මී මැසි ජනපද වලට රිංගා බිත්තර දමන කෘමියෙක් හේතුවෙන් මී මැස්සන් තම ජනපද අතහැර යාමේ තත්ත්වයක් ඉකුත් දා  කෑගල්ල දැලිවල ප්‍රදේශයෙන් වාර්තා විය. සුහුඹුල් කෘමියන් මී මැසි ජනපද තුළ බිත්තර දමන අතර ඉන් උපදින කීටයා මී මැසි පරාග හා පිලවුන් ආහාරයට ගැනීම හේතුවෙන් මී මැස්සන් තම ජනපද අතහැර යන බවට කෑගල්ල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂක නිල්මා රාජපක්ෂ මහත්මිය කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවකදී හෙළි කළාය.

කුඩා ජනපද කුරුමිණියන් Small Hive Beetles නමින් හඳුන්වන මෙම කුරුමිණි විශේෂය ඇමරිකානු මහද්වීපයේ බහුල ලෙස වාර්තා වන අතර එහිදී මීමැසි ජනපද තුළට රිංගා සිදු කරනු ලබන හානිය සලකා ආර්ථිකමය වශයෙන් පාඩු සිදු කරන පළිබෝධ කාණ්ඩය යටතේ ද මොවුන් වර්ග  කර ඇත. කෙසේ නමුත්, දුර්වල  මට්ටමක සිටින මී මැසි ජනපද වලට දැඩි හානි පැමිණුවද  ශක්තිමත් මී මැසි ජනපද වලට සැලකිය යුතු හානියක් පමණක් සිදුකරන බව බිඳුනුවැව මී මැසි සංවර්ධන ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක පී. පී. ආර්. විමුක්ති මහතා අප සමඟ පැවසීය.

අප්‍රිකානු මහද්වීපය තුළ, නිවර්තන හා උප නිවර්තන කලාප වල මෙම සතුන්ගේ හඳුනාගැනීම සිදු වුවත් එම ප්‍රදේශවල දී මෙම කුරුමිණියන්  අඩු අවදානම් මට්ටමේ පළිබෝධකයන් ලෙස හඳුන්වා දී ඇත. එහිදී ඔවුන්ගේ ජීවන චක්‍රයේ එක් අවස්ථාවක් පසෙහි ගතකරන අතර ප්‍රදේශ තුළ පවත්නා  පසේ ස්වභාවය අනුව  බෝ වීමේ සීඝ්‍රතාවය වෙනස් වීම සිදු විය හැක. 

පරිසර උෂ්ණත්වය 27°C – 32°C පරාසයේදී සුහුඹුල් කුරුමිණියන්ට මාස තුනක පමණ කාලයක්  ජීවත් වීමට හැකියාව ඇත. සුහුඹුල් කුරුමිණියන් කළු පැහැති හෝ රතු දුඹුරු පැහැති වර්ණයෙන්ද කීටයන් ක්‍රීම් පැහැයෙන් ද යුක්ත වන අතර වැඩුණු මී මැස්සකුගේ ශරීර ප්‍රමාණයෙන් 1/3 පමණ වේ. මී මැසි පෙට්ටි තුළට රිංගා ගන්නා මෙම කුරුමිණියන් මී මැස්සන් ගෙන් ආරක්ෂා වී සිටීම සඳහා පෙට්ටියේ පලු‍දු වූ ස්ථාන තෝරා රැඳී සිටීමට උත්සාහ ගනී.ගැහැනු කුරුමිණියන්  මී වදවල ආහාර ගබඩා කරන ස්ථානවල හෝ පළුදු වූ ස්ථානවල වරකට බිත්තර රාශියක් දමයි. එක් කුරුමිණියෙකුට  තම ජීවිත කාලය තුළ දී බිත්තර 1000  පමණ දැමීමට හැකියාව ඇති අතර  බිත්තර දැමීමෙන් දින 3-5 අතර කාලයකදී බිත්තර පුපුරා කීටයන් බිහි වීම සිදුවේ. එසේ බිහිවන කීටයන් ජනපදය තුළ  ඇති පරාග හා පිලවුන් ආහාර ලෙස ගනිමින් දින 10-14 අතර කාලයක් මී මැසි පෙට්ටියේ ගතකරයි. ඉන්පසුව පිලා අවධිය ගත කිරීමට මීමැසි පෙට්ටියෙන් පිටතට පැමිණෙන අතර ජනපදය පවතින ස්ථානයට ආසන්නව පසෙහි පිලා අවධිය ගත කරයි. සුහුඹුල් අවධියට පත් වූ පසු නැවතත් මීමැසි ජනපද තුළට රිංගා ගැනීමට කටයුතු කරයි. මේ ආකාරයෙන් ඔවුන්ට සැතපුම් ගණනාවක් වුවද පියඹා යාමට හැකියාව ඇති බවද සොයාගෙන ඇත. මේ ආකාරයට සුහුඹුල් කුරුමිණියන් සහ කීටයන් ජනපදය තුළ වූ පරාග සහ පිලවුන් ආහාරයට ගැනීම සිදු කරයි. මී මැසි ජනපදය දුර්වල වන විට රජින බිත්තර දැමීම නවතා දමන අතර මී මැස්සන් සම්පූර්ණයෙන්ම ජනපදය අතහැර යාමට කටයුතු කරයි.

