ලොව පුරා පවතින තාප තරංග හේතුවෙන් වාතයේ ගුණාත්මක භාවය පිරිහෙමින් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO)  පවසන්නේ අධික උෂ්ණත්වය තාප තරංග වලින් ඇති වන එකම අන්තරාය නොව ඒවා පරිසර දූෂණය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු ද ඇති කරන බවයි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් වාර්ෂිකව වාතයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් දත්ත සහ සිය විශ්ලේෂණ ඉදිරිපත් කරන අතර  මෙවර වාර්තාව මගින් දේශගුණික බිඳවැටීමේ සහ වායු දූෂණයේ “විෂම චක්‍රයක් / vicious cycle” ඉස්මතු කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ තාප තරංග 2022 දී වාතයේ ගුණාත්මක භාවය දැඩි ලෙස පිරිහීමට ලක් කළ බවයි.

2022 දී යුරෝපයේ වාර්තාගත ලෙස වර්ධනය වූ අධික උෂ්ණත්වය හේතුවෙන් වාතයේ ඇති අංශු මාත්‍ර මට්ටම ඉහළ යාම සිදු වූ බව වාර්තාව පවසයි. 2022 අගෝස්තු දෙවන භාගයේදී, මධ්‍යධරණී මුහුද සහ යුරෝපය පුරා කාන්තාර දූවිලි වල අසාමාන්‍ය වර්ධනයක් ද සිදු විය.

“උණුසුම් තරංග හේතුවෙන් වාතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙනවා. එමගින් මිනිස් සෞඛ්‍ය, පරිසර පද්ධති, කෘෂිකර්මාන්තය සහ ඇත්ත වශයෙන්ම අපගේ දෛනික ජීවිතයට බලපෑම් ඇති කරනවා. දේශගුණික විපර්යාස සහ වාතයේ ගුණාත්මකභාවය වෙන වෙනම සලකා බැලිය නොහැකියි. අපි මෙම විෂම චක්‍රය බිඳ දැමීමට එක්ව කටයුතු කළ යුතුයි’’ යනුවෙන් WMO මහලේකම් මහාචාර්ය පෙටේරි ටලාස් පැවසීය.

තම වාර්තාවට භාවිත කළේ 2022 වසරේ දත්ත බවත්, 2023 තත්ත්වය ඊටත් වඩා ආන්තික වූ බවත් ඔහු පැවසීය.

ලැව්ගිනි සහ වෙනත් තාප තරංග ආශ්‍රිත උපද්‍රව වලදී මිනිසුන්ට වායු දූෂණයට එරෙහිව පියවර ගත හැකිය. නාගරික ප්‍රදේශ තුළ උද්‍යාන සහ ගස්වලින් වැසී ඇති ප්‍රදේශ වාතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරන අතර ඒවා කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන බව පෙන්වන බ්‍රසීලයේ සිද්ධි අධ්‍යයනයන් මෙම වාර්තාවේ ඇතුළත් වේ.

“උණුසුම් තරංග සහ ලැව්ගිනි සමීපව සම්බන්ධයි. ලැව්ගිනිවලින් පිටවන දුමාරය වාතයේ ගුණාත්මක භාවයට සහ සෞඛ්‍යයට පමණක් නොව, ශාක, පරිසර පද්ධති සහ බෝගවලට ද හානි කරනවා. එහි හානිකර රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර එය ඉහළ කාබන් විමෝචනයකට සහ වායුගෝලයේ හරිතාගාර වායූ සංයුතිය ඉහළ දැමීමට මඟ පාදනවා” WMO හි ආචාර්ය ලොරෙන්සෝ ලැබ්‍රඩෝ පවසයි.