ගෝලීය බලශක්ති  නියෝජිතායතනයේප්‍රධානියා පවසන්නේ ‘අතිවිශිෂ්ට’ හරිත වර්ධනය 1.5C සඳහා බලාපොරොත්තුවක් ලබා දෙන බවයි

 ධනවත් රටවල් ඔවුන්ගේ හරිත බලශක්ති සැලසුම් පුළුල් හා කඩිනම් කළ යුතුයි – ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය 

පසුගිය දෙවසර තුළ පුනර්ජනනීය බලශක්තිය සහ හරිත ආයෝජනවල සිදු වූ “විශිෂ්ට” වර්ධනය හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාමේ අපේක්ෂිත සීමාව වන සෙල්සියස් අංශක 1.5ක සීමාව තුළ  රැඳී සිටීමේ අපේක්ෂාවන් දීප්තිමත් වී ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් (Fatih Birol) පවසයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ ලෝකය තවත් බොහෝ දේ කළ යුතු නමුත් සූර්ය බලශක්තිය සහ විදුලි වාහන කර්මාන්තය තුළ සිදුවන වර්ධනය දිරිගන්වන සුළු බවයි.

“නොයෙකුත් අභියෝග තිබියදීත් වසර දෙකකට පෙර මට දැනුනාට වඩා ශුභවාදී හැඟීමක් මට දැනෙනවා” ඔහු සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. “සූර්ය බල ශක්ති ස්ථාපනයන් සහ විද්‍යුත් වාහන අලෙවිය 2050 වන විට ශුද්ධ ශූන්‍ය කරා ළඟා වීමට සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අපේක්ෂිත සීමාව වන සෙල්සියස් අංශක1.5C තුළ රැඳී සිටීමට අප පැවසූ දෙයට හොඳින් ගැලපෙනවා. පසුගිය වසර දෙක තුළ පිරිසිදු බලශක්ති ආයෝජන 40% ක විශ්මයජනක වර්ධනයක් දැක තිබෙනවා’’

එහෙත් බලශක්ති අංශයෙන් හරිතාගාර වායු විමෝචනය “තවමත් මුරණ්ඩු ලෙස ඉහළ මට්ටමක ” පවතින බවත්, මේ වසරේ ලොව පුරා දැකිය හැකි ආන්තික කාලගුණික තත්ත්වය පෙන්නුම් කර ඇත්තේ දේශගුණය දැනටමත් “භයානක වේගයකින්” වෙනස් වෙමින් පවතින බවත් Birol සඳහන් කළේය.

IEA විසින් පසුගිය 26 වැනි දා  (අඟහරුවාදා) උදෑසන ප්‍රකාශයට පත් කරන ලද Net Zero Roadmap නමැති වාර්තාව මගින් 2050ට ඉලක්ක ගත කර තිබෙන ශුද්ධ ශුන්‍ය ඉලක්ක තවත් වසර කිහිපයකින් ඉදිරියට ගෙන එන ලෙස සංවර්ධිත රටවලින් ඉල්ලා සිටියේය.

“සියලුම රටවල් පාහේ ඔවුන්ගේ ඉලක්කගත ශුද්ධ ශුන්‍ය දිනයන් ඉදිරියට ගෙන යා යුතු” බව වාර්තා අවධාරණය කරයි. බොහෝ සංවර්ධිත රටවලට එය 2050 වේ. සමහර සංවර්ධිත රටවලට පෙර දිනයන් ඇත. උදාහරණයක් ලෙස ජර්මනිය සහ ඔස්ට්‍රියාව 2045දීත්, අයිස්ලන්තය 2040දීත් ශුද්ධ ශූන්‍ය ඉලක්ක වෙත පිවිසීමට අපේක්ෂිතය.  මේ අතර චීනය 2060 දී  සහ ඉන්දියාව 2070 දී මෙම ඉලකක් වෙත පිවිසීමට දින නියම කර ඇත.

මෙම වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ඩුබායි හි පැවැත්වීමට නියමිත UN දේශගුණ සමුළුව වන Cop28 , දැඩි විමෝචන කප්පාදු කිරීමේ සැලසුම් සකස් කිරීමට රටවල් සඳහා ප්‍රධාන අවස්ථාවක් ලබා දුන් බව බිරෝල් පැවසීය.

ඔහුට අවශ්‍ය වන්නේ 2030 වන විට Cop28 පුනර්ජනනීය බලශක්තිය තුන් ගුණයකින් වැඩි කිරීමට එකඟ වන අතර එම දිනය වන විට බලශක්ති අංශයෙන් මීතේන් 75% කින් කපා හැරීමයි. එහෙත් යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් බොහෝ ජාතීන් අතර මතභේද ඇති භූ දේශපාලනික තත්ත්වය සහ තවමත් එක්සත් ජනපදය හා චීනය අතර සීත සබඳතා දුෂ්කර සමුළුවකට තුඩු දෙනු ඇති බවට බිරෝල් අනතුරු ඇඟවීය.

