වාර්තාගත උණුසුම, ගංවතුර, නියඟය සහ කුණාටුවල බලපෑම් උත්සන්න වන විට රෝග වේගයෙන් හා තව දුරටත් පැතිරෙන අතර බොහෝ මිනිසුන් මිය යනු ඇත.

දේශගුණික අර්බුදය හේතුවෙන් ලෝකය පුරා බිලියන ගණනකගේ ජීවිත තර්ජනයට ලක්ව ඇති බව දේශගුණ විශේෂඥයින් පසුගිය දා නිකුත් කරන ලද Lancet Countdown වාර්තාවෙන් අනතුරු ඇඟවීය. දේශගුණික විපර්යාසවල ප්‍රතිවිපාකවලින් කිසිවෙකු ගැලවෙන්නේ නැති නමුත් දුප්පත් රටවල ජීවත් වන මිනිසුන් විශේෂයෙන් අවදානමට ලක් වන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර දේශගුණික අර්බුදය ගෝලීය සෞඛ්‍යයට බලපාන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණ වාර්තාවක් ද පසුගිය දා නිකුත් විය. එම වාර්තාවට අනුව දේශගුණික අර්බුදය ගෝලීය සෞඛ්‍යයට බලපාන ආකාර 10ක් හඳුනා ගත හැකිය. අපි මෙතැන් සිට ඒ ගැන විමසා බලමු.

ඡායාරූප විස්තරය – 2019 මාර්තු මස මොසැම්බික් හි ගංවතුරෙන් අවතැන් වූ පවුල් බෝට්ටුවකින් බේරා ගැනේ. මේ වසරේ ෆ්‍රෙඩී සුළි කුණාටුව අප්‍රිකානු රටවල් පහක මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළේය. ඡායාරූපය: Tsvangirayi Mukwazhi / AP

  1. ගංවතුර සහ රෝග

මිනිසුන්ට, සතුන්ට සහ ශාකවලට ජීවිතය දරාගත නොහැකි වන තරමට රෝග ඇති කරන ජීවීන්ට දේශගුණික විපර්යාස සුව පහසු භූමියක් වනු ඇත. අප දන්නා සියලුම රෝගවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් දේශගුණික අර්බුදය හේතුවෙන් නරක අතට හැරී ඇති බව විද්‍යාඥයෝ පවසති.

උණුසුම් වන ලෝකයක කොලරාව, අතීසාරය, හෙපටයිටිස් A, ටයිපොයිඩ් සහ පෝලියෝ වැනි ජලයෙන් බෝවන රෝග පැතිරීමට බොහෝ දුරට ඉඩ ඇත. මිනිසුන් රෝග කාරක ආසාදිත මළ අංශු අඩංගු යමක් අනුභව කරන විට හෝ පානය කරන විට ඒවා පැතිරෙයි. එබැවින් ආන්තික කාලගුණික තත්ත්වයන් යටිතල පහසුකම් වලට හානි කළ පසු එමගින් දුර්වල වන සනීපාරක්ෂා පහසුවෙන් රෝග කාරකයින්ට වාසිදායක භූමියක් නිර්මාණය කරනු ඇති අතර එය බොහෝ රෝග පැතිරී යාමට ඉන්ධන සපයනු ඇත.

පසුගිය සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ 2022 දී කොලරා රෝගීන් 2021 ට වඩා දෙගුණයක් වාර්තා වී ඇති බවයි. යේමනය සහ ලෙබනනය ඇතුළු වසර ගණනාවක් තිස්සේ කොලරාව පාලනය කර තිබූ රටවල නව පැතිරීම් වාර්තා විය.

