැවසීය.

මිනිස් ක්‍රියාකාරකම් වලින් විමෝචනය වන CO2 වලින් 30% ක් පමණ සාගර විසින් අවශෝෂණය කර ගන්නා අතර එම සාගර අවශෝෂණයෙන් 40% ක් පමණ දකුණු සාගරයේ සිදු වේ.

හෙන්ලි මෙසේ පැවසීය: “ඔබ ගෝලීය සාගරයේ ආවරණය දෙස බැලුවහොත් නිරීක්ෂණ වැඩි වී ඇති බව පෙනේවි. නමුත් දකුණු සාගරය තවමත් දත්ත කාන්තාරයක් බව කිව යුතුයි. වඩාත්ම වැදගත් ප්‍රශ්න කිහිපයක් විසඳීමට දත්තවල නිදන්ගත හිඟයක් පවතිනවා. එසේම ඇන්ටාක්ටිකාවේ මුහුදු අයිස් අනතුරට ලක්ව තිබෙනවා. එය දේශගුණික පද්ධතිය තුළ එහි භූමිකාව පීඩනයට ලක් කරන බවත් දැන් පැහැදිලිවී තිබෙනවා.”

උෂ්ණත්වය, ලවණතාව, ඔක්සිජන් මට්ටම්, pH සහ නයිට්‍රේට් මට්ටම් මනින සංවේදක සහිත සාගර මත පාවෙන විද්‍යුත් මෙවලම් සිය ගණනක් යෙදවීමේ ව්‍යාපෘතියකට නායකත්වය දෙන Monterey Bay Aquarium Research Institute හි සාගර රසායන විද්‍යාඥ ආචාර්ය කෙන් ජොන්සන් ද මෙම සමුළුවට සහභාගී විය.

“දකුණු සාගරය කියන්නේ පෘථිවියේ දේශගුණයේ එන්ජිමයි. අපි එය වැඩිපුර මැනීමට අවශ්‍ය මොහොතක, අපි එය අඩුවෙන් නිරීක්ෂණය කරන්නවා ”ජොන්සන් පැවසීය.ෙ

ඔහු පැවසුවේ භාණ්ඩ ප්‍රවාහන නැව්වල සංවේදක වලින් සිදුකළ නිරීක්ෂණ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බවත්, විශේෂයෙන් දකුණු අර්ධගෝලයේ ශීත ඍතුව හේතුවෙන් දක්ෂිණ සාගරයේ කිලෝමීටර දහස් ගණනක් නිරීක්ෂණය නොකළ බවත්ය.

https://www.theguardian.com/world/2023/aug/19/scientists-lament-southern-ocean-data-desert-just-as-climate-crisis-brings-frightening-changes