මී මැස්සන් ද කෘමියන් වන හෙයින් කුඩා ඡනපද කුරුමිණියන් පාලනය කිරීමට රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම උචිත නොවේ..  එසේ භාවිතා කලහොත් එම රසායනික ද්‍රව්‍ය මී මැස්සන්ටද අහිතකර වීම බොහෝ විට සිදුවේ. එබැවින් එවැනි අවස්ථාවකදී අහිතකර ජීවීන්ගේ ඇතුල්වීම,  වර්ධනය හා ව්‍යාප්තිය අවම කිරීමට හෝ නවතා දැමීමට හැකි ආකාරයේ ක්‍රියාවන් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.

අපගේ මී මැසි ජනපදවල මෙම කුරුමිණියන් සිටිනවාද යන්න හඳුනා ගැනීමට මී මැසි ජනපද පරීක්ෂාව ඉතාම විමසිල්ලෙන් සිදු කිරීම වැදගත් වේ.  මෙහිදී මී මැසි පෙට්ටියේ මුදුන් කවරය විවෘත කර පරීක්ෂා කරන අවස්ථාවේදී මෙම කුරුමිණියන් පෙට්ටිය පතුලේ ඇති ලෑල්ලේ, මී වද අතර සැඟවීමට උත්සාහ කරයි.   මොවුන්  අඳුර ප්‍රියකරන කුරුමිණියන් වන අතර ආලෝකය වැටීමේදී එයින් සැඟවීමට උත්සාහ කරයි. අධික ලෙස මෙම කුරුමිනියන් සිටින අවස්ථාවේදී විශාල කීටයන් සංඛ්‍යාවක් වද  කුහර තුළ සහ පතුල් ලෑල්ලේ දක්නට ලැබේ. මීට අමතරව කුරුමිණියන්ගේ අපද්‍රව්‍යද දක්නට ලැබේ. පරීක්ෂා කර හඳුනා ගැනීමට අමතරව සිටින කුරුමිණියන් සංඛ්‍යාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට උගුල් වර්ග භාවිතා කළ හැකිය.

මී මැස්සන් ද කෘමියන් වන හෙයින් කුඩා ඡනපද කුරුමිණියන් පාලනය කිරීමට රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම උචිත නොවේ..  එසේ භාවිතා කලහොත් එම රසායනික ද්‍රව්‍ය මී මැස්සන්ටද අහිතකර වීම බොහෝ විට සිදුවේ. එබැවින් එවැනි අවස්ථාවකදී අහිතකර ජීවීන්ගේ ඇතුල්වීම,  වර්ධනය හා ව්‍යාප්තිය අවම කිරීමට හෝ නවතා දැමීමට හැකි ආකාරයේ ක්‍රියාවන් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.

