දේශගුණය උණුසුම් කරන වායූන් වාර්තාගත ඉහළ මට්ටම් කරා ළඟා වන බව UN වාර්තා කරයි

මෑත කාලීන එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළි වූයේ ලෝකයේ ෆොසිල ඉන්ධන නිෂ්පාදකයින් ගෝලීය කාබන් අයවැය දෙගුණයකින් ප්‍රසාරණය කිරීමට සැලසුම් කරමින් සිටින බවයි . විශේෂඥයන් මෙම සැලසුම් හැඳින්වූයේ “මිනිස් වර්ගයාගේ අනාගතය ප්‍රශ්න කරන උමතුව” ලෙසිනි.

2022 දී හරිතාගාර වායු විමෝචනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ සංවිධානය (WMO) විසින් නිකුත් කළ නවතම වාර්තාවක් පවසයි. ෆොසිල ඉන්ධන දහනය මගින් විශාල වශයෙන් මෙහෙයවනු ලබන “නැගී එන ප්‍රවණතාවයේ අවසානයක් නොපෙනේ” යැයි එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

ප්‍රධාන හරිතාගාර වායුව වන කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය කාර්මික විප්ලවය ආරම්භ වීමට පෙරට වඩා දැන් 50% කින් වැඩි වී ඇති බව ද පසුගිය 15 වැනිදා නිකුත් කළ එම වාර්තාව පෙන්වා දෙයි.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-3 කින් වැඩි වූ සහ මුහුදු මට්ටම අදට වඩා මීටර් 10-20කින් ඉහළ ගිය වසර මිලියන 3-5කට ඉහත යුගයේදී පවා වර්තමාන CO2 මට්ටමට සමාන මට්ටමක් පෘථිවිය අත්විඳ නැති බව WMO වැඩි දුරටත් පවසයි.

මෙම වාර්තාවට අනුව අනෙකුත් ප්‍රධාන හරිතාගාර වායු දෙක වන මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් සාන්ද්‍රණය ද වර්ධනය වී ඇත. හරිතාගාර වායු විමෝචනය ශුද්ධ ශුන්‍ය දක්වා අඩු වන තුරු හරිතාගාර වායු මට්ටම් අඛණ්ඩව වැඩි වනු ඇති බවත් ඒ හා සමග ගෝලීය උණුසුම සහ ආන්තික කාලගුණයේ බලපෑම් ද අඛණ්ඩව වැඩි වනු ඇති බවත් වාර්තාව පෙන්වා දෙයි.

පුනර්ජනනීය බලශක්ති සහ විදුලි මෝටර් රථවල ප්‍රගතිය තිබියදීත්, විමෝචනය කපා හැරීමට අවශ්‍ය සෑම ප්‍රතිපත්තියක්ම පාහේ ලබා දීමට රටවල් අසමත්ව ඇති බවට වාර්තාව චෝදනා කරයි. නිදසුනක් වශයෙන් ගෝලීය උණුසුමෙහි නරකම බලපෑම් වළක්වා ගැනීම සඳහා සිදුවෙමින් පවතිනවාට වඩා හත් ගුණයක වේගයෙන් ගල් අඟුරු ඉවත් කළ යුතු බව එහි සඳහන් විය.

“විද්‍යාත්මක ප්‍රජාවෙන් දශක ගණනාවක අනතුරු ඇඟවීම්, පිටු දහස් ගණනක වාර්තා සහ දේශගුණ සම්මන්ත්‍රණ දුසිම් ගනනක් තිබියදීත්, අපි තවමත් වැරදි දිශාවකට ගමන් කරමින් සිටිනවා” යනුවෙන් WMO හි මහලේකම් මහාචාර්ය පෙටේරි ටාලස් පැවසීය.

“වර්තමාන හරිතාගාර වායු සාන්ද්‍රණයේ මට්ටම 2100 වන විට පැරිස් ගිවිසුමේ ඉලක්කවලට වඩා උෂ්ණත්වය ඉහළ යාමේ මාවතට අපව යොමු කරනවා. මෙය වඩාත් ආන්තික කාලගුණික තත්ත්වයන් සමඟ [සහ] සමාජ ආර්ථික හා පාරිසරික පිරිවැය ඉහළ දමන බව පැහැදිලි කරුණක්. අපි කාලීන අවශ්‍යතාවයක් ලෙස ෆොසිල ඉන්ධන පරිභෝජනය අඩු කළ යුතුයි.” මහාචාර්ය පෙටේරි ටාලස් අවධාරණය කළේය.

පසුගිය වසර තුළ විද්‍යාඥයින් විසින් ” Gobsmackingly bananas” ලෙස විස්තර කරන ලද උෂ්ණත්වය වාර්තා වී ඇති අතර, තීව්‍ර වන ආන්තික කාලගුණික සිදුවීම් ලොව පුරා ජීවිත සහ ජීවනෝපායන් විනාශ කරමින් සිටී.

1990 සහ 2022 අතර වායුගෝලයේ හරිතාගාර වායු උණුසුම් කිරීමේ බලපෑම 50%කින් ඉහළ ගොස් ඇති බව WMO වාර්තාව සොයා ගත් අතර, CO2 මෙම වැඩිවීමෙන් 80%ක් පමණ වේ.

මීතේන් යනු ප්‍රබල හරිතාගාර වායුවක් වන අතර ඊට දායකත්වය ලබා දෙන මානව ප්‍රභවයන් වන්නේ පොසිල ඉන්ධන කර්මාන්තය, ගවයින් සහ අපද්‍රව්‍ය බැහැර කිරීමයි. මීතේන් මට්ටම් 2022 දී නැවතත් ඉහළ ගියේය. මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින් කනස්සල්ලට පත්ව සිටී.

2022 දී නයිට්‍රස් ඔක්සයිඩ් මට්ටම ඉහළ යාම මෙතෙක් වාර්තා වූ ඉහළම අගයයි. මෙම හරිතාගාර වායුව නිපදවනු ලබන්නේ පොහොර අධික ලෙස භාවිතා කිරීම, බෝග අපද්‍රව්‍ය පිළිස්සීම සහ කර්මාන්ත මගිනි.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පසුගිය සැප්තැම්බර් මාසයේදී කියා සිටියේ මෙම දශකය තුළ තෙල්, ගෑස් සහ ගල් අඟුරු සඳහා ලෝකයේ ඉල්ලුම පහත වැටීමට පටන් ගන්නා බවයි. නමුත් IEA පැවසුවේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව එකඟ වූ සීමාව වන 1.5C දක්වා සීමා කිරීමට මෙය තවමත් ප්‍රමාණවත් නොවන බවයි.

මෑත කාලීන එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළි වූයේ ලෝකයේ ෆොසිල ඉන්ධන නිෂ්පාදකයින් ගෝලීය කාබන් අයවැය දෙගුණයකින් ප්‍රසාරණය කිරීමට සැලසුම් කරමින් සිටින බවයි . විශේෂඥයන් මෙම සැලසුම් හැඳින්වූයේ “මිනිස් වර්ගයාගේ අනාගතය ප්‍රශ්න කරන උමතුව” ලෙසිනි.

https://www.theguardian.com/environment/2023/nov/15/climate-heating-gases-reach-record-highs-un-reports