මේ වසරේ පෙබරවාරි සහ මාර්තු අතර, අප්‍රිකානු රටවල් පහක මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වූ ප්‍රබලතම සහ දීර්ඝතම නිවර්තන කුණාටු වලින් එකක් වන ෆ්‍රෙඩී සුළි කුණාටුව සති අටක් පැවති අතර මොසැම්බික්, මැඩගස්කරය, සිම්බාබ්වේ සහ මොරිෂස් හරහා ගමන් කළේය. එහි නරකම බලපෑම් මලාවි හි දක්නට ලැබුණි. මලාවි රාජ්‍යයට දැන් කොලරාව සමග සටන් කිරීමට සිදුව තිබේ. අගෝස්තු මාසයේදී එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පුපුරා යාම පාලනය කර ඇති බව පවසන විට මලාවි හි කොලරා රෝගීන් 59,000කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 1,768ක් වාර්තා විය.

ඡායාරූප විස්තරය – උතුරු පේරු හි රෝහල් වාට්ටුවක්, රෝගීන්ගේ ඇඳන් මදුරු දැල් වලින් ආවරණය කර ඇත. 2023 දී රට මාරාන්තික ඩෙංගු උණක් පැතිර ගියේය. ඡායාරූපය: අර්නස්ටෝ බෙනාවිඩ්ස්/ඒඑෆ්පී

  1. මදුරුවන් ජයග්‍රාහකයින් වීම

උෂ්ණත්වය ඉහළ යාම සහ නිරන්තර ගංවතුර ද රෝග වාහක කෘමීන් වර්ධනය වන නව ස්ථාන විවෘත කරයි. උදාහරණයක් ලෙස ඩෙංගු උණ සහ මැලේරියාව ඇති කරන වෛරස් රැගෙන යන මදුරුවන්ට බිත්තර දැමීමේදී තෝරා ගැනීමට වඩාත් හිතකර පල්වෙන ජල තටාක මෙමගින් නිර්මාණය වේ. ගංවතුර නිසා නව ජල බිම් නිර්මාණය විය හැකි අතර නියඟය නිසා ගලා යන දිය පහරවල් එකතැන පල්වෙන පොකුණු බවට පත් විය හැකිය. මිනිසුන් නියඟ කාලවලදී ජලය ගබඩා කිරීමට වැඩි ඉඩක් ඇති අතර, ඒවා බොහෝ විට කදිම අභිජනන භූමියක් නිර්මාණය කරයි. උණුසුම් උෂ්ණත්වය නිසා මදුරුවන් මිනිසුන්ට දෂ්ට කිරීමේ වේගය වැඩි වීම ද සිදුවේ.

වසර 10කට පසු දරුණුතම ඩෙංගු උණ පැතිරීම 2022 දී සුඩානය අත්විඳින අතර අධික වර්ෂාපතනය මේ සඳහා පසුබිම නිර්මාණය කළේය. බංග්ලාදේශයේ ඩෙංගු උණ සුලභ වුවද, ඔවුන් එහි විශාලතම පුපුරා යාම මේ වන විට වාර්තා කර ඇති අතර, මේ වසරේ ජනවාරි සහ අගෝස්තු අතර රෝගීන් 70,000කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 327ක් වාර්තා විය. “ඩෙංගු රෝගයේ වැඩි ප්‍රවණතාවක් සිදුවන්නේ අසාමාන්‍ය වර්ෂාපතනයක්, ඉහළ උෂ්ණත්වයන් සහ අධික ආර්ද්‍රතාවය සමඟින්”  යැයි ලෝක සෞඛ්‍ය සංවිධාන – WHO සඳහන් කළේය. මේ අතර ජැමෙයිකාවේ ද ඩෙංගු ව්‍යාප්තියක් ප්‍රකාශයට පත් කර ඇත.

එසේම මෙම රෝගය සංවර්ධනය වෙමින් පවතින රටවලට පමණක් සීමා වූවක් නොවේ. උණුසුම් කාලගුණය හේතුවෙන් එය දකුණු යුරෝපයේ පැතිර යන බවට බියක් ද පවතී. 2080 වන විට බිලියන 8කට වැඩි ජනතාවක් මැලේරියා සහ ඩෙංගු උණ අවදානමට ලක් විය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත.

