ගිනි නිවීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිදුවන දූෂණය සියලු මහාද්වීපවල වන සතුන්ට තර්ජනයක් වන බව නවතම පර්යේෂණ සොයා ගනී

ගෙම්බන්ගේ සිට තල්මසුන් දක්වා විශේෂ 100කට වැඩි ප්‍රමාණයක් බරපතල සෞඛ්‍ය බලපෑම් සහිත දිගු කල් පවතින රසායනික ද්‍රව්‍ය වලින් දූෂිත වී ඇත

ආහාර දාමයේ මුදුනේ සිටින සත්ත්ව විශේෂ විශේෂයෙන් අවදානමට ලක් වේ. සමහර පර්යේෂණ අනාවැකි පළ කරන්නේ රසායනික ද්‍රව්‍ය මගින් ලෝකයේ තල්මසුන්ගෙන් අඩක් අතුගා දැමිය හැකි බවයි.

සෑම මහාද්වීපයකම දක්නට ලැබෙන වනජීවී විශේෂ සියයකට වඩා අධික විෂ සහිත ගිනි නිවන ද්‍රව්‍ය වලින් / toxic flame retardants දූෂිත වී ඇති අතර සමහර විශේෂවල ජනගහන අඩුවීමට පරිසර දූෂණය හේතු විය හැකි බව නවතම විශ්ලේෂණයක් පෙන්වා දෙයි.

මුහුදු ඉකිරියන්ගේ සිට ආක්ටික් හිවලුන් දක්වා සෑම සතෙකු තුළම හානිකර රසායනික ද්‍රව්‍ය අනාවරණය වී ඇති අතර රතු පැන්ඩා, චිම්පන්සි සහ තල්මසුන් වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂවල භයානක මට්ටම් වලින් රසායනික ද්‍රව්‍ය අනාවරණය වී ඇත.

විශ්ලේෂණය වසර 20ක් පමණ ගිනි නිවීමේ පර්යේෂණ වාර්තා ගණනාවක් පරීක්ෂා කර ඇති අතර දූෂිත බව සොයා ගන්නා ලද සත්වයාගේ ජීවත් වන ස්ථානය සහ වර්ගය පෙන්වන අන්තර්ක්‍රියාකාරී සිතියමක් ඊට ඇතුළත් වේ.

පත්‍රිකාවේ ප්‍රධාන කතුවරිය වන ලිඩියා ජහ්ල් / Lydia Jahl පැවසුවේ පුළුල් දූෂණයක් සොයා ගැනීමට තමන් අපේක්ෂා කළ නමුත් “සෑම තැනකම සියලු ආකාරයේ ගිනි නිවන ද්‍රව්‍යවල හානිකර මට්ටම් සොයා ගන්නා අධ්‍යයන සංඛ්‍යාවෙන් තමා කම්පනයට පත් වූ” බවයි.

“මානව දියුණුව අපට සහ වන ජීවීන්ට ඇති කරන සෞඛ්‍යමය බලපෑම් සැලකිල්ලට නොගැනීම හද කම්පා කරවන්නක්. දූෂණය කරන මිනිසුන්ට වඩාත්ම බලපෑම එල්ල වන්නේ නැහැ. එයට මුහුණ දීමට සිදුවන්නේ ආසන්න ප්‍රජාවන්, කැස්බෑවන්, ඩොල්ෆින්, හිවලුන් සහ සමනලුන් වැනි බාහිර සත්ත්ව විශේෂවලටයි” ඇය පැවසුවාය.

රසායනික ද්‍රව්‍ය කිහිපයක් ගිනි නිවන ද්‍රව්‍ය ලෙස භාවිතා කරන අතර ගිනි අවදානම අවම කිරීම සඳහා ගෘහ භාණ්ඩවල සිට ඉලෙක්ට්‍රොනික උපකරණ දක්වා බොහෝ නිෂ්පාදනවලට ඒවා දහස් ගණණක් එකතු කරනු ලැබේ.

