අද වන විටත් මෙරට පුද්ගලයින් රැසක් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි. ඒ, ප්‍රදේශ රැසකට දින කිහිපයක් පුරා ඇදහැලෙමින් පවතින වර්ෂාව හේතුවෙනි. ජනතාවගේ දෛනික කටයුතු ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා කාලගුණ නිවේදන සහ අනතුරු ඇඟවීම් ඉතා ප්‍රයෝජනවත් වේ.

ජනතාවගේ දැනුවත් වීම උදෙසා කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කිරීම කරන ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයක් මෙරට පවතින අතර, එම ආයතන මහජනතාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ පටිපාටිය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ බීබීසි සිංහල කරුණු සොයා බැලීය.

නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් කරනු ලබන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසිනි. නායයෑම් ස්වභාවිකව සිදුවන සංසිද්ධියක් බවත්, රට තුළ නායයාමේ අවදානම් සහිත දිස්ත්‍රික් 14ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර බීබීසී සිංහල වෙත පැවසුවේ ය. එම දිස්ත්‍රික්කවල නායයෑම් වඩාත්ම සිදුවිය හැකි ස්ථාන විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා සිතියම්ගතකොට ඇති බවත්, එලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ ආශ්‍රිතව ස්වයංක්‍රීය වර්ෂාපතනමාන සවිකොට ඉන් ලැබෙන දත්ත මාර්ගගත ක්‍රමයක් ඔස්සේ නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු සඳහන් කර සිටියේ ය. එම දත්ත අනුව නිකුත් කරනු ලබන නායයෑමේ අනතුරු ඇඟවීම NBRO EW යන යෙදවුම ගූගල් ප්ලේ ස්ටෝර් හරහා බාගත කිරීමෙන් ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැකි ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ද ඔහු පැවසුවේ ය.

දත්ත අනුව නිකුත් කරනු ලබන නායයෑමේ අනතුරු ඇඟවීම NBRO EW යන යෙදවුම ගූගල් ප්ලේ ස්ටෝර් හරහා බාගත කිරීමෙන් ඕනෑම පුද්ගලයෙකුට ලබාගත හැකි ක්‍රමයක් හඳුන්වා දී ඇති බව ද ඔහු පැවසුවේ ය.

නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන ගැන ඔබ දැනුවත් ද?

යම් කිසි ප්‍රදේශයකට පැය 24ක කාලයක් තුළ දී ලැබෙන වර්ෂාපතනය අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම්, ගල් පෙරලීම් සහ ඉවුරු කඩා වැටීම් පිළිබඳ නිවේදන නිකුත් කරනු ලබන බව ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ ය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ක්‍රම දෙකක් යටතේ, එනම්, ප්‍රාදේශීය සහ ස්ථානීය ලෙස අනතුරු ඇඟවිමේ නිවේදන නිකුත් කරනු ලැබේ. නායයෑම් අනතුරු ඇඟවීම් සම්බන්ධව නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් මහජනතාව දැඩි විමසිල්ලෙන් සිටීම වැදගත් බව ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර සඳහන් කළේ ය.

“නායයෑම් අනතුරු ඇඟවීම් පිළිබඳ අප නිවේදන නිකුත් කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව යි. එහිදී මහජනතාව තමන්ගේ නිවස පිහිටි වටපිටාව අනුව ගල් පෙරලීම, ඉවුරු කඩා වැටීම්, නාය යෑමේ අවදානම් සහිත භුමියක නම් ඒ ගැන දැනුවත්ව සිටිය යුතු යි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිදුකරන්නේ තාක්ෂණික තොරතුරු මත පදනම්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීම පමණක් නිසා ජනතාව ඉවත්වීම සහ ඉවත් කරවීමේ කාර්යයන් පැවරී ඇත්තේ ප්‍රාදේශීය බලධාරීන් සහා දිසාපතිවරයාට යි,” ඔහු පවසා සිටියේ ය.

කාලගුණ අනතුරු ඇඟවීම්

කාලගුණ අනාවැකි පළකිරීම සහ ඊට අදාළ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ය. බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් එහි අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පැවසුවේ අංශ කිහිපයක් සම්බන්ධයෙන් අනාවැකි පළකිරීම සහ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීම දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන බව ය.

“තද වැසි, තද සුළං, අකුණු අනතුරු, සුළි කුණාටු, අඩු පීඩන/පීඩන අවපාත, උණුසුම් කාලගුණය සහ ඊට අමතරව සුනාමි අනතුරු ඇඟවීම් පිළිබඳ නිල නිවේදන නිකුත් කිරීම අප විසින් සිදුකරනවා,” ඔහු පවසා සිටියේ ය.