ඡායාරූප විස්තරය – බොන්හි ෆ්‍රාන්ස්විල් ජාත්‍යන්තර වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛරස් පරීක්ෂා කිරීම සඳහා ගෙන එන ලද වවුලෙකු දැලක සිරවී ඇති ඇයුරු. ඡායාරූපය: Steve Jordan/AFP/Getty Images

  1. මිනිස්-සත්ව සම්බන්ධතා

පවතින බොහෝ රෝග වඩාත් භයානක වනු ඇත, නමුත් මිනිසුන් වැඩි වැඩියෙන් වන සතුන් සිටින ප්‍රදේශවලට සංක්‍රමණය වීම නිසා සතුන් ආශ්‍රිත නව රෝග ද මතු විය හැකිය. ඉබෝලා, කුරුළු උණ සහ සාර්ස් වැනි මෙම රෝග “Zoonoses” ලෙස හඳුන්වනු ලැබේ. විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ දේශගුණික අර්බුදය මීට පෙර එකිනෙකාට හමු නොවූ විශේෂ අතර රෝග පැතිරීමට උපකාරී වන බවයි. ලෝකය උණුසුම් වන විට, බොහෝ සත්ව විශේෂයන්ට ජීවත් වීමට සුදුසු තත්වයන් සොයා ගැනීම සඳහා නව ප්‍රදේශ කරා ගමන් කිරීමට බල කෙරෙයි.

සෑම වසරකම ලොව පුරා මානව රෝගීන් බිලියන 2.5ක් සහ මිනිස් මරණ මිලියන 2.7ක් සඳහා  Zoonoses වගකිව යුතු බව ගණන් බලා ඇති අතර, 1970 සිට සෑම ප්‍රධාන රෝග පැතිරීමකම පාහේ සතුන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත.

ඡායාරූප විස්තරය – 2023 සැප්තැම්බර් මාසයේදී ලිබියාවේ නැගෙනහිර වරාය නගරයක් වන ඩර්නා හි ඩැනියෙල් කුණාටුවෙන් ඇති වූ ගංවතුරේ ප්‍රතිඵල. ඡායාරූපය: Karim Sahib/AFP/Getty Images

  1. දරුණු කාලගුණික සිදුවීම්

දරුණු කාලගුණික සිදුවීම් / Severe weather events සඳහා සූදානම් වීමට රජයන් වඩා හොඳ මට්ටමක සිටියද, 1970 සිට කාලගුණ විපත්වලට සම්බන්ධ මරණ  9/10ක්ම කුඩා දූපත් රාජ්‍යයන්, අප්‍රිකාව, ආසියාව සහ දකුණු ඇමරිකාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල සිදු විය.

ගංවතුර, නියඟ, සුළි කුණාටු සහ ලැව්ගිනි නිතර නිතර සිදුවන අතර අවදානමට ලක්විය හැකි ජනතාව ක්ෂණික අවදානමට ලක් කරයි. පසුගිය සැප්තැම්බරයේ ඩැනියෙල් කුණාටුව ලිබියාවට පහර දුන් විට පුද්ගලයින් 11,000ක් මියගිය අතර තවත් දහස් ගණනක් තවමත් අතුරුදහන් වී ඇත. අයහපත් කාලගුණික විපත් හේතුවෙන් 2023 ජූනි මාසවල සිට සැප්තැම්බර් මුල දක්වා කාලය තුළ පමණක් පුද්ගලයන් 18,000කට වැඩි පිරිසක් මිය ගියහ.

ඡායාරූප විස්තරය – 2023 ජුනි මාසයේදී කැනඩාවෙන් එන ලැව්ගිනි දුමාරය හේතුවෙන් නිව් යෝර්ක් අහස තැඹිලි පැහැයට හැරී ඇති අයුරු. ඡායාරූපය: ෂටර්ස්ටොක්

  1. අප ආශ්වාස කරන වාතය

පිටත වායු දූෂණය පිළිකා ඇතුළු රෝග රාශියකට සම්බන්ධ වී ඇති අතර සෑම වසරකම ගෝලීය වශයෙන් මිලියන 4කට වඩා වැඩි අකල් මරණ සඳහා වගකිව යුතු බවට ඇස්තමේන්තු කර ඇත.

කාලගුණික රටා වෙනස් වීම නිසා දැනටමත් පවතින අයහපත් තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම දරුවන්ගේ මොළය, පෙනහළු සහ අනෙකුත් ඉන්ද්‍රියයන් තවමත් වර්ධනය වෙමින් පවතින නිසා වායු දූෂණයෙන් දරුවන් අසනීප වීමට ඉඩ ඇත.

පර්යේෂකයන් වසර දෙකක කාලයක් තුළ එක්සත් ජනපදයේ ළමුන් 9,500කට ආසන්න පිරිසකගේ මොළය පරිලෝකනය කළ විට, වායු දූෂණයට නිරාවරණය වීම කුඩා ප්‍රමාණයකින් පවා ඔවුන්ගේ මොළය වර්ධනය වන ආකාරය වෙනස් කරන බව සොයා ගන්නා ලදී. (විශේෂයෙන් හැඟීම් පාලනය කරන කලාපයේ)

එළිමහන් වායු දූෂණය නිසා මිනිසුන්ට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති ඉඩකඩ වැඩි වන බවටත්, සාමාන්‍ය වායු දූෂක හතරකට නිරාවරණය වීම නිසා දියවැඩියා ආශ්‍රිත සංකූලතා හේතුවෙන් පුද්ගලයන් බරපතළ ලෙස රෝගාතුර වීමට හෝ මරණයට පත්වීමට වැඩි ඉඩක් ඇති බවටත් ලකුණු තිබේ.

ඡායාරූප විස්තරය – මැඩගස්කරයේ ප්‍රාථමික පාසල් ළමයින් පිරිසක් හුණු රේඛාවක් යටින් සිටගෙන සිටින අතර ඔවුන් කොතරම් උස විය යුතුද යන්න එමගින් දක්වයි. රටේ දරුවන්ගෙන් අඩක් පමණ වර්ධනය අඩාල වීමෙන් පීඩා විඳිති. ඡායාරූපය: Kate Holt/WaterAid

  1. මනෝවිද්‍යාත්මක පිරිවැය

දේශගුණික විපර්යාස පාරිසරික පිරිහීම, සමාජය ඵලදායී හා සතුටින් තබා ගන්නා ආර්ථික හා සමාජ පද්ධති කෙරෙහි බලපෑම් ඇති කරන අතර එමගින් මානසික දුෂ්කරතාවල පහළට යන සර්පිලාකාර චලනයන් ආරම්භ කරයි. ලැව්ගිනි, ගංවතුර සහ තාප තරංග සිදුවීමෙන් පසු කාංසාව, මානසික අවපීඩනය හෝ පශ්චාත් කම්පන ආබාධ ඇති කළ හැකි බව පර්යේෂණවලින් පෙනී යයි. දිගු කාලීනව, බොහෝ වැඩිහිටියන් එවැනි අර්බුදවලට ඔරොත්තු දෙන නමුත් ළමුන් තුළ ඇති වන මෙම බලපෑම දීර්ඝ කාලීන බව හෙළිකර ගෙන ඇත.

ආන්තික කාලගුණික තත්ත්වයන් තුළ බෝග විනාශ වුවහොත්, දරුවන්ට අඩු පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට සිදුවන අතර, ඒවා පරිභෝජනය කිරීම කාංසාව සහ මානසික අවපීඩනය වැනි මානසික තත්වයන් සමඟ සම්බන්ධ වේ.

මිනිසුන්ට අවශ්‍ය උපකාර ලබා ගැනීමට නොහැකි වූ විට, ඔවුන් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ලබා ගැනීමට යොමු විය හැකි අතර, එමඟින් ඔවුන් HIV වැනි ආසාදන හෝ රෝගාබාධ ඇති කළ හැකි අවදානම් හැසිරීම් වල (අනාරක්ෂිත ලිංගික හැසිරීම් වැනි) නිරත වීමට ඉඩ ඇත. ජනාකීර්ණ ස්ථානවල කාලය ගත කිරීම නිසා ඇති ක්ෂය රෝගය ද ඇති විය හැකිය.

2021 දී, තාප නිරාවරණය සහ මානසික සෞඛ්‍යය අතර සමීප සම්බන්ධයක් පිළිබඳ සාක්ෂි අධ්‍යයනය කරන විද්‍යාඥයින් විසින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළ යාම හේතුවෙන් මානසික සෞඛ්‍ය හා සම්බන්ධ මරණ අනුපාතය 2.2% කින් වැඩි වී ඇති බව සොයා ගත්හ.

ඡායාරූප විස්තරය – බංග්ලාදේශ ජාතික කාන්තාවන් දෙදෙනෙක් පානීය ජලය රැගෙන යන අයුරු. ඡායාරූපය: NurPhoto/Getty Images

  1. ලුණු සහිත ජලය සහ අනතුරුදායක ගැබ්ගැනීම්

පානීය ජලය තුළ ලවණතාව (ලුණු) වැඩි වෙමින් පවතී. මෙයට එක් හේතුවක් වන්නේ මුහුදු මට්ටම ඉහළ යාම නිසා ගංවතුර සහ නිවර්තන කුණාටු වලදී මුහුදු ජලය ගංගා සහ අනෙකුත් මිරිදිය මූලාශ්‍රවලට ගලා යාමයි.

අධික ලෙස ලුණු ගැනීමෙන් අධි රුධිර පීඩනය ඇති විය හැකිය. කාලයාගේ ඇවෑමෙන්, මෙම තත්ත්වය ශරීරයේ ශිරා, ධමනි සහ ප්‍රධාන අවයව වලට ( මොළය, හදවත, වකුගඩු සහ ඇස් ඇතුළුව ) හානි කරයි.

අධි රුධිර පීඩනය ගර්භනී කාන්තාවන්ට සහ ඔවුන්ගේ ළදරුවන්ට දෙගුණයක් භයානක ය. පර්යේෂකයින් විසින් බංග්ලාදේශයේ වෙරළාසන්න Dacope Upazila දිස්ත්‍රික්කයේ ගැබිණි කාන්තාවන්ගේ මුත්‍රා පරීක්‍ෂා කළ අතර, ඔවුන් පානීය ජලයෙන් පමණක් දිනකට ලුණු ග්‍රෑම් 15ක් දක්වා ලබා ගන්නා බව සොයා ගත්හ (ඔවුන් ජලය ලබා ගත් ස්ථානය අනුව). එය ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අගය මෙන් තුන් ගුණයකි. එම ප්‍රදේශයේම තවත් අධ්‍යයනයකින් ලුණු සහිත පානීය ජලය සහ අධි රුධිර පීඩනය හෝ ප්‍රී-එක්ලැම්ප්සියා වර්ධනය අතර සම්බන්ධයක් සොයා ගන්නා ලදී.

ඡායාරූප විස්තරය – 2019 වසරේ දීර්ඝ වියළි කාලයකින් වගා විනාශ වූ පසු කාන්තාවක් වනාටු ප්‍රාන්තයේ ටැනාහි ඇගේ ගෙවත්තේ එළවළු සොයයි. ඡායාරූපය: මාරියෝ ටමා/ගෙටි ඉමේජස්

  1. ආහාර අනාරක්ෂිත බව

නිරන්තර හා දැඩි නියඟ සහ ගංවතුර හේතුවෙන් මිනිසුන් නිරෝගීව සිටීමට අවශ්‍ය ධාන්‍ය, පලතුරු සහ එළවළු වගා කිරීමට අපහසු වේ. කැරිබියන්, අත්ලාන්තික්, පැසිෆික් සහ ඉන්දියන් සාගරයේ කුඩා දූපත් රාජ්‍යයන් අර්බුදයේ ප්‍රතිවිපාකවල බර දරයි. බොහෝ මිනිසුන් ජීවත් වන්නේ මුහුදු මට්ටමට ආසන්න බැවින් මෙහි බලපෑම වඩාත් තීව්‍රර වේ.

