පෘථිවියේ හුනාගත් ජීවීන්ගෙන් 1/5ක් යුනෙස්කෝ ලෝක උරුම අඩවි වලික් සොයා ගනී

පෘථිවියේ දන්නා / හඳුනාගත් ජීවීන්ගෙන් (known life on Earth) පහෙන් එකක් යුනෙස්කෝ ලෝක උරුම අඩවි වලින් (Unesco world heritage sites) සොයාගත හැකි බව නවතම පර්යේෂණයකින් සොයා ගෙන ඇත.

වාර්තා වී ඇති පක්ෂි විශේෂවලින් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක්, ක්ෂීරපායීන්ගෙන් තුනෙන් දෙකක් සහ සියලුම දෘඩ කොරල්පරවලින් අඩකට වඩා ලෝක උරුම ස්ථානවල වාර්තා වී ඇත. නමුත් මෙම ලෝක උරුම ස්ථානවලින් ආවරණය කරන්නේ වන ගහනයෙන් 1% කට වඩා අඩු ප්‍රමාණයකි. යුනෙස්කෝ සහ සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (International Union for Conservation of Nature) විසින් නිෂ්පාදනය කරන ලද නව විශ්ලේෂණයකින් මෙම විස්මිත තොරතුරු හෙළිකර ගෙන ඇත.

පෘථිවියේ සෑම රටකම පාහේ ආරක්ෂිත ස්ථාන 1,157ක් යුනෙස්කෝ ලෝක උරුම අඩවි ලෙස නම්කර ඇත. එයට චීනයේ මහා ප්‍රාකාරය වැනි බිම් සලකුණු මෙන්ම ඔකාවාන්ගෝ ඩෙල්ටාව වැනි ප්‍රධාන ස්වාභාවික ස්ථාන ද ඇතුළත් වේ. ඉතිරිව ඇති සියලුම ජාවා රයිනෝස්, රෝස ඉගුවානා, කඳුකර ගෝරිල්ලන්ගෙන් අඩකට වඩා, ඇල්බට්‍රොස් පක්ෂීන් සහ සුමාත්‍රා ඔරංඔටන් ඇතුළුව ලෝකයේ වඩාත්ම තර්ජනයට ලක්ව ඇති විශේෂ කිහිපයක නිවහන මෙම ලෝක උරුම අඩවි වේ. ලොව උසම ගස වන Hyperion (මීටර් 115 ක් උසින් යුතුය), ලෝකයේ විශාලතම මල ද ලෝක උරුම ස්ථාන වල දක්නට ලැබේ.

සමීක්‍ෂණයෙන් හෙළි වූයේ ලෝකය පුරා පිහිටි යුනෙස්කෝ ලෝක උරුම අඩවි වලට අයත් භූමි ප්‍රමාණය එක්ව ගත් විට ජර්මනිය මෙන් දෙගුණයක් විශාල වනාන්තර ඇතුළු ඉන්දියාවට වඩා විශාල ප්‍රදේශයක් ආවරණය කරන බවයි.

නමුත් ප්‍රවීණයන් පවසන්නේ දේශගුණික විපර්යාස සහ මිනිසුන්ගේ අධික පරිභෝජනය හේතුවෙන් ලෝක උරුම ස්ථාන තර්ජනයට ලක්ව ඇති බවයි. ගෝලීය වශයෙන් වැදගත් යැයි පිළිගනු ලැබුවද සමහර විශේෂ ආරක්ෂිත ප්‍රදේශවලින් වඳ වී යා හැකි බවට පර්යේෂකයින් විසින් අනතුරු ඇඟවීම් කර ඇත.

මෙම දශකයේ එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව ඉලක්ක සපුරාලීමට සැලසුම් කරන විට (මේ සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීමට  Biodiversity Cop16 නම් සමුළුව ලබන වසරේ පැවැත්වීමට නියමිතය)  එම ස්ථාන ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව රජයන් හොඳින් සිතා බැලිය යුතු බව ද විශේෂඥයින් පවසයි.

