දිනෙන් දින වැඩිවන ගෝලීය ජනගහනයත් සමඟ දේශගුණික විපර්යාසවල බලපෑම් තවදුරටත් ඉස්මතු වෙමින් පවතී.  2050 වර්ශය වෙත ළඟා වන විට, ගෝලීය ජනගහනය තුනෙන් එකකින් වැඩි වීමට නියමිත අතර, මෙම වර්ධනයෙන් වැඩි ප්‍රමාණයක් සංවර්ධනය වෙමින් පවතින රටවල සිදු වන බවට මත පළවේ. එමෙන්ම ආහාර සඳහා ඇති ඉල්ලුම තව තවත් උග්‍ර වීම නවතාලිය නොහැක.  මේ කාරණා සලකා බැලීමේදී දේශගුණික විපර්යාසයන්ට අනුගත වෙමින් වර්ධනය වන ගෝලීය ජනගහනය පෝෂණය කිරීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා කැපී  පෙනේ.

ආහාර සුරක්ෂිතතාව ප්‍රධාන වශයෙන් රදාපවතින්නේ කෘෂිකර්මාන්තය  මතයි. දේශගුණික විපර්යාස දැනටමත් කෘෂිකර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් ඇති කරන අතර එහි බලපෑම් ඉදිරියේදී  තවදුරටත් තීව්‍ර  වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාමාන්‍ය  උෂ්ණත්වය වැඩිවීම, වර්ෂාපතන රටා වෙනස් වීම, උෂ්ණත්වයේ සහ වර්ෂාපතනයේ ඉහළ විචල්‍යතාවයන්, ජලය ලබා ගැනීමේ වෙනස්වීම්, නිතර නිතර ඇති වන  දැඩි කාලගුණික විපර්‍යාසයන්, මුහුදු මට්ටම ඉහළ යාම සහ ලවණීකරණය, බෝග  වගාවට සහ ධීවර කර්මාන්තයට දැඩි ලෙස බලපාන සාධක වේ. දේශගුණික විපර්යාස වෙළඳාම සහ ආහාර මිල ගණන් වලටද  බලපෑම් එල්ල කළ හැකිය. දේශගුණික විපර්යාස ධාන්‍ය , එළවළු, පළතුරු ඇතුළු සියලු බෝග වලට මෙන්ම සත්ව අහාර  නිෂ්පාදනයට බොහෝසෙයින්  බලපානු ඇත,

ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණය  සාර්ථකව ජයග්‍රහණය කිරීමට Climate Smart Agriculture සංකල්පය ඉතාමත් වැදගත්.  Climate Smart Agriculture යනු කෘෂිකර්මාන්තයේ දේශගුණික විපර්යාසයන් ආමන්ත්‍රණය කිරීම සඳහා නිසි සැලසුමක් සහිතව අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන සංකල්පයකි. කෘෂිකාර්මික ඵලදායිතාව සහ ආදායම ඉහළ නැංවීම, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම සහ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ.  Climate Smart Agriculture යනු කුළුණු තුනක් (Three pillars of the CSA) මත ගොඩනගා ඇති දේශගුණික විපර්‍යාස  සහ ආහාර සුරක්ෂිතතාව සඳහා වූ ක්‍රියාමාර්ගයකි.

එවානම් ,

  • ඵලදායිතාව සහ ආදායම් වැඩි කිරීම, (Increase Productivity)
  • ජීවනෝපායන් සහ පරිසර පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම (Enhance Resilience)
  • වායුගෝලයෙන් හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම. (Reduce Emission)

Climate Smart Agriculture හි අනුගමනය කරන  උපාය මාර්ග

Climate Smart Agriculture හි ඉලක්ක කරා පිලිපැදිය යුතු ක්‍රියාමාර්ග  රැසකි. ඉන් කිහිපයක් පහතින් සදහන් කර ඇත.

  • සංරක්ෂණ කෘෂිකර්මය
  • කෘෂි වන වගාව
  • ජල කළමනාකරණය
  • ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය
  • පෝෂණ කළමනාකරණය
  • පශු සම්පත් කළමනාකරණය

Climate Smart Agriculture  සංකල්පයට අදාලව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ලොව පුරා රටවලට සහාය වීමට FOA ( Food and Agriculture Organization) කටයුතු කරයි. FAO-Adapt, MICCA වැඩසටහන, UN-REDD වැඩසටහන ඉන් සමහරකි.

සාරාංශයක් ලෙස, Climate Smart Agriculture  (CSA) යනු තිරසාර සංවර්ධනයේ පුළුල් පැතිකඩයන් සලකා බලමින් දේශගුණික විපර්යාස නිසා ඇති වන  කෘෂිකර්මාන්තයේ සංකීර්ණ අභියෝගවලට විසඳුම් සෙවීමට උත්සාහ කරන ඉතාමත් වැදගත්  ප්‍රවේශයකි. වර්තමාන සහ අනාගත පරම්පරාව සඳහා ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට  පරිසරය, සමාජය සහ ආර්ථිකය සැලකිල්ලට ගනිමින් සිදුකරන  ඒකාබද්ධ උපාය මාර්ගවල අවශ්‍යතාවය එහිදී  අවධාරණය කරයි.

තොරතුරු – Climate-Smart Agriculture | Food and Agriculture Organization of the United Nations (fao.org)  වෙබ් පිටුව ඇසුරිනි.

සටහන –  පියුමාලි රත්නායක, කෘෂිකර්ම පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය