සංවර්ධිත රටවල් ඩොලර් බිලියන 100ක් දෙන පොරොන්දුව ඉටු කර නෑ

මෙම ගැටලුව ඇති කිරීමට අපි අවම වශයෙන් කටයුතු කර ඇති නමුත් තවමත් වැඩිපුරම දුක් විඳින්නේ අපියි. එබැවින් අපි ඉක්මනින් හා වේගයෙන් – අපට කළ හැකි අනුවර්තන උපාය මාර්ග සියල්ල ක්‍රියාත්මක කළ යුතු අතර දේශගුණික විපර්යාසවල ක්ෂණික අනතුරට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගැනීමට වග බලා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි

දේශගුණික විපර්යාස මගින් මෙහෙයවනු ලබන වඩාත් ආන්තික කාලගුණික සිදුවීම්වලට අනුවර්තනය වීම සඳහා දුප්පත් රටවලට ප්‍රමාණවත් ප්‍රතිපාදන හිමි නොවන බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් හෙළිකර ඇත. එම වාර්තාව පෙන්වා දෙන්නේ අදාළ මූල්‍ය සහාය නොලැබේ නම් දේශගුණික විපර්යාසවලින් වඩාත්ම පීඩාවට පත්වන දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් දැවැන්ත තර්ජනයකට ලක්වන බවයි.

මිනිසා විසින් මෙහෙයවනු ලබන දේශගුණික විපර්යාස හමුවේ ලෝකය වඩාත් ආන්තික කාලගුණයට මුහුණ දී සිටී. එහිදී වඩාත්ම පීඩාවට හා තර්ජනයට ලක්වන්නේ ලෝකයේ දුප්පත්ම රටවල්ය. වඩාත් දැඩි නියඟ සහ ගංවතුර සහ කුණාටු වලින් ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. එහෙත් උණුසුම් වෙමින් පවතින ලෝකයකින් එල්ල වන තර්ජන වර්ධනය වන විට, සංවර්ධනය වෙමින් පවතින රටවලට අනුවර්තනය වීමට උපකාර කිරීම සඳහා සංවර්ධිත රටවලින් හිමිවන්නේ අඩු මුදලක් බව අදාළ වාර්තාව වැඩි දුරටත් පවසයි.

එක්සත් ජනපදය වැනි සංවර්ධිත රටවලට වඩා අඩු ධනයක් ඇති සංවර්ධනය වෙමින් පවතින රටවලට දේශගුණ දූෂණය කපා හැරීමට සහ උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම්වලට මුහුණ දීමට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ ධනවත් අසල්වැසියන් විසින් වසරකට ඩොලර් බිලියන 100ක් ලබා දෙන බව පොරොන්දු විය. එහෙත් සංවර්ධිත රටවල් ඔවුන්ගේ පොරොන්දුව ඉටු කළේ නැත. 2021 දී, ඔවුන් ඇත්ත වශයෙන්ම දුප්පත් ජාතීන්ට දේශගුණයට අනුවර්තනය වීමට පෙර වසරට වඩා 15% අඩු මුදලක් ලබා දුන්නේය. එයින් අදහස් කළේ ගංවතුර ආරක්ෂණ, නියඟයට ඔරොත්තු දෙන බෝග සහ හදිසි අවස්ථා ඉවත් කිරීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති වැනි දේ සඳහා අඩු මුදලක් වැය කිරීමට එම රටවලට සිදුවන බවයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් අනුවර්තන ව්‍යාපෘති සඳහා කොපමණ මුදලක් ගෙවිය යුතුද යන්න සහ ඔවුන් ධනවත් රටවලින් සහ ලෝක බැංකුව වැනි ආයතනවලින් සෘජුවම ලබා ගන්නා මහජන අරමුදල් ප්‍රමාණය අතර පරතරය එක්සත් ජාතීන් විසින් ඇස්තමේන්තු කර ඇත. වෙනත් ආකාරයකින් කිවහොත්, දුප්පත් රටවලට 2021 දී ලැබුණු ඩොලර් බිලියන 21.3ක මහජන අරමුදල්වලට වඩා දේශගුණික අනුවර්තනය සඳහා අවම වශයෙන් 10 ගුණයක මුදලක් අවශ්‍ය වේ. එම පරතරය තවදුරටත් පවතින විට සහ දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට උපකාරී වන ආයෝජන කල් දැමීමට දුප්පත් රටවලට බල කෙරෙනු ඇත. ඒ හා සමානව ඔවුන් විඳීමට නියමිත හානිය වැඩි වේ. එම යථාර්ථය පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ වාර්ෂික දේශගුණ සාකච්ඡා වලදී “අලාභ හා හානිය / loss and damage” අරමුදලක් නිර්මාණය කිරීමට හේතු වූ අතර, මෙම වසරේ අගභාගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ COP28 හි පැවැත්වෙන සාකච්ඡාවලදී එම අරමුදල ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කරනු ඇත.

