දර භාවිතය කාන්තාවන්ගේ පෙනහළු පිළිකා අවදානම 43% කින් ඉහළ නංවන බව එක්සත් ජනපදයේ සිදුකළ නවතම අධ්‍යයනයක් පවසයි

කාන්තාවන් 50,000ක් සම්බන්ධ කර ගත් අධ්‍යයනයේ ප්‍රතිඵල යෝජනා කරන්නේ ඉඳහිට දර දැවීම පවා පෙනහළු පිළිකාවලට දායක විය හැකි බවයි.

ගෘහස්ථ දැව පිළිස්සීම කාන්තාවන්ගේ පෙනහළු පිළිකා අවදානම 43% කින් ඉහළ නංවන බව එක්සත් ජනපදයේ සිදුකළ නවතම අධ්‍යයනයක් විසින් හෙළිකර ගෙන ඇත. කාන්තාවන් 50,000ක් සම්බන්ධ කර ගත් අධ්‍යයනයේ ප්‍රතිඵල යෝජනා කරන්නේ ඉඳහිට දර දැවීම පවා පෙනහළු පිළිකාවලට දායක විය හැකි බවයි

එක්සත් ජනපදයේ සිදුකළ අධ්‍යයනයකට අනුව ගෘහස්ථ දර උදුනක් හෝ ගිනි උදුනක් භාවිතා කරන කාන්තාවන් අතර පිළිකා අවදානම දර භාවිතා නොකරන කාන්තාවන්ට සාපේක්ෂව 43% කින් ඉහළය.

එක්සත් රාජධානියේ, 1960 න් පසු උපත ලද පිරිමින් 13 දෙනෙකුගෙන් එක් අයෙකු සහ කාන්තාවන් 15 දෙනෙකුගෙන් එක් අයෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ පෙනහළු පිළිකා හඳුනා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. එක්සත් ජනපදයේ එය පිරිමින් 16 දෙනෙකුගෙන් එක් අයෙකු වන අතර කාන්තාවන් 17 දෙනෙකුගෙන් එක් අයෙකි.

එක්සත් ජනපද අධ්‍යයනයෙන් හෙළි වූයේ ගෘහස්ථ දැව උණුසුම නිතර නිතර භාවිතා කිරීම වැඩි අවදානමකට තුඩු දෙන බවයි. නිදසුනක් වශයෙන්, වසරකට දින 30කට වඩා වැඩි කාලයක් තම දැව දාහකය භාවිතා කරන පුද්ගලයින්ට දර නොදැමූ පුද්ගලයින්ට සාපේක්ෂව පෙනහළු පිළිකා අවදානම 68% කින් වැඩි විය.

පියයුරු පිළිකා සහිත සහෝදරියන් සිටි එක්සත් ජනපද කාන්තාවන් 50,000කගේ සෞඛ්‍යය නිරීක්ෂණය කරන අධ්‍යයනයකින් මෙම දත්ත ලබා ගෙන ඇත.

එක්සත් ජනපදයේ ජාතික පාරිසරික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ සහ නව අධ්‍යයනයේ පළමු කතුවරයා වන වෛද්‍ය සූරිල් මේතා පැවසුවේ: “මෙම අධ්‍යයනය සැලසුම් කර ඇත්තේ පියයුරු පිළිකා සඳහා ජානමය සහ පාරිසරික අවදානම් සාධක වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා වන නමුත් එය අනෙකුත් සෞඛ්‍ය ඇගයීමට ද අදාළයි. එක්සත් ජනපදයේ කාන්තාවන් අතර පිළිකා ආශ්‍රිත මරණවලට ප්‍රධානතම හේතුව පෙනහළු පිළිකාවයි. එය එක්සත් ජනපදයේ පිළිකා ආශ්‍රිත මරණ පහෙන් එකකට දළ වශයෙන් හේතු වෙනවා. ගෝලීය වශයෙන්, පෙනහළු පිළිකා සඳහා විශාලතම අවදානම් සාධකය වන්නේ දුම්වැටි පානයයි. නමුත් එකම එකම සාධකය නොවන බව මෙම අධ්‍යයනයේ සොයාගැනීම් වලින් පිළිබිඹු වුණා. නවතම ප්‍රතිඵල පැමිණෙන්නේ සාමාන්‍ය වසර 11ක් කාන්තා සෞඛ්‍යය නිරීක්ෂණය කිරීමෙන් පසුවයි. මෙම කාලය තුළ 347 සහභාගිවන්නන් පෙනහළු පිළිකා හඳුනාගෙන තිබෙනවා. 289 ක් වත්මන් හෝ කලින් දුම්කොළ දුම් පානය කරන්නන් වූ අතර 58 ක් දුම් නොබොන්නන් වුණා’’

