• භූ ඉංජිනේරු දේශගුණය සඳහා දරන උත්සාහයන් සඳහා ගෝලීය තහනමක් ඕනෑ ඇයි ?

  • සූර්ය විකිරණ කළමනාකරණය වැනි තාක්ෂණික ක්‍රම අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති කළ හැකි බව විද්‍යාඥයෝ පවසති

හරිතාගාර වායු විමෝචනය අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් සහ දේශගුණික අර්බුදය පවතින බැවින් පෘථිවියේ දේශගුණය භූ ඉංජිනේරුකරණය (Geoengineer climate) කිරීමේ උත්සාහයන් රජයන් විසින් අත්හිටුවිය යුතු බව ගෝලීය විශේෂඥ මණ්ඩලයක් ඉල්ලා සිටී.

භූ ඉංජිනේරු විද්‍යාව (Geoengineering) බෙහෙවින් මතභේදාත්මක ය, නමුත් දේශගුණික බිඳවැටීම් මගින් මෙහෙයවනු ලබන ආන්තික කාලගුණයේ බලපෑම් පෘථිවිය ග්‍රහණය කර ගන්නා බැවින් එහි ශක්‍යතා පිළිබඳ සාකච්ඡා වේගවත් වෙමින් පවතී. භූ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෝලීය එකඟතාවයක් නොමැති අතර රටවල් හෝ ව්‍යාපාරවලට කළ හැකි දේ පිළිබඳ නීති රීති නොමැත.

අද (14 වැනි බ්‍රහස්පතින්දා) ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක , Climate Overshoot කොමිසම රජයන්ගෙන් ඉල්ලා සිටියේ,

  • ෆොසිල ඉන්ධන ක්‍රමානුකූලව ඉවත් කරන්න
  • ආන්තික කාලගුණික බලපෑම්වලට අනුවර්තනය වීමට සම්පත් යොදවන ප්‍රමාණය වැඩි කරන්න
  • කාබන් ග්‍රහණය කර ගැනීම, ගබඩා කිරීම සහ වාතයෙන් ඍජුව ග්‍රහණය කර ගැනීම වැනි කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ තාක්ෂණයන් භාවිතා කිරීම ආරම්භ කරන්න
  • ප්‍රධාන වශයෙන් සූර්ය විකිරණ කළමනාකරණයේ ස්වරූපයෙන් භූ ඉංජිනේරු විද්‍යාවේ හැකියාවන් විමර්ශනය කිරීමට රජයන් විද්වතුන්ට ඉඩ දිය යුතුය. (එයට පෘථිවි පෘෂ්ඨයට වැටෙන සූර්යාලෝකයේ ප්‍රමාණය අඩු කිරීමට උත්සාහ කිරීම ඇතුළත් වේ. උදාහරණයක් ලෙස සුදු කරන වලාකුළු හරහා වඩාත් පරාවර්තක වීමට හෝ දර්පණ සැකසීම.)
  • එහෙත් රජයන් එවැනි කිසිදු ක්‍රියාකාරකමකට අත නොතැබිය යුතු බව මණ්ඩලය අනතුරු ඇඟවීය. මන්දයත් තවමත් හොඳින් වටහාගෙන නොමැති මාර්ගවලින් ගෝලීය දේශගුණය සමඟ සම්බන්ධ වීමේ අන්තරායන් ඇති බැවිනි.

Climate Overshoot කොමිසමේ මුලසුන දැරූ ලෝක වෙළඳ සංවිධානයේ හිටපු ප්‍රධානී Pascal Lamy කියා සිටියේ ලෝකය පූර්ව කාර්මික යුගයේ පැවැති උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.5කින් උෂ්ණත්වය ඉහළ යාම නොවැළැක්විය හැකි දෙයක් නොවන බවයි.

ගෝලීය උෂ්ණත්ව සීමා ගැන රජයන් එකඟ වී ඇති නමුත් එය ඉක්මවා යාමේ සම්භාවිතාව වැඩි වෙමින් පවතින බවත්, එය අප කරන දේ මත රඳා පවතින බවත් ඔහු පැවසීය. නමුත් සමහර රටවල් තමන් විසින්ම විමර්ශනය කිරීමට සහ අත්හදා බැලීමට පටන් ගත හැකි බැවින් භූ ඉංජිනේරු විද්‍යාවේ හැකියාව නොසලකා හැරිය නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.