මෙම කුරුමිණියන් අතුරු ප්‍රිය කරන බැවින් යම් ආකාරයකට එවැනි කුරුමිණියන් දක්නට ලැබේ නම්, එම ජනපද සහිත මී මැසි පෙට්ටි හිරු එළිය වැටෙන ස්ථානයක ස්ථාපනය කිරීම උචිත වේ. ශක්තිමත් මී මැසි ජනපද නඩත්තු කිරීම මගින් එම ජනපදය වෙත පැමිණෙන වෙනත් සතුරු කෘමීන් පලවා හැරීම එම ජනපදවල  මී මැස්සන් විසින් සිදු කරයි.

මී මැසි ජනපද කිහිපයක් පවත්වා ගන්නා බිඟු‍ උයන් තුළ අනවශ්‍ය කුණු රොඩු හා ආවරණය වූ දේ පවතී නම් ඉවත් කර පිරිසිදුව පවත්වා ගැනීම වැදගත් වේ. මෙම කුරුමිණි ව්‍යාප්තිය වේගයෙන් සිදුවන හේතුවෙන් එක් ජනපදයක මොවුන් හඳුනාගත් පසුව එම ජනපදයෙන් අනෙකුත් ජනපද වෙන්කර තැබිය යුතුය. එසේම ජනපදය තුළ පැණි රැස්කර ඇත්නම් ඒවා ඉවත් කර ගැනීමද සිදුකල යුතුය. නැතහොත් මෙම කුරුමිණියන් එම පැණි ආහාර ලෙස භාවිතා කිරිම සිදු කරයි.

තවද මෙම කුරුමිණියන් ජනපදය තුල සිටින දක්නට ලැබේනම් අතින් ඉවත් කිරීම හෝ විනාශ  කිරීම මගින් ජනපදය තුළ හා බිඟු‍ උයන තුළ මොවුන්ගේ ව්‍යාප්තිය පාලනය කරගත හැක. මොවුන්ගේ හානිය අධික රටවල විවිධ ඡෛවතාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම මඟින් එම කුරුමිනියන්ගේ  කීටයන් සහ පිලවුන් විනාශ කිරීම සිදුකරයි. මොවුන්ගේ පිළා අවධිය පසෙහි ගතකරන බැවින් මේ සඳහා පසෙහි ජීවත්වන පරපෝෂී පණුවන් යොදා ගනියි. මෙම පණුවන් පිලවුන් මත වර්ධනය වී විනාශ කිරීම සිදු කරයි.

මෙම කෘමි ගහනය අධික නම් පමණක් රසායනික මර්දන ක්‍රම නිර්දේශ කරනු ලබයි. එහිදී පොළොව තුළ සිටින කීටයින් සහ පිලවුන් විනාශ කිරීමට, කෘමිනාශක ජලය සමඟ මිශ්‍ර කොට පස මතුපිටට ඉසීම සිදු කළ හැකි අතර මෙය මීමැස්සන්ගේ ක්‍රියාකාරිත්වය අඩු රාත්‍රී කාලයේ සිදු කිරීම මඟින් මී මැස්සන්ට සිදු වන බලපෑම අවම කර ගත හැක.

ඉහත සාමාන්‍ය පාලනය ක්‍රම සහ සතියකට වරක් මීමැසි ජනපද විමසිල්ලෙන් පරික්ෂා කිරීම සිදුකිරීමෙන් මෙවැනි හානි අවම කරගත හැකිවේ. මීමැසි ජනපද පරීක්ෂා කිරීමේ දී පතුල් ලෑල්ල වෙත වැඩි අවධානයක් යොමු කිරීම සිදුකළ යුතුය. තවද ශක්තිමත් මීමැසි ජනපද පවත්වා ගැනීම  සහ මී මැසි ජනපදය අවට වටපිටාව පිරිසුදුව පවත්වා ගැනීම මගින් මෙවැනි හානි අවම කරගත හැකිවේ.

සටහන –                                                                                                                                                                                                ගඟු‍ලි රාජකරුණා,                                                                                                                                                                   කෘෂිකර්ම පීඨය,                                                                                                                                                                              පේරාදෙණිය විශ්වවිද්‍යාලය