ඔහු මෙසේ පැවසීය: “ප්‍රධාන අභියෝගය වන්නේ ජාත්‍යන්තර සහයෝගීතාව නොමැතිකමයි. Cop28 තීරණාත්මක සන්ධිස්ථානයක් වන අතර, රජයන් දේශගුණය බැරෑරුම් ලෙස සලකන බවට බලශක්ති වෙළඳපොළවල් වෙත ප්‍රබල සංඥාවක් යැවිය යුතුයි. අසීමිත ෆොසිල ඉන්ධන පරිභෝජනය අඩු කිරීමට ඔවුන් පියවර ගත යුතුයි’’

Cop28 බලශක්ති කාර්යක්ෂමතාව දෙගුණ කිරීමට එකඟ විය යුතු බව ද ඔහු අවධාරණය කර සිටියේය. “ෆොසිල ඉන්ධන විමෝචනය අවම කිරීම සඳහා අපි ෆොසිල ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩු කළ යුතුයි. අපගේ දේශගුණික ඉලක්ක කරා ළඟා වීමට නම් මෙය ස්වර්ණමය තත්ත්වයක්, ”ඔහු පැවසීය.

2050 වන විට ෆොසිල ඉන්ධන සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා Cop28 හිදී එකඟ වීමට සමහර රටවල් කර ඇති ඉල්ලීම අනුමත කිරීමෙන් බිරෝල් නතර වූ නමුත්, සියලුම රටවල් තම ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට කටයුතු කළ යුතු බව ඔහු පැවසීය.

බිරෝල් ද කිසිදු රටක් වෙන් කිරීම ප්‍රතික්ෂේප කළේය. නමුත් ධනවත්ම රටවල් පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම සහ ඔවුන්ගේ ශුද්ධ ශුන්‍ය ඉලක්ක ඉදිරියට ගෙන ඒම මත වඩා වේගයෙන් ගමන් කළ යුතු බව පැහැදිලි කළේය.

බිරෝල් මෙසේ පැවසීය: “දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමේදී දියුණු ආර්ථිකයන්ට විශේෂ වගකීම් තිබෙනවා. දියුණු ආර්ථිකයන්ගෙන් මා බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ අභිලාෂය අඩු කරනවාට වඩා තව තවත් වැඩි කර ගැනීමයි. පිරිසිදු බලශක්තිය නව රැකියා සහ රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරනු ඇති අතර අනෙකුත් රටවල් සමඟ තරඟකාරී තත්වයක් ඇති කර ගැනීමට [අවශ්‍ය] නවීන කර්මාන්තයක් ගොඩනඟාවි. ගෝලීය කර්මාන්තයේ ඊළඟ පරිච්ඡේදය පිරිසිදු බලශක්ති තාක්ෂණයන් මත පදනම් වූ බව කර්මාන්ත බව අප වටහා ගත යුතුයි’’

ප්‍රචාරක සංවිධානයක් වන Uplift හි විධායක අධ්‍යක්ෂ ටෙසා ඛාන් මෙසේ පැවසුවාය: “ IEA වාර්තාව සම්පාදනයට දායක වූ ලෝකයේ බලශක්ති විශේෂඥයින්ගෙන් තව දුරටත් තහවුරු වන්නේ අප ආරක්ෂිත ස්ථානයක සිටීමට යන්නේ නම් අපට නව තෙල් හා ගෑස් ව්‍යාපෘති ඇති කළ නොහැකි බවයි. දේශගුණය සහ පුනර්ජනනීය බලශක්තිය විශාල වශයෙන් ඉහළ නැංවීම එය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කටයුත්තක්. එහෙත් එක්සත් රාජධානිය වැනි රටවල් දේශගුණයට නායකත්වය දෙන බව ප්‍රකාශ කරන අතරම තෙල් හා ගෑස් නිෂ්පාදනය විශාල වශයෙන් ව්‍යාප්ත කිරීමට පියවර ගනිමින් සිටිනවා. එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නෝර්වේ ද එවැනි පියවර ගනිමින් සිටිනවා. 2050 දක්වා සැලසුම් කර ඇති සියලුම තෙල් හා ගෑස් ක්ෂේත්‍ර සංවර්ධනයන්ගෙන් අඩකට වඩා වගකිව යුත්තේ රටවල් පහක් පමණයි’’

https://www.theguardian.com/environment/2023/sep/26/staggering-green-growth-gives-hope-for-15c-says-global-energy-head