Pascal Lamy මෙසේ ද පැවසීය: “සූර්ය විකිරණ කළමනාකරණය (solar radiation management) පිළිබඳ ජාත්‍යන්තර සාකච්ඡාවක් වැඩි වෙමින් තිබෙනවා. නමුත් අන්තරාය වන්නේ අනපේක්ෂිත ප්‍රතිවිපාක සහ දේශසීමා ප්‍රතිවිපාක යි . සූර්ය විකිරණ කළමනාකරණය ආරක්ෂිත දැයි විද්‍යාඥයින්ට පැවසිය නොහැකි අතර, පූර්වාරක්ෂාව පිළිබඳ මූලධර්මය යෙදිය යුතුයි’’ ඔහු පැවසීය.

Pascal Lamy  සියලු ආණ්ඩුවලින් ඉල්ලා සිටියේ ගෝලීය එකඟතාවක් එනතෙක් බලා සිටිනවාට වඩා ඒක පාර්ශ්විකව තහනමක් ගැන තීරණය කරන ලෙසයි. “මම විශාල ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් යෝජනා කරන්නේ නැහැ – ඒ සඳහා මගේ අත්දැකීම් අනුව බොහෝ කාලයක් ගතවිය හැකියි” ඔහු ගාඩියන් පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

සූර්ය විකිරණ කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ බෙදාහදා ගත යුතු අතර එය විවෘත හා පාරදෘශ්‍ය විය යුතු බව ද ඔහු පැවසීය.

භූ ඉංජිනේරු විද්‍යාව යනු වැඩි කාබන් අවශෝෂණය කිරීම සඳහා විශාල භූමි ප්‍රදේශවල නැවත වන වගා කිරීම, වඩාත් පරාවර්තක වීමට වහලවල් සුදු පැහැයෙන් පින්තාරු කිරීම හෝ ප්ලවාංග වැඩි කිරීම වැනි සෑම දෙයක්ම ඇතුළත් කළ හැකි යෙදුමකි.

පැරිස් ගිවිසුමේ ප්‍රධාන කෙටුම්පත් කරුවෙකු වූ ලෝරන්ස් ටුබියානා ඇතුළු ජ්‍යෙෂ්ඨ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින්, ප්‍රතිපත්ති විශේෂඥයින් සහ විද්‍යාඥයින් පිරිසක් එක්ව පිහිටුවා ගෙන ඇති Climate Overshoot කොමිසම සූර්ය විකිරණ කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කළේ එය වඩාත් මතභේදාත්මක සහ භයානක අදහසක් වන බැවිනි.

ගස් නැවත වැඩීම සාමාන්‍යයෙන් ආරක්ෂිත යැයි සලකනු ලබන අතර, හිරු එළිය පරාවර්තනය කිරීම සඳහා අවකාශයේ දර්පණ තැබීම හෝ අභ්‍යවකාශයට වැඩි කිරණ පරාවර්තනය කිරීම සඳහා වලාකුළු වැපිරීම විශාල බලපෑම් ඇති කළ හැකි අතර එය පාලනය කිරීමට අපහසු වන අතර රටේ දේශසීමා තුළට සීමා කිරීමට නොහැකි වනු ඇත. එක් ස්ථානයක දේශගුණය වෙනස් කිරීමට ආවේනික අවදානම් මෙන්ම, “අවසන් කිරීමේ කම්පනයක්” ඇති විය හැකිය. භූ ඉංජිනේරු විද්‍යාව භාවිතා කරන අතරතුර හරිතාගාර වායු විමෝචනය දිගටම වායුගෝලයට ගලා ගියහොත්, තාක්ෂණය භාවිතය නතර කිරීම දැඩි බාධාවක් ඇති කරයි.

නාසා හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ දේශගුණ විද්‍යාඥයෙකු වන පීටර් කල්මස් අනතුර ගැන මෙසේ අනතුරු ඇඟවීය.