යුනෙස්කෝ හි ලෝක උරුම අධ්‍යක්ෂ Lazare Eloundou Assomo පැවසුවේ බොහෝ ලෝක උරුම ස්ථාන සංස්කෘතිකමය ඒවා වූවත් වඩා හොඳ ආරක්ෂාවක් ඉක්මනින් ලබා ගත යුතු වැදගත් ස්වාභාවික ප්‍රදේශ රාශියක් මේවා තුළ ඇතුළත් බවයි.

“ප්‍රධාන පණිවිඩය නම්, මෙම ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා රජයන් වැඩි යමක් කරනු දැකීමට අපට අවශ්‍යයි. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ලෝක උරුම ස්ථාන අත්‍යවශ්‍යයි. ඔවුන් මෙම ප්‍රදේශ ආරක්ෂා නොකළහොත් ප්‍රධාන විශේෂ ගණනාවක් වඳ වී යා හැකි බව මෙම විශේෂඥ වාර්තාව මගින් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ජාවා රයිනෝසිරස්, කඳුකර ගෝරිල්ලන් ඇතුළු ලෝකයේ දුර්ලභ සතුන් විශාල සංඛ්‍යාවක් ලෝක උරුම ස්ථානවල ජීවත් වෙනවා” ඔහු පැවසීය.

“ජෛව විවිධත්වය පිළිබඳ සියලුම ප්‍රධාන විද්‍යාත්මක දත්ත සහ තොරතුරු ලෝක උරුම ස්ථානවල එක්රැස් කිරීම වැදගත් යැයි අපි සිතුවා. එවිට මෙම ප්‍රදේශ ආරක්ෂා නොකළහොත් වඳ වී යා හැකි ප්‍රධාන විශේෂවල නිවහන කොතැනද තිබෙන්නේ කියලා මිනිසුන්ට දැකගත හැකියි” ඔහු තවදුරටත් පැවසීය.

අද්විතීය ජෛව විවිධත්වයේ අනෙකුත් උදාහරණ ලෙස සැතපුම් 110කට වඩා විහිදෙන පෘථිවියේ විශාලතම මුහුදු තෘණ ශාකයේ නිවහන වන ඕස්ට්‍රේලියාවේ මෝර බොක්ක (Shark Bay) සහ ආර්ජන්ටිනාවේ වසර 2,600ක් පැරණි අබුලෝ ගස (Abuelo tree) ද ඇතුළත් වේ.

යුනෙස්කෝ අඩවි මගින් ආක්ටික් සිට දකුණු අප්‍රිකාව දක්වා විහිදෙන පක්ෂීන් සඳහා නැගෙනහිර අත්ලාන්තික් පියාසර මාර්ගය සහ නැගෙනහිර ආසියානු-ඕස්ට්‍රේලියානු පියාසර මාර්ගය වැනි වැදගත් සංක්‍රමණ මාර්ග ද ආවරණය වන බව සමීක්ෂණයෙන් සොයා ගන්නා ලදී.

රටවල් ඔවුන්ගේ ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලසුම් සම්පාදනය කරන විට යුනෙස්කෝ ලෝක උරුම අඩවි ද ඇතුළත් කළ යුතු බව ද මෙම වාර්තාව නිර්දේශ කරයි. එසේම පසුගිය දෙසැම්බර් මාසයේ Cop15 ජෛව විවිධත්ව සමුළුවේදී එකඟ වූ ස්වභාවධර්ම ඉලක්ක වෙත රටක් දායක වන ආකාරය ද අදාළ වාර්තාව මගින් විස්තර කරයි.

https://www.theguardian.com/environment/2023/aug/31/fifth-of-known-life-on-earth-found-in-unesco-world-heritage-sites-survey-finds-aoe