මෙම දූපත් වල සුපිරි වෙළඳසැල් රාක්කවල ඇති ආහාර වලින් 80% ත් 95% ත් අතර ප්‍රමාණයක් වෙනත් තැනකින් ආනයනය කර ඇත. මෙම දූපත් වල වාණිජ ගොවිපළවල් කිහිපයක් ඇති අතර දරුණු ගංවතුර සහ විනාශකාරී කුණාටු ඇතිවීමේ සම්භාවිතාව නිසා කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනතාව දැඩි පරිශ්‍රමයක් දරා ඇත. ආනයනික ආහාර අධික ලෙස සැකසූ සහ ලුණු සහිත, පැණිරස හා සෞඛ්‍යයට අහිතකර ඒවා වන අතර එමඟින් බෝ නොවන රෝග (ප්‍රධාන බෝ නොවන රෝග වන්නේ, පිළිකාව, දියවැඩියාව, හෘද රෝග සහ පෙනහළු රෝගය) වැළඳීම් ඉහළ හැකියාවක් පවතී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කුඩා දූපත් රාජ්‍ය වල ජීවත් වන සෑම මිනිසුන් 1/39ක් ප්‍රධාන බෝ නොවන රෝග හතරෙන් එකකින් මිය යාමට ඉඩ ඇත.

ඡායාරූප විස්තරය – 2018 දී මාරාන්තික තාප තරංග මධ්‍යයේ, ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කරන විට සිසිල් බීම සඳහා නැවතුණු පවුලක්. ඡායාරූපය : Money Sharma/AFP/Getty Images

  1. අධික උෂ්ණත්වයේ ආතතිය

මෙම වසරේ අධික උෂ්ණත්වය යුරෝපය, චීනය සහ උතුරු ඇමරිකාවේ වාර්තා බිඳ දැමීය. අධික තාපය දේශගුණික අර්බුදයේ වඩාත් භයානක බලපෑම් වලින් එකක් වන අතර එක්සත් ජනපදයේ කාලගුණය ආශ්‍රිත මරණවලට ප්‍රධාන හේතුව අධික තාපයයි . තාප ආඝාතය යනු තාපය හා සම්බන්ධ බරපතලම රෝගයකි.

විශේෂයෙන්, හිරු එළියේ දිගු වේලාවක් ශාරීරික ශ්‍රමය අවශ්‍ය කරන රැකියාවල නිරත වන පුද්ගලයින් උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වකුගඩු රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමකට මුහුණ දෙන බව පර්යේෂණ යෝජනා කරයි. තාප ආතතිය නැවත නැවත ඇතිවීම නිදන්ගත වකුගඩු රෝගයට හේතු විය හැකිය.

නේපාල ජාතික තරුණ සංක්‍රමණික කම්කරුවන් ගල්ෆ් සහ මැලේසියාවේ දැඩි උණුසුම් තත්ත්‍වය තුළ වැඩ කිරීමෙන් පසු නිදන්ගත වකුගඩු රෝගය වැළදීම හේතුවෙන් ආපසු නේපාලයට ගමන් කළ ආකාරය පසුගිය ජුනි මාසයේදී ගාඩියන් පුවත්පත හෙළි කළේය. “නැවත නැවතත් අවධාරණය කරන එක් සාධකයක් වන්නේ තාපයයි. දිගු කලක් තාපයට නිරාවරණය වීම සහ නැවත නැවත විජලනය වීම නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුවක් ”නේපාලයේ ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රිෂි කුමාර් කෆ්ලේ පැවසීය.