අනාවැකි පළ කිරීම කරන්නේ කොහොම ද?

කාලගුණික තත්ත්වයන් සම්බන්ධව අනාවැකි පළකිරීම සඳහා අවශ්‍ය දත්ත ලබාගැනීමේ ක්‍රම කිහිපයක් පවතින බව නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ ය.

“රටේ වායුගෝලීය තත්ත්වයන් නිරික්ෂණය කිරිම සඳහා නිරීක්ෂණ මධ්‍යස්ථාන 21ක් රට තුළ පිහිටුවා තියෙනවා. ඒවා මඟින් සුළගේ වේගය, වායුගෝලයේ උෂ්ණත්වය වගේම බැලුන් යවා ඉහළ වායු ගෝලයේ තත්ත්වය පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම කරනවා. එමෙන්ම ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවල් මඟින් කාලගුණ දත්ත විශ්ලේෂණයට අවශ්‍ය චන්ද්‍රිකා ජායාරූප ලබා ගන්නවා. එම දත්ත අනුව තමයි ඉදිරි අනාවැකි පළ කිරීම සිදුකරන්නේ.

“එහිදී ආන්තික තත්ත්වයක් පැමිණෙනවා නම් අපි අනතුරු ඇඟවීම් නිකුත් කරන්නේ අදාළ දත්ත පදනම් කරගෙන කරන විශේල්ෂණ පදනම් කරගෙන යි,” ඔහු පැවසුවේ ය.

අනතුරු ඇඟවීම් නිකුත් කරන්නේ කෙසේ ද?

වර්ෂාපතනය

වර්ෂාපතනය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කරන්නේ නියමිත කාල සීමාවක් තුළ දී ලැබෙන වර්ෂාපතනය සම්බන්ධව ලැබෙන දත්ත පදනම් කරගෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පැවසුවේ ය.

“පැය හයක් තුළදී මිලිමීටර් 50ට වඩා වැඩි හෝ පැය 24ක් තුළ දී මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් යම් ප්‍රදේශයකට ලැබෙන්න යනවා නම්, අපි ඒ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනවා. එය අප ඇම්බර් නිවේදනය (තැඹිලි පැහැති) ලෙස හඳුන්වනවා.

“පැය 24ක් තුළදී මිලිමීටර් 150කට වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා නම් අප එය තද වැසි තත්ත්වයක් ලෙස සලකා රතු නිවේදනයක් නිකුත් කරනවා,” ඔහු සඳහන් කළේ ය.

තද සුළං

ගොඩබිම, මුහුද සහ ගුවනේ සුළං තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පැවසුවේ ය.

“වර්ෂා තත්ත්වයන්ගෙන් පස්සේ වැඩි අනතුරු සංඛ්‍යාවක් සිදුවන්නේ තද සුළං හේතුවෙන්. මේ ගැන අපි අවධානයක් ලබා දෙනවා. තද සුළං පිළිබඳව ගොඩබිමට වගේම මුහුදට අනතුරු ඇඟවීම් කරනවා,” ඔහු පැවසුවේ ය.

ඇම්බර් නිවේදනය: ගොඩබිම තුළ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30 සිට 50 දක්වා විටින් විට වැඩිවන අවස්ථාවල දී ඇම්බර් පැහැති නිවේදනය නිකුත් කරනු ලැබේ. ඒ, ගස් කඩා වැටීම් සහ නිවාසවල වහලවලට හානි විය හැකි ප්‍රවණතාව අධික වන බැවිනි. එමෙන්ම සුළං තත්ත්වය සමග මුහුදේ රළ මට්ටම මීටර් දෙකකට වඩා ඉහළ යන අවස්ථාවල දී ධීවර හා නාවික ප්‍රජාව වෙත ඇම්බර් නිවේදනය නිකුත් කෙරෙනු ඇත.

රතු නිවේදනය: ගොඩබිම තුළ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට වැඩි වන අවස්ථාවල දී රතු පැහැති අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරනු ලැබේ. එමෙන්ම මෙම සුළං තත්ත්වය සමග මුහුදේ රළ මට්ටම මීටර් හතරකට වඩා ඉහළ යා හැකි බැවින් ධීවරයින්ට ද රතු නිවේදනයක් නිකුත් කරනු ලැබේ.

උණුසුම් කාලගුණය

අප්‍රේල් මාසයේ සිට ජුනි මාසය දක්වා කාල සීමාවේ දී ජනතාවගේ ශරීරයට දැනෙන උෂ්ණත්වය වැඩි වන නිසා අනතුරු ඇඟවීම් නිකුත් කිරීමක් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ ය.