එක්සත් රාජධානියේ, ඝන ඉන්ධන භාවිතා කරන නිවාස වලින් 4% ක් පමණක් ඔවුන්ගේ එකම තාපන ප්‍රභවය ලෙස දර මත රඳා පවතී . ඒ හා සමානව, මෙම අධ්‍යයනට මූලාශ්‍ර වූ නිවාසවල මූලික වශයෙන් උණුසුම සඳහා ගෑස් හෝ විදුලිය භාවිතා කරන ලද අතර දැව ප්‍රධාන වශයෙන් ද්විතියික හෝ තෘතියික තාපන ප්‍රභවයකි.

සුරිල් මේතා මෙසේ ද පැවසුවේය: “අපගේ අධ්‍යයනයෙන් සොයා ගෙන ඇති ආකාරයට උදුන සහ ඉඳහිට සිදුවන ගෘහස්ථ දර දැවීම පවා පෙනහළු පිළිකා සඳහා දායක විය හැකියි.”

එක්සත් ජනපද පර්යේෂණයට සම්බන්ධ නොවූ Tasmania හි Menzies වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ෆේ ජොන්ස්ටන් මෙසේ පැවසීය: “මෙම අධ්‍යයනයේ නව ප්‍රතිඵල දැව දහනයෙන් රත් වූ නිවාසවල ජීවත්වීමේ අවදානම පිළිබඳ ප්‍රබල සාක්ෂි සපයනවා. සාපේක්ෂව අඩු  දැව භාවිතය පවා පෙනහළු පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධව තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මහජනතාව සඳහා වන පණිවිඩය පැහැදිලියි. දැව තාපක දුම ආරක්ෂිත නැහැ. නිවාස හා අසල්වැසි ප්‍රදේශවල නිරාවරණය අවම කිරීම සඳහා මැදිහත්වීම් ප්‍රමුඛතාවයක් විය යුතුයි’’.

දර දුමාරයෙන් පිළිකා ඇතිවීමේ අවදානම පිළිබඳ වර්ධනය වන සාක්ෂි මෙම පර්යේෂණය එකතු කරයි. 2006 ඔක්තෝම්බර් මාසයේදී  පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ඒජන්සිය, දැව දුම මිනිසුන්ට පිළිකා කාරක ලෙස වර්ගීකරණය කළේය. මෙම අධ්‍යයනයට වඩා බෙහෙවින් කුඩා වුවද සහ වෙනත් ක්‍රමවේදයක් භාවිතා කරමින්, 2010 සිට ජාත්‍යන්තර අධ්‍යයනයකින් දර සහ ගල් අඟුරු රත් කිරීම භාවිතා කරන පුද්ගලයින්ට සාපේක්ෂව පෙනහළු පිළිකා අවදානම වැඩි බව අනාවරණය කළේය.

මෙහ්තා පැවසුවේ, “දර දුමාරය බෙන්සීන්, 1,3-බියුටැඩීන්, බහු චක්‍රීය ඇරෝමැටික හයිඩ්‍රොකාබන සහ පෙනහළු පිළිකා ඇති කිරීමට දන්නා හෝ සැක කරන වෙනත් අන්තරායකර වායු දූෂක වැනි ද්‍රව්‍ය අඩංගු විය හැකියි”

අධ්‍යයනයේ දී, උදුන සහ ගෑස් හෝ ප්‍රොපේන් රත් කිරීම ද පෙනහළු පිළිකා අවදානම සමඟ සම්බන්ධ වී ඇති නමුත් මෙය දර දහනයට වඩා බෙහෙවින් කුඩා විය.

අධ්‍යයනයේ පූර්ව වාර්තාවක් නිගමනය කළේ ගෘහස්ථ දැව පිළිස්සීමෙන් සිදුවන වායු දූෂණය පියයුරු පිළිකා සඳහා පුළුල්ව පැතිරී ඇති සහ වෙනස් කළ හැකි අවදානම් සාධකයක් බවයි.

https://www.theguardian.com/environment/2023/oct/06/indoor-wood-burning-raises-women-lung-cancer-risk-study