“භූ ඉංජිනේරු විද්‍යාව, සෘජු කාබක් ග්‍රහණයක් වැනි ගැඹුරු අවිනිශ්චිත තාක්‍ෂණික විසඳුමක් වන අතර, ෆොසිල ඉන්ධන විධායකයින් තෙල්, ගෑස් සහ ගල් අඟුරු විකිණීමේ ඔවුන්ගේ මූලික ව්‍යාපාරයෙන් පීඩනය ඉවත් කිරීමට තල්ලු කිරීමට ප්‍රිය කරනවා. එය වැඩි වැඩියෙන් මිනිසුන් වටහාගෙන තිබීම මෙයට හේතුවයි. එය අපගේ පෘථිවියට සිදුකරන වේගවත් හා ආපසු හැරවිය නොහැකි විනාශයක්. පොසිල ඉන්ධන ප්‍රභූන් සාමාන්‍ය පරිදි ව්‍යාපාර කරගෙන යාමට නිදහසට කරුණක් ලෙස භූ ඉංජිනේරු විද්‍යාව භාවිතා කරනු ඇති බව පැහැදිලියි. දේශගුණ විද්‍යාඥයෙකු වශයෙන් මගේ බියකරු සිහිනය වන්නේ ෆොසිල ඉන්ධන ප්‍රසාරණය අඛණ්ඩව සූර්ය භූ ඉංජිනේරු විද්‍යාව සමඟින් ද සිදුවනු දැකීමයි. මෙය මානව ශිෂ්ටාචාරයට සහ පෘථිවියේ බොහෝ ජීවීන් සඳහා අවසන් හෝරාව විය හැකියි’’.

Climate Overshoot කොමිසමට සම්බන්ධ නොවූ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි පෘථිවි පද්ධති විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාර්ක් මැස්ලින් පැවසුවේ බොහෝ විද්‍යාඥයින්ට භූ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දැඩි හැඟීම් ඇති බවයි. “සූර්‍ය විකිරණ කළමනාකරණය [ප්‍රයත්න] භයානක අත්හදා බැලීම් වන අතර අනපේක්ෂිත දේශගුණික විපර්යාස ඇති කළ හැකියි. මන්ද පෘථිවිය පුරා සූර්ය ශක්තිය බෙදා හැරීම අපගේ ගතික දේශගුණය නිර්මාණය කළ හැකියි. එක් කලාපයක සූර්ය ශක්තිය අඩු කිරීමෙන් වායුගෝලය සහ සාගර නිවර්තන කලාපයේ සිට ධ්‍රැව දක්වා ශක්තිය අනපේක්ෂිත ආකාරයෙන් ගෙන යන ආකාරය වෙනස් කළ හැකියි” ’පීටර්  කල්මස් පැවසීය.

ඔහු තවදුරටත් මෙසේ ද පැවසීය: “කිසිදු රටක් හෝ සමාගමක් විනාශකාරී ප්‍රතිවිපාක සහිත ‘දේශගුණික විපර්යාස නිවැරදි කිරීමට’ උත්සාහ නොකරන බව සහතික කිරීම සඳහා සූර්ය විකිරණ කළමනාකරණයට එරෙහිව ශක්තිමත් ජාත්‍යන්තර තහනමක් අවශ්‍යයි’’

කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ තාක්ෂණයන් භූ ඉංජිනේරු විද්‍යාවට වඩා බෙහෙවින් අඩු ප්‍රමාණයකට වුවද මතභේදාත්මක ය. ඔවුන්ගේ නිෂ්පාදන මගින් ජනනය වන කාබන් ප්‍රමාණය වැඩි වන ප්‍රතිශතයක් ඉවත් කිරීම සහ ගබඩා කිරීම සඳහා පොසිල ඉන්ධන සමාගම්වලට බැඳීම් ඇති කිරීම ඇතුළුව රටවල් “ඉහළ ගුණාත්මක කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමේ වේගවත් ව්‍යාප්තිය ප්‍රවර්ධනය කළ යුතු” බව Climate Overshoot කොමිසම සොයා ගත්තේය.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භූ පද්ධති විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන මයිල්ස් ඇලන්, කාබන් ආපසු ගැනීමේ වගකීම් වෙනුවෙන් පෙනී සිටින අතර නිෂ්පාදකයාට තම නිෂ්පාදනවලින් විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් “ආපසු ලබා ගැනීමේ” වගකීමක් ඇති බව පැවසීය.

www.theguardian.com