ආන්තික කාලගුණික සෞඛ්‍ය අර්බුදයට කඩිනම් ප්‍රතිචාර දැක්විය යුතු බව WHO පවසයි

අයිස් තට්ටු දියවීම සහ මුහුදු මට්ටම ඉහළ යාම හදිසි නමුත් මේ වන විට ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති ගංවතුර, ලැව්ගිනි සහ නියඟය ගැන ජනතාව වැඩි සැලකිල්ලක් දක්වන බව නිව්යෝර්ක් සමුළුව පවසයි

ගංවතුර, ලැව්ගිනි, නියඟය සහ ආන්තික කාලගුණයේ ප්‍රහාරය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් ඇති කරන අතර එය දේශගුණික ක්‍රියාමාර්ගයේ කේන්ද්‍රස්ථානය විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද (19) ප්‍රකාශ කළේය.

“දේශගුණික අර්බුදය සෞඛ්‍ය අර්බුදයක්, එය ආන්තික කාලගුණික තත්ත්වයන් මෙහෙයවන අතර ලොව පුරා ජීවිත බිලිගනිමින් සිටිනවා.  ග්ලැසියර දියවීම සහ මුහුදු මට්ටම ඉහළ යාම, ඇත්ත වශයෙන්ම තීරණාත්මක ප්‍රශ්නයි. නමුත් බොහෝ මිනිසුන්ට ඒවා කාලය හා ස්ථානය යන දෙකින්ම දුරස්ථ තර්ජනයි. අපගේ වෙනස්වන දේශගුණයේ තර්ජන දැන් මුළු ලෝකයම වෙලා ගෙන තිබෙනවා’’ WHO හි ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.

ගෝලීය සෞඛ්‍යය සහ දේශගුණික අර්බුදය අතර සම්බන්ධතා පිළිබඳ නිව්යෝර්ක් දේශගුණ හමුවකදී ටෙඩ්‍රොස් මේ බව පැවසීය. ලබන දෙසැම්බර් මාසයේදී ඩුබායි හි පැවැත්වෙන Cop28 දේශගුණ සමුළුව ප්‍රථම වරට ගෝලීය සෞඛ්‍ය දිනයක් / Global health day පවත්වනු ඇති අතර එහිදී දේශගුණික අර්බුදයේ සන්දර්භය තුළ සෞඛ්‍ය ගැටලු සාකච්ඡා කරනු ඇත.

මලාවි ජනාධිපති Lazarus Chakwera පැවසුවේ ගෝලීය සෞඛ්‍ය දිනය එකතු කිරීම “දිගු කාලයක් ප්‍රමාද වූ අත්‍යවශ්‍ය දෙයක්” බවයි. නිවර්තන කලාපීය සුළි කුණාටු මාලාවක් මලාවි ඉතිහාසයේ දරුණුතම කොලරාව පැතිරීමට තුඩු දුන් බවත් මිලියන මිලියන දෙකකට වැඩි පිරිසකට බලපාන විනාශයේ මාවතක් ඉතිරි කළ බවත් ඔහු සඳහන් කළේය.

දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය හැකි ජාතියක් ලෙස මලාවි ශ්‍රේණිගත කර ඇති අතර, “දේශගුණය ආශ්‍රිත ව්‍යසනයන්ට ඔරොත්තු දීම සඳහා සෞඛ්‍ය සේවා පද්ධති සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම ඉතා වැදගත්” බව ඔහු පැවසීය‍ෙ

ඩර්නා වරාය නගරයේ දැනටමත් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් කර ඇති ව්‍යසනකාරී ගංවතුරෙන් පසුව ලිබියාවේ මීළඟට සිදු විය හැකි දේ පිළිබඳව අනතුරු ඇඟවීම් තිබුණි.

“අපි දේශගුණික අනුවර්තනය සහ අවම කිරීමේ ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක නොකළහොත් දේශගුණය ආශ්‍රිත ව්‍යසනවලින් සිදුවන මරණ සහ තුවාල සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යනු ඇත” යනුවෙන් චක්වේරා පැවසීය.

දේශගුණික විපර්යාස සහ සෞඛ්‍යය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු විශේෂ නියෝජිතවරිය ලෙස අලුතින් පත් වූ වෛද්‍ය වැනේසා කෙරී මෙසේ පැවසුවාය: “දේශගුණික විපර්යාස යනු සෞඛ්‍ය අර්බුදයක්. වායු දූෂණයෙන් වසරකට මිනිසුන් මිලියන 7ක් මිය යන බව අපි දන්නවා. එය සෑම තත්පර පහකටම එක් පුද්ගලයෙකු මරා දමනවා. මෙය සමස්ත කොවිඩ් වසංගතය තුළ අප දුටුවාට වඩා වැඩි බිහිසුණු තත්ත්වයක්’’

එක්සත් ජනපද දේශගුණ නියෝජිතයා වන ජෝන් කෙරීගේ දියණිය සංවර්ධනය වෙමින් පවතින රටවල වෛද්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කරන Seed Global Health හි නිර්මාතෘවරිය වේ. සෞඛ්‍ය සේවකයින් පුහුණු කිරීම, ඖෂධ ලබා ගත හැකි බව සහතික කිරීම, ආන්තික කුණාටු වලට වඩා ඔරොත්තු දෙන ලෙස රෝහල් ඉදි කිරීම, හරිත හා සූර්ය බලශක්තිය භාවිතා කිරීම ඇතුළුව ගත හැකි සංයුක්ත ක්‍රියාමාර්ගවලට ලෝකය වහා ගමන් කළ යුතු බව ඇය පැවසුවාය.

ලිබියාවේ ලැව්ගිනි සහ ගංවතුර උදාහරණ ලෙස දෙමින් ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “මෙය දැන් දෛනික සිදුවීමක් බවට පත්ව තිබෙනවා. නමුත් ඔවුන්ට සැබෑ සෞඛ්‍ය ඇඟවුම් ඇති අතර ගැටලුව වන්නේ අපට අනුවර්තනය වීමට සිදු වීමයි. මන්ද දේශගුණික විපර්යාසවලින් මිනිසුන් අද අසනීප වේ නම් අපට ඔවුන් රැකබලා ගැනීමට හැකි විය යුතුයි. නමුත් අප ගැටලුව වළක්වා ගත යුතු අතර සෞඛ්‍ය පද්ධතිය සඳහා ආයෝජනය කිරීම වැදගත් වන්නේ එහිදීයි’’

Cop28 සභාපති සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත සුල්තාන් අල් ජාබර් පැවසුවේ සෞඛ්‍යය සහ දේශගුණික විපර්යාස අතර සම්බන්ධය වායු දූෂණයේ සිට ජලයෙන් බෝවන රෝග දක්වා “ඉතා පැහැදිලිව දැකගත හැකි” බවයි.

“Cop28 මෙම ගැටලු සම්බන්ධයෙන් වෙනසක් කළ හැකි සහ ධනාත්මක දායකත්වයක් ලබා දිය හැකි හවුල්කරුවන් ගෙන ඒමට අධිෂ්ඨාන කර ගෙන සිටිනවා. සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීම දේශගුණික මූල්‍ය වැඩිදියුණු කිරීම මත රඳා පවතින අතර එය Cop28 හි අපගේ ක්‍රියාකාරී න්‍යාය පත්‍රයේ තීරණාත්මක කුළුණක්” අල් ජබාරි පැවසුවේය.

https://www.theguardian.com