“සාමාන්‍යයෙන් අප මේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා යොදා ගන්නේ උණුසුම් දර්ශකය (Heat Index) අනුව යි. ඒ ක්‍රමවේදය ලෝකයේ බොහෝ රටවල් භාවිතයට ගන්නවා. එම දර්ශකය ගණනය කරන්නේ උෂ්ණත්වය සහ වායුගෝලයේ පවතින ආර්ද්‍රතාවය සලකා බැලීමෙන්.

“එහිදී අප වර්ගීකරණ තුනක් යටතේ යි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනයන් නිකුත් කරනු ලබන්නේ,” ඔහු පැවසුවේ ය.

අවදානම් අවස්ථාව: ශරීරයට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 -45 අතර පවතින විට අවදානම් සහිත බව දැක්වෙන නිවේදනය නිකුත් කරනු ලැබේ.

අවදානම් තත්ත්වය: ශරීරයට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 – 52 අතර පවතින විට අවදානම් සහිත බව දැක්වෙන නිවේදනය නිකුත් කරනු ලැබේ.

අධි අවදානම් මට්ටම: ශරීරයට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 52 අතර පවතින විට අධි අවදානම් සහිත බව දැක්වෙන නිවේදනය නිකුත් කරනු ලැබේ.

අකුණු අනතුරු

සෑම වසරකම අකුණු අනතුරු හේතුවෙන් මෙරට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මියයන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනුවත් කිරීම් ආදිය කොපමණ සිදුකලත් ජනතාවගේ නොසැලකිල්ල හේතුවෙන් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි නොවන බව ද එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පෙන්වා දුන්නේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වලාකුළු පිහිටීම් අනුව එසැණින් අකුණු ඇතිවීමේ අවදානම් පවතියි නම්, ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු පැවසුවේ ය.

සුළි කුණාටු

බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවන සුළි කුණාටු හේතුවෙන් ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කිරීම් නිසා ඇතිවන තද සුළං සහ වැසි තත්ත්වයන් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ ය.

“අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ දී ලංකාවේ වෙරළ තීරයේ සිට සුළි කුණාටුවේ කේන්ද්‍රය කොතරම් දුරෙන් තිබෙනවා ද කියලා සොයා බැලීමක් කරනවා. සාමාන්‍යයෙන් අපි වෙරළේ සිට කිලෝමීටර් 600ක් දුරින් පිහිටි සුළි කුණාටු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබනවා,” නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසුවේ ය.

ඇම්බර් නිවේදනය: සුළි කුණාටුව වෙරළේ සිට කිලෝමීටර් 600ක් දුරින් පිහිටි අවස්ථාවලදී පැය 12කට වරක් ඊට අදාළ නිවේදනයන් නිකුත් කෙරෙයි.

රතු නිවේදන: සුළි කුණාටුව පද්ධතිය කිලෝමීටර් 500ට අඩුවූ විට රතු නිවේදන නිකුත් කෙරේ. එහිදී පැය හයකට වරක් නිවේදන නිකුත් කරනු ලැබේ. සුළි කුණාටු පද්ධතිය වෙරළේ සිට කිලෝමීටර් 300කට දුරින් පිහිටන අවස්ථාවලදී පැය තුනකට වරක් රතු නිවේදන නිකුත් කෙරේ. යම් හෙයකින් සුළි කුණාටුව රට හරහා ගමන් කරන අවස්ථාවක් වේ නම්, ඒ සම්බන්ධයෙන් සෑම පැයකටම වරක් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කටයුතු කෙරෙයි.

සුනාමි අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ලෙස 2005 වසරේ දී රජය විසින් නම් කරනු ලබන්නේ 2004 වසරේ දී ඉන්දූනිසීයාවේ ඇතිවූ සුනාමි තත්ත්වයෙන් පසුව බව නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් පැවසුවේ ය. ඉන්දීය මුහුදු කලාපය තුළ සිදුවන භූ කම්පන සම්බන්ධයෙන් වන තොරතුරු නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ද ඇතුළුව මධ්‍යස්ථාන 28කින් සැදුම්ලත් පද්ධතියක් පවතින බව ඔහු පැවසුවේ ය. එහිදී යම් භූමිකම්පාවක් සිදුවූ විගස ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන මධ්‍යස්ථාන මඟින් තොරතුරු ලබා දෙන බවත්, ඒ අනුව අදාළ අනතුරු ඇඟවීම් නිකුත් කරන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කිරීම

ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය සංවිධානය විසින් රට තුළ ස්ථාපනය කර ඇති වර්ෂාපතන මාපකයන්හි තොරතුරු මෙන්ම සහ ගංඟා ආශ්‍රිත ජල මිණුම් ද වැදගත් වන බව වාරිමාර්ග අධ්‍යක්ෂක ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