දියවැඩියාව වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් සඳහා, තාප ආතතියේ බලපෑම ඉතා ඉක්මනින් ආරම්භ විය හැකිය. උණුසුම් වන විට දියවැඩියා රෝගීන් වැඩි පිරිසක් රුධිර සීනි භයානක ලෙස අඩු වී රෝහල් ගත කරනු ලැබේ.

ඡායාරූප විස්තරය – 2018 දී හේරත් පළාතේ ඉන්ජිල් දිස්ත්‍රික්කයේ කඳවුරක නියඟයෙන් අවතැන් වූ ඇෆ්ගන් දරුවන්. ඡායාරූපය: Hoshang Hashimi/AFP/Getty Images

  1. මිලියන ගණනක් ක්‍රමණය වෙයි

දේශගුණික අර්බුද හේතුවෙන් මිනිසුන් කොපමණ සංඛ්‍යාවක් සංක්‍රමණය කරයි ද යන්න හරියටම අනාවැකි කීම අපහසුය. නමුත් ආන්තික කාලගුණික සිදුවීම් ලොව පුරා මිලියන 100කට වැඩි අවතැන් වූවන්ගේ තත්ත්වය වඩාත් නරක අතට හැරවීමට ඉඩ ඇත. මෙම පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකුට ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සංක්‍රමණය වීමට බල කෙරී ඇත. නමුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘අභ්‍යන්තර විස්ථාපන නිරීක්ෂණ මධ්‍යස්ථානය / Internal Displacement Monitoring Centre’ පවසන්නේ දේශගුණික විපත් ඔවුන්ගේම රටවල් තුළ අභ්‍යන්තර අවතැන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමට සැලකිය යුතු දායකත්වයක් සපයන බවයි. 2022 දී ගෝලීය වශයෙන් වාර්තාගත මිලියන 71ක් වූ අවතැන් පුද්ගලයින්ගෙන් මිලියන 10ක් අභ්‍යන්තරව අවතැන් වූවන් විය.

කිසිවක් වෙනස් නොවන්නේ නම්, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සම්මේලනයට අනුව ගංවතුර, කුණාටු සහ නියඟවලින් යථා තත්ත්වයට පත් වීමට මානුෂීය ආධාර අවශ්‍ය පුද්ගලයින් සංඛ්‍යාව 2050 වන විට දෙගුණ විය හැකිය. එයින් අදහස් වන්නේ මිලියන 200කට වැඩි පිරිසකට වාර්ෂිකව ආධාර අවශ්‍ය වන බවයි. මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වීම යනු බොහෝ විට අප්‍රසන්න හා අපිරිසිදු ජීවන රටාවක් ගත කිරීමට සිදුවීමකි. නිදසුනක් වශයෙන්, 900,000කට වැඩි රොහින්ග්‍යා සරණාගතයින් පිරිසක් බංග්ලාදේශයේ තාවකාලික නවාතැන් වල ජීවත් වන අතර බොහෝ විට මෙම අවතැන් කඳවුරු නායයෑම්වලට ගොදුරු විය හැකි අස්ථායී භූමිවල ඉදිකර ඇත.

වර්ෂා කාලයේදී දැනටමත් ඉහළ යන රෝගවලට අමතරව (ඩෙංගු උණ සහ මැලේරියාව වැනි) නිතර ඇතිවන කුණාටු ද මෙම අවතැන් කඳවුරු වල පාචනය ඉහළ නැංවීමට හේතු විය හැකිය. සංක්‍රමණය නිසා පිළිකා, දියවැඩියා සහ වකුගඩු රෝග වැනි නිදන්ගත රෝග පාලනය කිරීම ද අපහසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

https://www.theguardian.com/global-development/2023/nov/16/from-cholera-to-kidney-disease-10-ways-the-climate-crisis-is-wrecking-peoples-lives-acc