“මිනිසුන්ට අනුවර්තනය වීමට අවශ්‍යයි. දේශගුණික විපර්යාස සිදුවෙමින් පවතින බව ඔවුන් දකිනවා. එසේම ඊට මුහුණු දීමට කළ යුතු දේ ගැනත් ඔවුන් දන්නවා. නමුත් එය කිරීමට ඔවුන් සතුව ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් නැහැ. මෙවැනි පසුබිමක් තුළ රටෙන් තුනෙන් එකක් පමණ ගංවතුරට ලක් වූ පකිස්ථානයේ අපි පසුගිය වසරේ දුටුවාක් මෙන් බිහිසුණු තත්ත්වයක් අපට තව දුරටත් දැක ගැනීමට හැකි වේවි. මෙවැනි තත්ත්වයක් උද්ගත වන්නේ මිනිසුන් දේශගුණික විපර්යාසවලට අනුවර්තනය නොවීම නිසා බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා අනුවර්තනයට ලැබෙන සෑම ඩොලරයක්ම අතිෂය වැදගත්” නෙදර්ලන්තයේ Eindhoven Technology විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු සහ වාර්තාවේ කතුවරයෙකු වන Pieter Pauw පවසයි.

පසුගිය ගිම්හානයේදී පකිස්ථානයේ ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 1,700ක් මිය ගිය අතර ඇස්තමේන්තුගත හානිය ඩොලර් බිලියන 14.9කි. දේශගුණික විපර්යාස නිසා අධික වර්ෂාව වඩාත් සුලභ වේ. මන්ද උණුසුම් වායුගෝලය වැඩි තෙතමනයක් රඳවා ගත හැකි බැවිනි.

1800 ගණන්වල අග භාගයේ පැවති සාමාන්‍ය උෂ්ණත්වයට සාපේක්ෂව ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීමට රටවල් බොහෝ විට ඉලක්ක කර නොගනු ඇතැයි ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසු එක්සත් ජාතීන්ගේ දේශගුණික අරමුදල් පිළිබඳ වාර්තාව නිකුත් කළේය.

ඉන් ඔබ්බට, විද්‍යාඥයින් පවසන්නේ සමූහ වඳ වී යාම සහ මුහුදු මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ යාම වැනි ව්‍යසනකාරී දේශගුණික බලපෑම්වලට ලෝකය ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩි බවයි. පසුගිය දශකය තුළ පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.1ක් පමණ වැඩි විය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම “මෙම සංවර්ධනය වෙමින් පවතින සමහර රටවලට දැනටමත් දැඩි ලෙස පහර දී ඇත” යනුවෙන් දේශගුණික විපර්යාස උපදේශකයෙකු සහ එක්සත් ජාතීන්ගේ වාර්තාවේ තවත් කතුවරයෙකු වන පෝල් වොට්කිස් පවසයි. “අනුවර්තන මූල්‍ය පහසුකම් ලබා නොදීමෙන් හෝ රටවල් වලට අනුවර්තනය වීමට ප්‍රමාණවත් සම්පත් යෙදවීමට නොහැකි වීමෙන් අදහස් වන්නේ එය [ඔවුන්ගේ] සංවර්ධනයට බලපාන බවයි.” වොට්කිස් වැඩි දුරටත් පවසයි.

අරමුදල් හිඩැස ඉක්මනින් පිරවිය හැකිද යන්න පැහැදිලි නැත. සංවර්ධිත රටවල් කලින් කියා සිටියේ 2025 වන විට ඔවුන්ගේ අනුවර්තන අරමුදල් වාර්ෂිකව ඩොලර් බිලියන 40 දක්වා දෙගුණයක් වන බවයි. එය තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවලට අවශ්‍ය ප්‍රමාණයෙන් සුළු කොටසක් පමණි.

දේශගුණික මූල්‍ය සඳහා නව ඉලක්ක තැබීමට රටවල්වලට තවත් වසරක් ඉතිරිව තිබියදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙවර එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවට සත්කාරකත්වය සපයනු ලබන අතර ඔවුන් මෙම ප්‍රශ්නය ප්‍රමුඛතාවයක් ලෙස සලකන බව පෙනෙන බව මානුෂීය කණ්ඩායමක් වන Mercy Corps හි දේශගුණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක Adrianna Hardway පවසයි.

“මම හිතන්නේ සමහර විට පෙර වසර හා සසඳන විට ප්‍රමාණවත් දේශගුණික මූල්‍ය පහසුකම් නොමැති වීම පමණක් නොව, ඒවා ඇත්ත වශයෙන්ම මිනිසුන්ට සහ එය වැඩිපුර යා යුතු ස්ථාන කරා ළඟා නොවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති බව අපි දකිනවා” හාර්ඩ්වේ පවසයි.

පර්යේෂකයන් පවසන්නේ දුප්පත් රටවලට දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීමටත්, අර්ධ වශයෙන් තමන්ගේ සැපයුම් දාම ආරක්ෂා කර ගැනීමටත් සමාගම් වැඩි උනන්දුවක් දක්වා ඇති බවයි. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි දේශගුණික අරමුදල් ලබා ගැනීමේ උත්සාහයන් ද ක්‍රියාත්මක වේ.

ලෝක සම්පත් ආයතනයේ අප්‍රිකාවේ සහ ගෝලීය හවුල්කාරිත්වයේ කළමනාකාර අධ්‍යක්ෂ වන්ජිරා මතායි පවසන්නේ “මෙම ගැටලුව ඇති කිරීමට අපි අවම වශයෙන් කටයුතු කර ඇති නමුත් තවමත් වැඩිපුරම දුක් විඳින්නේ අපියි. එබැවින් අපි ඉක්මනින් හා වේගයෙන් – අපට කළ හැකි අනුවර්තන උපාය මාර්ග සියල්ල ක්‍රියාත්මක කළ යුතු අතර දේශගුණික විපර්යාසවල ක්ෂණික අනතුරට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගැනීමට වග බලා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි”

https://www.npr.org/2023/11/02/1210065704/climate-change-finance-adaptation-gap-developing-countries