“අපට අයත්ව වර්ෂාපතන මැනීමේ ප්‍රධාන මිණුම් ස්ථාන 42ක් රට තුළ පවතිනවා. ඒවායෙන් ලැබෙන දත්ත සෑම පැයකට වරක් අපේ වෙබ් අඩවියේ සඳහන් වනවා. ඕනෑම කෙනෙකුට www.irrigation.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකියි. එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සතුව ඇති වර්ෂාපතන දත්ත පද්ධතියට පිවිසීමට හැකියාව ලබාදී තිබෙනවා. ඊට අමතරව ප්‍රධාන ගංඟා ආශ්‍රිතව ජල මිනුම් දර්ශක 42ක් පවතින අතර සෑම පැයකට වරක් එම මාපකයන් නිරීක්ෂණය කිරීම සිදුකරනු ලබනවා,” ඉංජිනේරුවරයා පැවසුවේ ය.

ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය සංවිධානය විසින් රට තුළ ස්ථාපනය කර ඇති වර්ෂාපතන මාපකයන්හි තොරතුරු මෙන්ම සහ ගංඟා ආශ්‍රිත ජල මිණුම් ද වැදගත් වන බව වාරිමාර්ග අධ්‍යක්ෂක ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

ගංවතුර සම්බන්ධයෙන් නිකුත් කරන අනතුරු ඇඟවීම් මොනවා ද?

රටේ පවතින ගංගා ආශ්‍රිතව ඇතිවන ජල මට්ටම් අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර පිළිබඳ නිවේදන නිකුත් කිරීම සිදුකරනු ලබන බව ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර පවසයි. රට තුළ ගංඟා 103ක් ඇති බවත්, එම ගංඟාවල හැසිරීම් එකිනෙකට වෙනස් වන බැවින් අදාළ ගංගාවල සිදුවන වෙනස්කම් පිළිබඳ මනා අවබෝධයක් නිලධාරින් සතුවීම වැදගත් බව ද ඔහු සඳහන් කළේ ය. එමෙන්ම ගංවතුර තත්ත්වයන් පිළිබඳ එක් එක් ගංඟා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ඇති කාලසීමාවන් ද වෙනස්වන බව ඉංජිනේරුවරයා පෙන්වා දුන්නේ ය. ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන විද්‍යුත් ලිපින හරහා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බව ද අධ්‍යක්ෂකවරයා පවසයි.

හදිසි ආපදා තත්ත්වයකදී නිවසින් ඉවත්ව යන ඔබ සතුව තිබිය යුතු දේ ගැන දැනුවත් ද?

සුනාමි අනතුරු ඇඟවීමක් හෝ වෙනත් ආපදා තත්ත්වයක දී ඔබට ආරක්‍ෂිත ස්ථානයක් කරා යන ලෙස බලධාරීන් විසින් කරනු ලබන දැනුම්දීමක දී ඔබ රැගෙන යා යුතු දේවල් මොනවා ද යන්න සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලිගෙන් බීබීසි සිංහල සේවය කරුණු විමසීය. එහිදී ඔහු සඳහන් කළේ, ඇතිවන ආපදා තත්ත්වය අනුව මහ ජනතාව තමන් විසින් රැගෙන යා හැකි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් ආපදා මල්ල සූදානම්කර ගැනීම වැදගත් වන බව යි.

“විශේෂයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබූ අවස්ථාවක දී බොහෝ බඩු භාණ්ඩ රැගෙන යා නොහැකියි. ඒ නිසා අවම, එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යන්න කියලා අප සැමවිටම දැනුවත් කරලා තිබෙන්නේ. එමෙන්ම ගංවතුර හෝ නායයෑම් වගේ අවස්ථාවන් ගැන අපිට කල් තියා අනතුරු ඇඟවීම් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා සෑම අවස්ථාවක දීම පෙර සූදානමක් ලෙස ආපදා මල්ලක් සූදානම් කර තබාගන්න කියලා අප අවධානම් ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාව දැනුවත්කර තිබෙනවා සහ ඊට අදාළ පෙරහුරු කරනවා,” ඔහු පැවසුවේ ය.

හදිසි ආපදා තත්ත්වයකදී නිවසින් ඉවත්ව යන ඔබ සතුව තිබිය යුතු දේ ගැන දැනුවත් ද?

ඉවත්ව යෑමේ දී අනුගමනය කළ යුතු කරුණු

ආපදා තත්ත්වය අනුව බලධාරීන් විසින් අදාළ ප්‍රදේශයේ නම් කර ඇති ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස සියලු ජනතාවට දැනුම්දෙනු ලැබේ. එම ස්ථාන පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පූර්ව පෙරහුරු ඔස්සේ ජනතාව දැනුවත්කර ඇත.

text by – bbc sandesaya