PCB සහ PBDE වැනි ක්‍රමයෙන් කල් ඉකුත්ව ගිය ගිනි නිවන ද්‍රව්‍ය මෙන්ම ක්ලෝරිනීකෘත පැරෆින් / chlorinated paraffins සහ ඕගනොපොස්පේට් / organophosphates වැනි ආරක්ෂිත යැයි කියනු ලබන නව ප්‍රතිස්ථාපන රසායනික ද්‍රව්‍ය ලොව පුරා ඇති බව එම පත්‍රිකාව විසින් සොයා ගන්නා ලදී. ඒවා සියල්ලම විෂ සහිත යැයි සැලකෙන අතර විවිධ සංයෝග අක්මාව, තයිරොයිඩ් සහ වකුගඩු පිළිකාවලට සම්බන්ධ වන අතර අනෙක් ඒවා දරුවන්ගේ IQ මට්ටමට, අවධානය සහ මතකයට හානි කරයි.

මිනිසුන් තුළ දක්නට ලැබෙන බොහෝ සෞඛ්‍ය ගැටලු සතුන්ට ද බලපාන බව ලීඩියා ජහල් පැවසුවාය.

“මෙය ගින්නෙන් අපව ආරක්ෂා කරන දෙයකින් සිදුවන අවාසනාවන්ත අතුරු ආබාධයක්” ඇය තවදුරටත් පැවසුවාය.

බොහෝ ගිනි නිවන ද්‍රව්‍ය පරිසරයේ ඉතා නොනැසී පවතින අතර දිරාපත් වීමට දශක ගණනාවක් ගත විය හැකිය. ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව නිසා, ඒවා සතුන් තුළ එකතු විය හැකි අතර, විශාල විලෝපිකයන් කුඩා ජීවීන් බහුලව අනුභව කරන බැවින් රසායනික ද්‍රව්‍ය ආහාර දාමයේ ඉහළට වැඩි ප්‍රමාණවලින් එකතු වේ.

හානිකර රසායනික ද්‍රව්‍ය වල ඉහළම මට්ටම් විශාල සාගර ක්ෂීරපායින් සහ විලෝපික පක්ෂීන්ගෙන් සොයාගෙන ඇති අතර, එම රසායනික ද්‍රව්‍ය තල්මසුන්ගේ ගහනය විනාශ කරන බවට සැක කෙරේ. මන්ද ඒවා තල්මසුන්ගේ පැටවුන්ට සහ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට විශාල හානියක් කරන බැවිනි. සමහර පර්යේෂණ අනාවැකි පළ කරන්නේ රසායනික ද්‍රව්‍ය මගින් ලෝකයේ තල්මසුන් ජනගහනයෙන් අඩක් විනාශ කළ හැකි බවයි.

මෙම රසායනික ද්‍රව්‍ය චීනයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන අසල ජීවත් වන කළු ලප ඇති ගෙම්බන් තුළ අතිශයින් ඉහළ මට්ටමකින් හමු වූ අතර එමගින් එම සතුන්ගේ අක්මාව හැකිලෙන අතර බිත්තරවලට හානි කරන බව පෙනේ.

ගිනි නිවන රසායනික ද්‍රව්‍ය ඉතා ජංගම වන අතර ජලය සහ වාතය හරහා දිගු දුර ගමන් කරයි. අප්‍රිකාවේ අභ්‍යන්තරයේ පිහිටි ආරක්ෂිත උගන්ඩා ජාතික වනෝද්‍යානයක, ජීවත් වන චිම්පන්සියන් තුළ ද හානිකර රසායනික ද්‍රව්‍ය ඉහළ සාන්ද්‍රණයකින් සොයා ගෙන තිබේ.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් පාරිසරික සෞඛ්‍ය උපදේශකයින්ට වඩාත් කලකිරෙන්නේ බොහෝ විට භාවිතා වන ගිනි නිවන රසායනික ද්‍රව්‍ය අකාර්යක්ෂම වීම හා ඒවා නියාමනය 1970 ගණන්වල ප්‍රමිතීන් මත පදනම්ව ඇති බැවිනි. එකල රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වය සහ විෂ සහිත බව පිළිබඳ දත්ත ඉතා අල්ප වූ අතර අතර එය ද බරපතළ ගැටලුවකි.

සමහර රටවල් ගිනි නිවන රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතීන් ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම ආරම්භ කර ඇති අතර අනවශ්‍ය ලෙස භාවිතය ද නතර කර ඇත. පරිසරයට එක් වූ පසු රසායනික ද්‍රව්‍ය පස, වාතය, ජලය සහ බොහෝ මිනිසුන්ගේ සහ සතුන්ගේ රුධිරයේ බහුලව පවතින නිසා ඒවා පිරිසිදු කිරීම ද අතිශයින් දුෂ්කර ය.

https://www.theguardian.com